Monday, 20 August 2018
වාර්තාව තැබූ සුප් එක විසි කරලා!

වාර්තාව තැබූ සුප් එක විසි කරලා!

ජාතික වාර්තාවක් බිඳහෙළූ දැවැන්ත සුප් බඳුනක් ඉවත දැමීම හේතුවෙන් මැලේසියාවේ වෙළඳ මධ්‍යස්ථානයකට දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබේ.

මැලේසියාවේ Sarawak ප්‍රාන්තයේ පිහිටි මෙම වෙළඳ මධ්‍යස්ථානය විසින් විශාලම Laksa Sarawak නම් සුප් බඳුන සඳහා වූ එරට ජාතික වාර්තාව බිඳීමට පසුගියදා කටයුතු කර තිබුණි.

මීටර් 1.3ක් ගැඹුර හා මීටර් 3.1ක් පළල මෙම බඳුනට දැමීමට සැකසුනු කිලෝග්‍රෑම් 600ක් බරැති මෙම සුප් එක සඳහා ලක්සා පේස්ට් කිලෝ 100ක්, රයිස් නූඩ්ල්ස් කිලෝ 225ක්, ඉස්සන් කිලෝ 90ක්, බිත්තර 1,008ක් හා කුකුළු මස් කිලෝග්‍රෑම් 80ක් යොදාගෙන තිබුණි.

මෙම සුප් බඳුන පිළියෙල කිරීමට කෝකියන් 15 දෙනෙකු පැය 18ක් පුරාවට මහන්සි වී තිබුණි.

කෙසේවෙතත්, වාර්තාව තැබීමෙන් අනතුරුව මෙම දැවැන්ත සුප් බඳුන මිනිසුන්ට බෙදාදීම වෙනුවට විසිකර තිබුණි.

මේ සම්බන්ධ විවේචන එල්ල වීමත් සමග මෙම වෙළඳ මධ්‍යස්ථානය සමාව අයැදිමින් පවසා තිබුනේ එම සුප් වතුර එක්තරා උෂ්ණත්වයකට තැබිය යුතු බවට උපදෙස් ලැබී තිබුණු බවත්, ඉන් යම් ගඳක් වහනයට වීමට පටන් ගත් බවය.

කෙසේවෙතත් ආහාර නාස්තිය පිළිබඳව මහජනයා කර තිබූ විවේචන පිළිගන්නා බවත් ඊට සමාව අයැද සිටින බවත් වැඩිදුරටත් ඔවුන් පවසා තිබේ.


Media