Wednesday, 20 October 2021
GSP+ සහනය ගන්න මුස්ලිම් විවාහ, දික්කසාද පනතට සංශෝධන

GSP+ සහනය ගන්න මුස්ලිම් විවාහ, දික්කසාද පනතට සංශෝධන

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ.

ඒ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නම් ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අනුකූල වීම කළ යුතු බැවින් මේ තීරණයට රජය පැමිණ ඇතැයි පැවසේ.

මේ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට සියලූම මුස්ලිම් ඇමතිවරුන්ගෙන් යුත් ඇමති අනුකාරක සභාවක් පත් කිරීමට ඉකුත් කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුුර තොරතුරු ලබා ගැනීමට නීතිය, සාමය, හා දක්ෂිණ සංවර්ධන කටයුතු ඇමති සාගල රත්නායක මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් සභාව පවසන්නේ, මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවක් වුවත්, එය සිදු කළ යුත්තේ මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු මුස්ලිම් ප්‍රජාවේ අදහස් විමසා බැලීමෙන් පසුව මිස, යුරෝපා සංගමයේ හෝ ජාත්‍යන්තර ප්‍රජාවේ අවශ්‍යතාව අනුව නොවන බවයි.

එහි සභාපති එන්. එම්. අමීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජාත්‍යන්තරයේ වුවමනාවට අනුව උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට යන බවට ද තොරතුරු ලැබී ඇති බවයි.

සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ විදේශ ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් මිස ජාත්‍යන්තර ප්‍රජාවේ වුවමනාව අනුව නොවන බව එම සභාව අවධාරණය කර සිටී.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඇමති අනුකාරක සභාවක් පත් කිරීම අගය කර සිටින ශ්‍රී ලංකා මුස්ලිම් සභාව, මුස්ලිම් ප්‍රජාවේ ගැටළු විසඳීමේදී මුස්ලිම් දේශපාලන, ආගමික සහ සිවිල් ප්‍රජාවේ අදහස් විමසා බලා එම කටයුත්ත සිදු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටී.