Friday, 30 October 2020
ජාතික මහා ක්‍රීඩා උලෙළේ දින දෙකට වාර්තා 4යි

ජාතික මහා ක්‍රීඩා උලෙළේ දින දෙකට වාර්තා 4යි

හතලිස් දෙවැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ දෙවැනි දිනය වූ අද (01දා) ශ්‍රී ලංකා වාර්තා දෙකක් අලුත්කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකා දෙපලක් සමත්වූහ.

අද දිනයේ බිහිවූ පළමු ශ්‍රී ලංකා වාර්තාව මීටර 800 කාන්තා ඉසව්ව නියෝජනය කළ දකුණු පළාතේ නිමාලි ලියනාරච්චි විනාඩි 2.03.50ක දක්‍ෂතාවක් දක්වමින් පිහිටවූ අතර, ඇය විසින් බිඳලනු ලැබුවේ මීට වසර 24කට ඉහතදී, එනම් 1992 වසරේදී ධම්මිකා මැණිකේ විසින් විනාඩි 2.03.85ක දක්‍ෂතාවක් දක්වා පිහිටුවා තිබූ වාර්තාවයි.

මෙම ඉසව්වේ රිදී හා ලෝකඩ පදක්කම්ද දකුණු පළාතටම වෙන්වූ අතර, එහිදී ජී.ටී.ඒ. අබේරත්න (වි. 2.03.70) විසින් රිදී පදක්කමද, කේ.ඒ.ඩී. සඳකාන්ති විසින් ලෝකඩ පදක්කමද දිනාගනු ලැබුවාය.

දිනයේ බිහිවූ දෙවැනි ශ්‍රී ලංකා වාර්තාව බස්නාහිර පළාත නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඉෂාර සඳරුවන් විසින් පිහිටුවනු ලැබීය.

රිටි පැනීම පිරිමි ඉසව්ව නියෝජනය කළ ඔහු මීටර 5.10ක දක්‍ෂතාවක් දක්විමින් මෙම වාර්තාව පිහිටුවීය.

ඉෂාර බිඳලනු ලැබූවේ තමාගේම වාර්තාව වූ අතර, ඔහු පසුගිය වසරේ මීටර 4.91ක දක්‍ෂතාවක් මීට පෙර දක්වා තිබුනි.

ක්‍රීඩා උලෙළේ පළමු දිනය වූ ඊයේ (30) දිනයේදී ශ්‍රී ලංකා වාර්තා දෙකක් අලුත් කිරීමට ක්‍රීඩිකාවන් දෙපළක් සමත්වූ අතර, ඒ අනුව දින දෙකක් අවසනදී ශ්‍රී ලංකා වාර්තා 04ක් අලුත්වී ඇත. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ, ඉකුත් 2015 වසරේ දියගමදී පැවති 41 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේදී අලුත්වූයේ ශ්‍රී ලංකා වාර්තා දෙකක් පමණක් වූ අතර, එම සංඛ්‍යාව දින 02ක් තුළදී මෙවර අභිබවා ගොස් ඇත.

Last modified on Tuesday, 04 October 2016 08:25