Wednesday, 15 July 2020
'ශ්‍රී පාද හෝටල මගේ නෙමෙයි' - බැසිල් කියයි

'ශ්‍රී පාද හෝටල මගේ නෙමෙයි' - බැසිල් කියයි

ශ්‍රී පාද කන්දේ ඉදිකරමින් ඇතැයි කියන දැවැන්ත හෝටල් සංකීර්ණයකට තමාගේ කිසිඳු සම්බන්ධයක් නැතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

බැසිල් රාජපක්‍ෂ මහතා ගාල්ලේ පැවති උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එබව සඳහන් කලේය.

ශ්‍රී පාද නාහිමි තතු පහදති

Sripadaya 600xp 16 10 29මේ අතර, ශ්‍රී පාදස්ථානාධිපති සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසන්නේ, ශ්‍රී පාද පුදබිමට අයත් අක්කර 99 ක භූමිය තුළ කිසිදු සංචාරක හෝටලයක් හෝ නිවාඩු නිකේතනයක් ඉදිනොවන බවයි.

එළැඹෙන ශ්‍රී පාද වන්දනා සමය සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ දී ඊයේ (ඔක්. 28) මාධ්‍ය දැනුවත් කරන අතරේදී උන්වහන්සේ පෙන්වා දුන්නේ , ශ්‍රී පාද පුදබිමේ හෝටල සංකීරණයක් ඉදිකිරීමට යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙන බවය.

ඒ පිළිබඳව සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ ශ්‍රී පාදස්ථානයට පහළින් ඇති ප්‍රදේශයක පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරිම සඳහා අවසරගෙන ඉදිකිරීම් කිරීමට යන බව යැයි කී උන්වහන්සේ, එම ඉඩම සහ ශ්‍රී පාදස්ථානය අතර කිසිදු සබඳතාවක් නැතැයි පෙන්වා දුන්හ.

"හැමතැනම සිරිපාදේ නෙවෙයි නේ, මම දෙන්නෙකුට තුන්දෙනෙකුට කිව්වා එහෙනම් මස්කෙළිය නගරයත් ප්‍රශ්නයක් නේ කියලා" යැයි පැවසූ අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි මහසෝන් කල්ලිය නම් වූ පිරිසක් මෙම අසත්‍ය තොරතුරු පතුරුවා හරින බව කීහ.

(මූලාශ්‍රය - සංදේශය)