Tuesday, 23 July 2019
ක්‍රිකට් ක්‍රීඩකයෝ නටන්නේ චාලිගේ පදයට ?

ක්‍රිකට් ක්‍රීඩකයෝ නටන්නේ චාලිගේ පදයට ? Featured

Exclusive - වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රිඩකයින් ගිවිසුම් අත්සන් කිරීම මඟහරිමින් සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසිදෙනෙකුගේ පමණ කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන එංගලන්ත ජාතික චාලි ඔස්ටින් නැමැත්තකුගේ බලපෑම් මත බව වාර්තා වේ.

අදාළ, තැනැත්තා ශ්‍රී ලංකා ක්‍රිකට් කේෂත්‍රයට මේවන විට හිසරදයක්ව පවතින බවද පැවසේ.

චාලි, පසුගිය කාලයේ ශ්‍රී ලංකා පිලේ නායකයන් බොහෝදෙනෙකුගේ කළමනාකරු ලෙසද කටයුතු කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් හරහා උපයාගත් මුදල කොතරම්ද යන්න පිළිබඳවද ගැටලු ඇති බවත්, එසේ උපයාගත් මුදල්වලට රජයට බදු ගෙවීමක් සිදුව නැතැ බවද පැවසේ.

මිස්ටර් ටෙන්පසන්ට්

පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන්ද මොහු සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී හෙළිදරව්වක් සිදු කළේය.

එම වැඩසටහනේදී ඩිල්ෂාන් මොහුගේ නම හෙළි නොකළද මේවන විට අදාළ හෙළිදරව්ව කරනු ලැබුවේ චාලි සම්බන්ධයෙන් බව ක්‍රිකට් කේෂත්‍රයේ නොදන්නා අයකු නොවන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එහිදී ඩිල්ෂාන් කියා සිටියේ තමා පෞද්ගලිකව කතිකාකරගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් කළමනාකරුවකු ඔහුගෙන් 10%ක කොමිස් මුදලක් ඉල්ලා ලිපියක් එවා තිබූ බවයි.

එය තමා විසින් පෞද්ගලිකව ගොඩනගාගත් සම්බන්ධයක් මත සිදුවූ එකක් බව පවසමින් පෙරලා තමා ඔහුට ලිපියක් යොමු කළ බව ඩිල්ෂාන් එහිදී කියා සිටියේය.

IPL වංගු

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුල් අවධියේදී ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු එම තරගාවලියට සම්බන්ධ කරනු ලැබුවේ චාලි විසින් වන අතර ඔහු එම අයි.පී.එල්. තරගවාරයේදී ක්‍රීඩකයන් හරහා අතිවිශාල මුදලක් ඉපැයූ බව ප්‍රසිද්ධ රහසක් බවද වාර්තා වේ.

කෙසේවුවද, එවකට අතුරුකමිටු සහභාපතිවරයාව සිටි වත්මන් වාරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අදාළ තත්ත්වය වෙනස්කරමින් අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩකයන් සම්බන්ධ කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා සිදුවිය යුතුබවට ගෙනා යෝජනාවක් සමඟ එම තත්ත්වය මඟ හාරී ගිය බව පැවසේ.

එයාගෙන් අහන්න...

මෙරට මුස්ලිම් ජාතික කාන්තාවක් විවාහකරගෙන සිටින චාලි, රාජපක්ෂ රෙජීමය සමයේ එහි ප්‍රධානීන් සමඟ දකුණු මුහුදේ හෝටලයක් ඉදිකිරීමටද පිඹුරුපත් සැකසූ බව පැවසේ.

මේ අතර, මෙරට සුපිරිම ක්‍රිකට් තරු දෙකක් යම් වැඩසටහනකට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් අදටද ඔවුන්ට ආරාධනාවක් කළ විට චාලිගෙන් දිනයක් ගන්නැයි පවසන බව ක්‍රිකට් කේෂත්‍රයෙන් වාර්තා වේ.

සංචාරකයකු ලෙස ලංකාවට පැමිණි චාලි කළක් නැසීගිය ක්‍රිකට් විනිසුරුවරයකුගේ නිවසක ලැගුම්ගෙන සිට ඒ හරහා ඔහු ක්‍රික් ඉන්ෆෝ ක්‍රිකට් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ මිතුරුව ඔවුන්ගේ කළමනාකරුවන් බවට පත්ව ඇත.

- කැළුම් ශිවන්ත

Last modified on Friday, 21 October 2016 08:55