Wednesday, 20 October 2021
පාකිස්තාන කිම් ගේ මාපියන් කියන කඳුළු කතාව

පාකිස්තාන කිම් ගේ මාපියන් කියන කඳුළු කතාව Featured

පාකිස්තාන කිම් කාඩෑෂියන් යන විරුදාවලිය ලැබූ එරට අන්තර්ජාල තරුවක් බවට පත්ව සිටි කන්දීල් බලොච් ගේ දෙමාපියන් සිය දියණියගේ ඝාතනය පිළිබඳව පළමු වරට ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

'බීබීසී උර්දු සේවය' වෙත අදහස් දක්වමින් කන්දීල් ගේ මව වන අන්වර් අසීම් පවසා ඇත්තේ කන්දීල් හා තමා සියළු දුක් දොම්නස් හා රහස් එකිනෙකා හා බෙදා ගත් බවයි.

සිය දියණිය මරා දැමූ සිය පුතා වන වසීම් එදින රාත්‍රියේදී තමාට හා තම ස්වාමිපුරුෂයාට ද නින්ද යාමට මත්බෙහෙත් ලබා දී ඇතැයි ඇය පවසා ඇත.

(කන්දීල් බලොච්)

“මාත් මගෙ සැමියාත් තද නින්දකට වැටුනා. අපි කිරි එකක් බීලා හිටියෙ. ඒකට නින්ද යන බෙහෙත් දාලා… “

“මං උදේ නැගිටලා කන්දීල් ට උදේ කෑම කන්න එන්න කතා කළා. ඇය නැගිට්ටෙ නෑ. ඒ නිසා මං ගිහින් බලද්දි ඇගේ මූණ සාටකයෙන් වැහිලා තිබුණා. ඒක ඉවත් කරද්දි මම දැක්කා කන්දීල් ගේ මුළු මූණ පුරාම තැලුම් තුවාල… ඇගේ දිවත් තොලුත් කළු පාට වෙලා… ඒක දැක්ක මට ඉවසුම් දුන්නෑ…මම කෑගහලා අඩන්න ගත්තා... මං හිතුවෙ නෑ මගේ පුතා, මගේ දුවට මෙහෙම දෙයක් කරයි කියලා…”.

කන්දීල් ගේ මව බීබීසී උර්දු වෙත අදහස් දක්වන ඉංග්‍රීසි වීඩියෝව පහත දැක්වේ.

මේ අතර, කන්දීල් ගේ පියා පවසා ඇත්තේ සිය දියණිය තමාගේ හොඳම මිතුරිය වූ බවයි.

“වසීම් ට දුටුතැන වෙඩි තියන්න ඕන. එයා මගේ පොඩි එකී ගෙ හුස්ම හිර කරල දැම්මා. අපි හිටියේ උඩ තට්ටුවෙ. තද නින්දෙ. ඇය අපිට කතා කරන්න ඇති…” යැයි ඔහු පවසන්නේ දැඩි ශෝකයෙනි.

කන්දීල් ගේ මරණය තමා විසින් සිදුකළ බවට වසීම් පසුගිය සතියේදී පිළිගෙන තිබුණි.

(කන්දීල් මරා දැමූ ඇගේ සොයුරා වන වසීම්)

බලොච් පවුලේ නමට අවනාමයක් ගෙන ඒම හේතුවෙන් ගෞරවය රැක ගැනීමට මෙලෙස සිය සහෝදරිය ව මරාදැමූ බව ඔහු පවසා තිබේ.

යම්කිසි අයෙකු සිය පවුලට අවනාමයක් ගෙන ආ බවට පවසමින් ඔවුන්ගේ ඥාතීන් හා පවුලේ සාමාජිතයන් විසින් සිදුකරන මෙවැනි මෙවැනි ඝාතන honour killing (ගෞරවය රැකගැනීමට සිදුකරන ඝාතනය) ලෙස හඳුන්වන අතර, පකිස්තානයේ වසරකට මේ ආකාරයෙන් 500කට අධික පිරිසක් මරණයට පත්වේ. මෙලෙස වැඩිපුරම ඝාතනය වන්නේ කාන්තාවන් ය.

(බීබීසී ලෝක සේවය ඇසුරෙනි)

සබැඳි පුවත් :

පකිස්තානයේ කිම් සොහොයුරා අතින් මරුට

Last modified on Monday, 25 July 2016 08:35