Wednesday, 20 October 2021
රන්ජන්ගේ ටීවී කේස්එකෙන් තීරුබදු හොරෙක් දැලේ

රන්ජන්ගේ ටීවී කේස්එකෙන් තීරුබදු හොරෙක් දැලේ Featured

Update - සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අප වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් කියා සිටියේ තමාගේ රූපවාහිනී යන්ත්‍රය මේවන විට ලැබී ඇති බවයි.

කෙසේවුවද, මේ සිද්ධියෙන් කටුනායක ගුවන්තොටේ ඇති තීරුබදු රහිත සාප්පුවක තීරුබදු සොරකමක් අල්ලාදීමට තමන්ට හැකි වූ බවද ඔහු කියා සිටියේය.

තමන්ට මේ අපහසුතාවයට මුහුණදීමට සිදුවූයේ අදාළ තීරුබදු රහිත සාප්පුවේ වරදින් බවද පැවසූ ඒ මහතා, එම තත්ත්වය හේතුවෙන් එම සාප්පුව කළවරද පිළිගෙන අදාළ තීරු බදු මුදල් එම සාප්පුව විසින්ම ගෙවාදමා තමාට රූපවාහිනී යන්ත්‍රයක් ගෙනැවිත්දී ඇතැයිද ඔහු කීය.

රන්ජන්ගේ ඩියුටිෆ්‍රී ටීවී කේස්

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජපන් සංචාරයක් නිමාකර ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටින් මිලදීගත් තීරුබදු රහිත රූපවාහිනියක් හේතුවෙන් ගැටලු රැසකට මදිව ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ තමා ජපානයේ අධ්‍යාපන සංචාරයකට එක්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී සිය ලේකම්වරුන්ට දුරකථන ඇමතුමක්දී “මොනවද ගේන්න ඕන” යනුවෙන් විමසූ බවත් එහිදී ඔවුන් රූපවාහිනිය අබලන්ව ඇති බව පැවසූ නිසා තීරුබදු රහිත සාප්පුවකින් රූපවාහිනියක් මිලදීගත් බවයි.

එම රූපවාහිනිය මිලදීගෙන නිවසට ගෙනඒමෙන් පසුව ගමන් විඩාව නිසා තමා ටිකක් නිදාගත් බව පැවසූ රාමනායක මහතා නිදා ගැනීමට පෙර රූපවාහිනී යන්ත්‍රය සවිකරගන්නා ලෙස ලේකම්වරුන්ට උපදෙස්දුන් බවද ඔහු කියා සිටියේය.

කෙසේවුවද, තමා අවදිවූ විට ලේකම්වරු කියා සිටියේ අදාළ රූපවාහිනී යන්ත්‍රය එම සාප්පුවේ ප්‍රදර්ශනයට තබා තිබූ රූපවාහිනී යන්ත්‍රයක් බවයි.

ඒ අනුව තමා එම සාප්පුවට දුරකථන ඇමතුමක් දී පරණ රූපවාහිනී යන්ත්‍ර ජනතාවට අලෙවි කරන්නේ ඇදැයි විමසූ විට සාප්පුහිමිකරු එය වැරදීමක් බවත්, අලුත් රෑපවාහිනී යන්ත්‍රයක් ලබාදීමට පරණඑක එවන ලෙස ඉල්ලා සිටි බවයි.

තමා ඒ අනුව ලේකම්වරුන්ට එය කටුනායක අදාළ සාප්පුවට ගෙනගොස් දෙනලෙස දැන්වූ බවත්, ඔවුන් එය මේවන විට ගෙනගොස් දී ඇතත් එයට මෙතෙක් නව රූපවාහිනියක් නොලැබුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

තමාට කෝප් කමිටු වාර්තාවට අත්සන් තැබීමට යාමටද නොහැකිවූයේ මේ පටලැවිල්ල බව රන්ජන් වැඩිදුරටත් කියා සිටියේය.

අදාළ, රූපවාහිනී යන්ත්‍රය සවිකළ ලේකම්වරයා ද දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට ශ්‍රී ලංකා මිරර් හට හැකිවූ අතර ඔහු කියා සිටියේ රූපවාහිනී යන්ත්‍රය ගෙනා පෙට්ටිය විවෘත කිරීමෙන් පසුව එය සවි කිරීමට අවශ්‍ය ඇණද එහි නොවූ බවත්, එසේම එහි දුරස්ථ පාලකයද නොවූ බවයි.

- කැළුම් ශිවන්ත

Last modified on Saturday, 29 October 2016 13:20