Wednesday, 20 October 2021
රු. 15 කට මව්පිය යුවළක් මරලා!

රු. 15 කට මව්පිය යුවළක් මරලා!

රු. 15ක ණය මුදලක් නොගෙවීම හේතුවෙන් දරුවන් සිටින මව්පියන් යුවළක්ව කපා කොටා ඝාතනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුවත වාර්තා වී ඇත්තේ උත්තර් ප්‍රදේශ් වලිනි.

දින කිහිපයකට පෙරාතුව සිය දරුවන් වෙනුවෙන් මොවුන් දෙදෙනා රු. 15කට බිස්කට් කිහිපයක් මිලට ගෙන ඇත. රු. 15ක මෙම ණය නොගෙවීම සම්බන්ධයෙන් පැණනැගුනු වාචික ගැටුමක් මෙලෙස දුරදිග ගොස් ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

මෙලෙස ඝාතනය වී ඇත්තේ ඉන්දියාවේ කුලහීනයන් ලෙස සැලකෙන ඩාලිට් කුලයට අයත් විවාහක යුවළකි.

උදෑසන ඔවුන් රැකියාව කරා යන අතරතුරේදී මෙම ණය ගෙවන මෙන් කඩහිමියා වැරෙන් පවසා ඇති අතර, ඒ සඳහා මද කාලයක් ලබාදෙන මෙන් ඔවුන් අයැද තිබේ.

මේ සමග දැඩි ලෙස කිපුණු කඩහිමියා අසල තිබූ පොරොවකින් එම පිරිමියාට දිගටම පහරදී ඇති අතර, සිය සැමියා බේරාගැනීමට උත්සහ කළ කාන්තාවට ද කඩහිමියා පහරදී තිබේ. මෙම ප්‍රහාරයෙන් ඔවුන් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇත.

සැකකාර කඩහිමියා මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මයින්පූරි දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ මෙම සැකකරුවාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.