Wednesday, 20 October 2021
ලොතරැයි හිඟයි -දයාසිරි : එක බොරුවක් - සභාපතිනි

ලොතරැයි හිඟයි -දයාසිරි : එක බොරුවක් - සභාපතිනි Featured

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මුද්‍රණය සඳහා කිසිදු මුද්‍රණ ආයතනයකට ලබා නොදීම හේතුවෙන් මේ වන විට වෙළෙඳපොළ තුළ ලොතරැයි හිඟයක් ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවසිය.

2016-10-31 වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇති ගොවිසෙත, වාසනා සම්පත යන ලොතරැයිපත් වෙළෙඳපොළට නිකුත් නොවනු ඇති බවත් මුද්‍රණ කටයුතු නිසි ලෙස සිදු නොවීම  හේතුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලයට ලැබීමට ඇති ආදායම ද අහිමිව යනු ඇති බවත් ඔහු පැවසිය.

මේ පිළිබඳ අප කළ විමසුමක දී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනී නීතිඥ ශ්‍යාමිලා ‍පෙරේරා මහත්මිය සඳහන් කර සිටියේ අමාත්‍යවරයකු පමණක් නොව වෙනත් කවර පාර්ශ්වයක් සිදු කළත් තමන් එම ප්‍රකාශය මුළුමනින් ප්‍රතික්ෂේප කරන බවත් මේ වන විටත් අදාළ ලොතරැයිපත් අවශ්‍ය ප්‍රමාණය වෙළෙඳපොළට නිකුත් කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇති බවත්ය.

මෙහි දී ලොතරැයිපත් මුද්‍රණය සම්බන්ධ ගැටලු‍කාරී තත්ත්වයක් ඇතිව තිබේද යන්න  අප සභාපතිනියගෙන් විමසූ අතර එහි දී ඇය මෙසේ සඳහන් කර සිටියාය.

“ඔය ලොතරැයි මුද්‍රණය කිරීම සඳහා බාරගෙන තිබූ පාර්ශ්වයට ඔක්තෝබර් මාසයෙන් පසුව ඒ අවස්ථාව අහිමි වෙනවා. මොකද එයාලා ටෙන්ඩර් අනුපිළිවෙළේ පසුපසට වැටී ඇති නිසා. ඒ නිසා තමයි ඔවුන් මේ විදිහට 31 වන දා ලොතරැයි මුද්‍රණයෙන් බැහැර වුණේ. නමුත් අපි වහාම අවශ්‍ය පියවර ගත්තා.

ටෙන්ඩර් එකට අලු‍තින් අය :

අපි වහාම ටෙන්ඩර් එකට අලු‍තින් පැමිණි අය යොදවලා අවශ්‍ය ලොතරැයි මුද්‍රණය කර ගත්තා. ඒ වගේම ඉදිරියටත් කිසිම ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. අපිට මුද්‍රණකරුවන් අවශ්‍ය තරම් ඉන්නවා වගේම ඔවුන් ඊට අවශ්‍ය සියලු‍ සුදුසුකම්වලින් සමන්විතයි.

අපි හැමදේම කර තිබෙන්නේ ඉතාම වගකීමෙන් යුතුව නිසි ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරලා. ඒ නිසා කවුරුවත් කරන ප්‍රකාශ ගැන අපි කලබල වෙන්නෙ නෑ. ඒ වගේම කාගේවත් බලපෑමට අපි අපේ තියෙන ක්‍රමවේද වෙනස් කරන්නෙත් නෑ.”

(කාශ්‍යප කොතලාවල)