Wednesday, 20 October 2021
'රක්නා ලංකා' දුෂණ විමර්ශන වාර්තාව ජනපතිට

'රක්නා ලංකා' දුෂණ විමර්ශන වාර්තාව ජනපතිට Featured

සී මාර්ෂල්වරුන්ගේ අවි ගබඩා ව්‍යාපෘතිය ඇවන්ගාඩ් සමාගමට පැවරීමෙන් 'රක්නාලංකා ආරක්ෂක සමාගම' සිදුකර ඇතැයි කියන වංචා දූෂණ  පිලිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව, රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ පරීක්ෂණ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා විසින් ඊයේ (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතට භාර දුන්නේය.

මිට අමතරව පසුගිය පාලන සමයේදී තවත් රාජ්‍ය ආයතන දෙකක සිදුවී ඇතැයි  කියන රාජ්‍ය මුදල් හා සම්පත් අවභාවිතය අදාළ වංචා දූෂණ පිළිබඳ සියලුම පරීක්ෂණ අවසන් කර කොමිසමේ නිර්දේශ ඇතුළත් කරන ලද වාර්තා දෙකක්  ද ජනාධිපතිවරයා වෙත ඊයේ  බාරදෙනු ලැබිය.

වැලිසර වෙඩි‍ බෙහෙත් ගබඩාව හා  හලාවත කුරුණෑගල වැවිලි සමාගම් පිලිබඳ විමර්ශන වාර්තා එසේ බාරදුන් බව  කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පැවසීය.

වසර 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සේවකයන් සහ රාජ්‍ය සම්පත් යොදවා සිදු කර තිබෙන වංචා දූෂණ ඊට ඇතුළත් වෙති.

ඩයිනමයිට් වාර්තාව:
වැලිසර වෙඩි බෙහෙත් ගබඩාව තුළ තිබුණ අති විශාල ඩයිනමයිට් තොගයක් කල් ඉකුත්වීමට පෙර අළෙවි නොකිරීමෙන් රාජ්‍ය ආදායමට සිදුවී තිබෙන බරපතළ හානිය වැලිසර ඩයිනමයිට් වාර්තාවෙන් පෙන්වාදී ඇත.

හලාවත කුරුණෑගල වැවිලි සමාගම් තුළ සිදුවී තිබෙන වංචා දූෂණ රැසක් සහ රාජ්‍ය සම්පත් අවභාවිතයන් පිළිබඳ එම වාර්තාවට ඇතුලත්වේ.

මීගමු කලපු විමර්ශන CID යට :
පරීක්ෂණ නිම කර කොමිසමේ නිර්දේශ ඇතුළත් කර ජනධිපතිවරයා වෙතට මේ වන විට කොමිසම වාර්තා හතරක් ලබාදී තිබේ. 

මීගමු කලපුව, ස්වාධීන රූපවාහිනී සේවාව, මහියංගණයේ කඩකාමර, උතුරුමැද පළාතේ ප්‍රමිතියෙන් තොර ජල පෙරණ එම වාර්තාවන්ට අයත් වෙති.

මේ අතරින් මීගමුව කලපුවට අදාළ වාර්තාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙන බව වාර්තාවේ.