Wednesday, 15 July 2020
ශ්‍රී පාද අඩවියේ හෝටලය පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයෙකුත්!

ශ්‍රී පාද අඩවියේ හෝටලය පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයෙකුත්! Featured

ශ්‍රී පාද රක්ෂිතය මායිමේ පිහිටි අක්කර 80ක පමණ භූමි ප්‍රදේශයක් කේන්ද්‍ර කරගනිමින් සංචාරක හෝටලයක් ඉදිකිරීමේ සූදානම සම්බන්ධයෙන් 'සිංහල රාවය' සංවිධානය විරෝධය පළ කරයි.

එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිලි රැසක් ඉදිරිපත් වී ඇති බවයි.

බෞද්ධයන්ගේ මුුදුන්මල්කඩක් වූ ශ්‍රී පාදස්ථානය පිහිටි භූමිය ජල පෝෂක ප්‍රදේශයක් ද වේ.

එම භූමිය බහු ජාතික සමාගමකට පවරා දීම පිටුපස පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරයෙක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් වර්තමාන රජයේ ඇමතිවරයෙකුගේ ආනුභාවයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු ඇරඹීමේ සූදානමක් ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් සිය අවධානය යොමු කළ යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

අහිතකර බලපෑම් :

මේ අතර, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ, ශ්‍රී පාද අඩවියේ ඉදිකෙරෙන හෝටල් ව්‍යාපෘතිය හේතුවෙන් එම සංවේදී පරිසර කලාපයට එල්ල වන අහිතකර බලපෑම් අවතක්සේරු කළ නොහැකි බවයි.

මාඋස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මරේ දියඇල්ලට ආසන්න පෞද්ගලික ඉඩමක මෙම ඉදිකිරීම සිදුවෙමින් පවති.

කෙසේ වෙතත් අදාළ ප්‍රදේශයේ ඉදිකිරීම් සඳහා පරිසර අධ්‍යයන වාර්තාවක් ලබාගැනීම අත්‍යවශ්‍ය බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

අනුමැතිය දුන්නා :

කෙසේ වෙතත් අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. සරවනන් මහතා පැවසුවේ අදාළ ස්ථානයේ සංචාරක නිකේතනයක් ඉදිකිරීමට අනුමැතිය ලබා දී ඇති බවයි.

එහෙත් අදාළ ව්‍යාපෘතිය සඳහා පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බව පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා පවසයි.

එවැනි තත්ත්වයක් තුළ අදාළ ඉදිකිරීමට අවසර ලබාදුන්නේ කෙසේදැයි ගැටලූ මතුවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

(නෙත් නිව්ස්)