Sunday, 23 September 2018
රග්බි තරගාවලි ප්‍රමිතියකට ලක් කෙරෙයි

රග්බි තරගාවලි ප්‍රමිතියකට ලක් කෙරෙයි Featured

රග්බි තරගවල මට්ටම පාලනය කිරීමේ සහ ක්‍රීඩාවට ගුණාත්මකභාවයක් එක් කිරීමේ අරමුණින් මෙරට පැවැත්වෙන රග්බි තරග ප්‍රමිතිකරණයට ලක් කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කොට ඇතැයි වාර්තා වේ.

මේ සතියේ මුල් භාගයේ දී පැවැති විධායක කමිටු රැස්වීමක දී ගත් මේ තීන්දුව වහාම ක්‍රියාත්මක වන පරිදි බල පැවැත්වෙනු ඇති බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලේකම් නසීම් මොහොමඞ් මහතා පවසයි.

ඒ අනුව සෙසු කටයුතු කිරීමට පෙර තරග සංවිධායකයන් මවු සංගමය පිළිගත් තරගාවලි සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමයේ අනුමැතිය ලබාගත යුතුය.

“තරගාවලි ප්‍රමිතිකරණය කිරීමේ තීරණය ඔවුන්ට තරගාවලි පැවැත්වීමට අධෛර්යමත් කිරීම නෙවෙයි. ලෝක රග්බි සංගමයේ මාර්ගෝපදේශ වලට අනුව එම තරගාවලි හැඩ ගැස්විය යුතු ආකාරය ගැන ඔවුන්ට සහාය දැක්වීමටයි මේ උත්සාහ කරන්නේ”

“ඕනෑම වයස් කාණ්ඩයක තරගාවලියක් සංවිධානය කිරීමට සංවිධායකයන්ට ශ්‍රී ලංකා රග්බි සංගමයේ අනුමැතිය අවශ්‍ය වෙනවා. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහ අනිකුත් දේවල් මෙන්ම එයත් තරගාවලියක් පැවැත්වීමට මූලික අවශ්‍යතාවක් වේවි” නසීම් මහතා වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ මේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ එහි සියලුම අනුබද්ධිත සංගම්වලට දැනුම් දෙනු ලබන අතර නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යන ඕනෑම කණ්ඩායමක තරගාවලියකට තම ක්‍රියාදාමයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා රග්බි තරග තීරකවරුන්ගේ හා විනිසුරුවරුන්ගේ සංගමයෙන් විනිසුරුවරුන්ගේ සේවය ලබාදීම ශ්‍රී ලංකා රග්බි සංගමය මගින් අත්හිටුවනු ලැබේ.

අභ්‍යන්තර තොරතුරු අනුව ඇතැම් සංවිධායකයන් කනිෂ්ඨ වයස් කාණ්ඩ අතර තරගාවලි ගණනාවක්ම පවත්වනු ලබන්නේ නිශ්චිත තරගාවලි නීතිරීතිවලට අනුව නොවේ. මෑතකදී පැවැති තරගාවලියකදී පස්වරු 6.30ට විදුලි ආලෝක ධාරා මැද ආරම්භ කළ එක්තරා කනිෂ්ඨ රග්බි තරගාවලියක අවසන් මහා තරගයේ දී අර්ධ දෙකට මිනිත්තු 4 කාලයක් ලබා දෙමින් පැවැත්වූ බැව් ද වාර්තා විය.

මේ සති අන්තයේ දී අවුරුදු 12 න් පහළ වයස් කාණ්ඩයේ එක්තරා දස සාමාජික රග්බි තරගාවලියක් පවත්වනු ලැබුවේ ක්‍රීඩාංගණය කොටස් තුනකට බෙදා වෙන් කරමිනි. එය බොහෝ විට ක්‍රීඩා කිරීමේ නියමිත ඉඩ ප්‍රමාණයට වඩා අඩුවිය හැකිය. එවැනි තරගාවලි සියුම් පරීක්ෂණයට භාජනය කළ යුතු බවට රග්බි විශාරදයෝ පැමිණිළි කරති.

- T'du -

සබැඳි පුවත් :

රග්බි ක්‍රීඩාව නව මාවතකට ගන්න සැරසෙයි

Last modified on Tuesday, 11 October 2016 08:12