Wednesday, 20 October 2021
සෑම පුරවැසියකුගෙන්ම ආදායම් බද්දක්

සෑම පුරවැසියකුගෙන්ම ආදායම් බද්දක් Featured

යෝජිත 2017 අයවැය හරහා රටේ සෑම පුරවැසියකු විසින්ම ඍජුව ගෙවිය යුතු වන නව බද්දක් හඳුන්වා දීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටින ආකාරයට ඒ යටතේ සෑම පුද්ගලයකුම තමන් උපයන මුදලින් 5%ක බද්දක් රජය වෙත ගෙවීමට නියමිත වන අතර එහි දී උපයන මුදල කොතරම්ද යන්න සලකා බැලෙන්නේ නැත.

මෙම යෝජනාව මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබෙන්නේ 2017 අයවැය සම්බන්ධව මෙරට ඍජු බදු ගෙවන ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක ප්‍රධානීන් පසුගිය දා මුදල් අමාත්‍යාංශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය.

අප වෙත වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම සමාගම් ප්‍රධානීන් තම යෝජනාව මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙන්නේ මෙරට පවතින බදු ප්‍රතිපත්තිය යටතේ බොහෝ දෙනකු බදු නොගෙවා සිටින තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඊට පිළියමක් ලෙස සෑම පුද්ගලයකුම ආවරණය වන පරිදි උපයන මුදලින් බද්දක් අය කිරීම සිදු කළ යුතු බවත්ය.

එසේම තමන් ගෙවන ඍජු බදුවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් රජය විසින් සුබසාධන කටයුතුවලට වෙන් කරන බවත් ඒ තුළ රජය මුහුණදෙන ආර්ථික ගැටලු‍වට විසඳුමක් ලෙස ද අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම වැදගත් වන බවත් ඔවුන් පෙන්වා දී ඇත.

මිලියන 128 ක TV දැන්වීම් :

අදාළ යෝජනාව අයවැය පිළිබඳ ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවල දී අවධාරණයට පාත්‍ර වී ඇති අතර එහි දී ඇතැම් පාර්ශ්ව ඊට විරෝධය පළ කර ඇතැයි වාර්තා වෙයි.

යෝජනාවට විරෝධය පළ කළ පිරිස් පෙන්වා දී ඇත්තේ වැට් බද්ද සංශෝධනය කිරීමට යාමේ දී ආණ්ඩුව වෙත එල්ල වූ ජනතා අප්‍රසාදයට වැඩි අප්‍රසාදයක් මෙවැනි යෝජනාවක් හරහා ආණ්ඩුව වෙත එල්ල වීම අනිවාර්යයක් බවත් ඒ හේතුවෙන් අදාළ යෝජනාව අයවැයට ඉදිරිපත් කිරීම තමන් කොහෙත්ම අනුමත නොකරන බවත්ය.

එසේම මුදල් අමාත්‍යාංශය 2017 අයවැය ආසන්නයේ ජනතාව අතර ආදායම් බදු ගෙවීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා රූපවාහිනී දැන්වීම් පළ කිරීමට සිදු කරන මිලියන ගණනක වියදම සම්බන්ධව ද ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් මතුව ඇත.

මේ පිළිබඳ අප වෙත කරුණු පැහැදිලි කළ ආණ්ඩුවේ නියෝජිතයකු සඳහන් කර සිටියේ අදාළ දැන්වීම් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් එක් දේශීය නාලිකාවක් වෙත රුපියල් මිලියන 62ක් වියදම් කර ඇති බවට සහ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකා 4 ක මෙම දැන්වීම් විකාශය කිරීම සඳහා රුපියල් මිලියන 128 කට ආසන්න වියදමක් දරා ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

බදු ගෙවන ජනතාව වෙත ‘රට හදමු - බදු ගෙවමු’ කියන්නට ජනතා බදු මුදල් රුපියල් කෝටි ගණන් වියදම් කිරීම කිසිසේත් ඵලදායී නොවන නිරර්ථක ක්‍රියාවක් බවත් රටේ පොදු ජනතාව මේ වන විටත් භාණ්ඩ හා සේවා හරහා විශාල ප්‍රමාණයෙන් රජයට බදු ගෙවමින් සිටින බවත් ජනතාව පීඩනයට පත් කරන ආදායමින් ගෙවන්නට සිදු වන නව බද්දක් ගෙන ඒම සුදුසු නොවන බවත් ආණ්ඩුවේ බහුතරයකගේ ද අදහස බවත් එම ප්‍රකාශකයා සඳහන් කර සිටියි.

එහෙයින් කළ යුතුව තිබෙන්නේ බදුවලට මෙතෙක් හසුකරගත නොහැකි වූ ක්ෂේත්‍ර මෙන්ම ඍජු බදු ගෙවීම් පැහැර හැර ඇති පිරිස් ඉලක්ක කර නව බදු ප්‍රතිපත්තියකට යාම බව ද ඔහු සඳහන් කර සිටියි.

දෙවරක් සිතා බැලිය යුතුයි :

මේ පිළිබඳව අප කළ විමසුමක දී ආර්ථික විශ්ලේෂකයන් කිහිප දෙනකු පෙන්වා දුන්නේ ජනතාව මත පොදුවේ ඇති කරන බද්දක් හරහා එකවර විශාල ආදායමක් ලැබීමට අවස්ථාව උදා කර ගැනීම රජයේ පවතින මූල්‍ය අර්බුදයට සහනයක් වුවත් එය දෙවරක් සිතා බලා ගෙන ඒමට කටයුතු කළ යුතු බවය.

මෙහි දී ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය දා ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත් කෙටුම්පත තුළ යම් ආකාරයක සුබසාධන කප්පාදුවක් පිළිබිඹු වන බවත් ඒ හමුවේ සියලු‍ දෙනා ආවරණය වන බද්දක් යෝජනා කිරීම තුළ සමාජය වෙතින් ඍණ ප්‍රතිචාරයක් නිකුත් වීමට ඉඩ ඇති බවත්ය.

එසේම කුමන ආකාරයට බදු අඩු වැඩි කළත් දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව බදු ආදායමේ ප්‍රතිශතය මෙරට තුළ අඩු වී ඇති බවත් ඊට හේතුව අලු‍තින් පුළුල් වී ඇති ක්ෂේත්‍ර බදු දැලට ඇතුළත් නොවීම බවත් ඔවුන් පෙන්වා දෙයි.

එහෙයින් අනවශ්‍ය අවදානමක් ගැනීමට වඩා, ඍජු බදු සහ වක්‍ර බදු ආදායම අතර පවතින දැඩි විෂමතාව මඟහරවා ගැනීම ඇතුළු බදු ආදායම් එකතු වීම සම්බන්ධව ඇති ගැටලු විසඳාගත හැකි පරිදි බදු ප්‍රතිපත්තිය කඩිනමින් සංශෝධනය කිරීමක් කෙරෙහි රජයේ අවධානය යොමු කිරීම වඩාත් වැදගත් බව ද ඔවුන් පෙන්වා දෙයි.

(සංජය ලියනගේ)