Monday, 17 December 2018
'නව ව්‍යවස්ථාවේ නිර්දේශ එවන්න' - ජනපති දැනුම්දේ

'නව ව්‍යවස්ථාවේ නිර්දේශ එවන්න' - ජනපති දැනුම්දේ Featured

නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පත්කර ඇති අනු කමිටුවල නිර්දේශයන් හැකි ඉක්මනින්ම තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට දැනුම්දී ඇත.

නව ව්‍යවස්ථාව නිර්මාණය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගෙන්ම සමන්විත ව්‍යවස්ථාදායක මණ්ඩලයක් හරහාය.

මේ ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් විශේෂිත මෙහෙයුම් කමිටුවක් ස්ථාපනය කර තිබේ. අගමැතිවරයා එහි ප්‍රධානියා වේ.

ඊට අමතරව මානව හිමිකම්, අධිකරණය, රාජ්‍ය සේවය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මධ්‍යම රජය හා පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර සබඳතා, නීතිය හා සාමය යන කරුණු කාරණා ආවරණය වන ලෙස තවත් අනු කමිටු 6ක් පත්කර ඇත.

එම අනු කමිටු වාර්තා නොවැම්බර් මස 11දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ ඊට පෙර එම නිර්දේශයන් තමා වෙත ඉදිරිපත් කරන ලෙසයි.

බලය බෙදාහැරිම, මැතිවරණ ක්‍රමය හා ජනාධිපති ධුරයේ බලතල හා රාජ්‍යයේ ස්වරුපය පිළිබඳව වූ මෙහෙයුම් කමිටුවේ වාර්තාව නොවැම්බර් මස අගදී හෝ දෙසැම්බර් මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා මේවනවිට කටයුතු කරමින් සිටියි.

ජනතාව දැනුවත් නොකළොත් භයානකයි :

මේ අතර, ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ප්‍රයත්නය කෙරෙහි ජනතා අවධානය යොමුකර ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් කොළොම්බියානු ජනතාව විසින් සාම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම වැනි තත්ත්වයක් මතුවිය හැකි බවට 'විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය' අනතුරු අඟවයි.

එම පුරෝකතනයේ යෙදෙන බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ඊට සපයන තවත් උදාහරණයකි.

නව ව්‍යවස්ථා සම්පාදනයක් පිළිබඳ පූර්ණ වශයෙන් දැනුවත්ව සිටිනුයේ ජනගහණයෙන් 1.1% ක් පමණක් බව සිය සමීක්ෂණයකදී හෙළිවීමත් සමග විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම අනතුරු ඇඟවීම කරන ලදි.

විශේෂයෙන් ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ සිට රට තුළ සංවාදයක් පවතින අතර, මහජන අදහස් විමසීමේ කමිටුව මාස කිහිපයක් රට පුරා සංචාරය කිරීමෙන් අනතුරුව ද ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් නොවීම ඉතා බරපතල තත්ත්වයක් බව, පර්යේෂණය මෙහෙය වූ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඉරෝමි පෙරේරා 'බීබීසී සංදේශය'ට පැවසීය.

"ආණ්ඩුවයි, ව්‍යවස්ථා සම්පාදනයේ නිරත වෙලා ඉන්න කට්ටියයි හොඳට හිතල බලන්න ඕන ඒගොල්ලන්ගේ සන්නිවේදන ක්‍රමවේදය ගැන," ඇය සඳහන් කළාය.