Wednesday, 20 October 2021
අජිත්ගේ ප්‍රකාශය ශ්‍රීලනිප එකඟතාවක ප්‍රතිඵලයක් බවට සැකයක්

අජිත්ගේ ප්‍රකාශය ශ්‍රීලනිප එකඟතාවක ප්‍රතිඵලයක් බවට සැකයක් Featured

අර්ජුන් ඇලෝසියස් මහතාට විරුද්ධව නඩු පවරන බවට විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කළ ප්‍රකාශය ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයින් සමඟ ඇති කරගෙන තිබෙන රහස් එකඟතාවයක් මත සිදුවූවක් බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින්ගේ විශ්වාසය වී ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඇමතිවරයා අර්ජුන් ඇලෝසියස්ට නඩු පැවරිය යුතු බවට ප්‍රකාශකර සිටියේ මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවෙදි අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ”පර්පචුවල් ට්‍රෙෂරීස්” සමාගම අයුතු ලාභයක් උපයා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරුණු විමසා ඇති අවස්ථාවේදී එම ප්‍රකාශය එක්සත් ජාති පක්‍ෂයේ ස්ථාවරය නොවන බවට පවසා ඇතැයි වාර්තා වේ.

මේ අතර විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පෙන්වාදී ඇති ආකාරයට අර්ජුන් ඇලෝසියස් මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂයේ නීති අංශයේ ස්ථාවරය බවද පැවසේ.

මේ සිද්ධිය වන කාලය වන විට අර්ජුන් ඇලෝසියස් මහතා අදාල සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කර නොමැති බැවින් එය කළ නොහැකි බවද ඔවුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

මේ අනුව විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා පක්‍ෂයේත් නායකයාගෙත් කිසිදු ඇනුමැතියකින් තොරව කල මේ ප්‍රකාශය පිළිබදව විශාල සැකයක් මතුවී ඇති බවද වාර්තා වේ.

- සුජිත් මංගල ද සිල්වා