Thursday, 26 April 2018
මඩකලපු හමුදා කඳවුරක් අසලින් 'මිනිස් ඇටකටු' හමුවෙයි

මඩකලපු හමුදා කඳවුරක් අසලින් 'මිනිස් ඇටකටු' හමුවෙයි Featured

මඩකලපුව මුරකොට්ටාන්චේන හමුදා කඳවුරට පිටුපස ඉඩමක තිබී මිනිස් අස්ථි යැයි සැකකෙරෙන අස්ථි කොටස් හමුවූ බව ඉඩම් හිමියෝ පවසති.

වැසිකිළි වලක් සඳහා කළ කැණීමකදී එම අස්ථි හමුවීමෙන් අනතුරුව ඉඩමේ නව ඉදිකිරීම් අත්හිටුවා ඇති අතර දැන් එහි පොලිස් මුරකාවල් යොදා ඇති බව එහි හිමිකාරිය වානදී උදයකුමාර් පැවසුවාය.

1990 සිට 2014 දක්වා සිය ඉඩම හමුදාව භාරයේ පැවැති බව ද ඇය සඳහන් කළාය.

සිදුවීම සැලවීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. යෝගේස්වරන්, ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන හමුදා කඳවුරට රැගෙන ගිය කිහිප දෙනකු අතුරුදන්වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් තුළ සැකයක් පවතින බව සඳහන් කළේය.

මේ පිළිබඳව කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න කියා සිටියේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට නිල වශයෙන් කිසිදු තොරතුරක් ලැබී නැති බවය.

එබැවින් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

(බීබීසී සංදේශය)