Monday, 09 December 2019
තායි රජුගේ වියෝවෙන් තායි මාධ්‍ය කළු-සුදු වෙයි

තායි රජුගේ වියෝවෙන් තායි මාධ්‍ය කළු-සුදු වෙයි

ලෝකයේ වැඩිම කාලයක් සිහසුන දැරූ රාජ්‍ය පාලකයා ලෙස සැලකෙන භුමිපාල් රජු ඊයේ (13) අභාවප්‍රාප්ත වීමත් සමග ශෝකය ප්‍රකාශ කිරීමක් වශයෙන් එරට දෙස් විදෙස් රූපවාහිනී මාධ්‍ය කළු-සුදු පැහැයට හැරී ඇතැයි වාර්තා වේ.

ලබන මාසය තුළ සුපුරුදු වැඩසටහන් වෙනුවට රජය විසින් සකස් කරන ලද විශේෂ වැඩසටහනක් විකාශය කිරීමට රූපවාහිනි නාලිකා වලට නියෝග කළ බව එරට ජාතක ප්‍රකාශක - ලුතිනන් ජෙනරාල් Sansern Kaewkamnerd පවසා ඇතැයි බැංකොක් පෝස්ට් පුවත් සේවය වාර්තා කරයි.

එරට පුවත් වෙබ් අඩවි ද මේ වන විට කළු-සුදු පැහැයට හරවා තිබේ.

වසරක ශෝක කාලයක්
තායිලන්තයේ මීළඟ රජු ලෙස මහා වජිරලොන්කෝන් කුමරු පත්වීමට නියමිත බව වාර්තා විය.

ඔහුගේ පියා වන තායිලන්තයේ භුමිපාල් රජු ඊයේ (13) අභාවප්‍රාප්ත වීමෙන් පසුව වජිරලොන්කෝන් කුමරු මීළඟ රජු ලෙස නම්විය. කෙසේවෙතත්, ඔහු විසින් මෙම පදවිය දැරීමට පෙර කෙටි කාලයක් ඉල්ලා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

රාජ්‍ය පාලනයෙන් තායිලන්තය තුළ මහත් ගෞරවාදරයට පාත්‍රව සිටි භුමිපාල් රජු ගේ අභාවය හේතුවෙන් විශාල ජනකායක් ඊයේ රාත්‍රියේ බැංකොක් නුවර වීථි වල රැස්ව සිට ඇති අතර, වසරක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දින 30ක් පුරාවට තායිලන්තයේ සියළු ධජයන් අඩකුඹු කර තැබීමට නියමිත අතර, කළු පැහැ ඇඳුමින් සැරසී සිටින ලෙසත් ප්‍රීතිමත් උත්සව හා එක්නොවන ලෙසත් එරට රජය මහජනයා ගෙන් ඉල්ලා සිටියි.

Last modified on Monday, 17 October 2016 06:20