Sunday, 16 June 2019
නව ව්‍යවස්‌ථාවට ජනමත විචාරණයක්‌ නැහැ

නව ව්‍යවස්‌ථාවට ජනමත විචාරණයක්‌ නැහැ Featured

ජනමතය අනුව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කරන අතර ජනමත විචාරණයට යා යුතු කිසිදු කරුණක්‌ ව්‍යවස්‌ථාවට ඇතුළත් නොකළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්‌ ලබාදී තිබෙන බව මහ නගර සහ බස්‌නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදකිමින් පෙරේදා (10 දා) පැවසීය.

බුද්ධාගමට, ජාතික ගීයට සහ ජාතික කොඩියට ව්‍යවස්‌ථාවලින් මෙතෙක්‌ ලබාදී තිබුණු ස්‌ථානයේ කිසිම වෙනසක්‌ ඉදිරියේදී ඉදිරිපත් කිරීමට යන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සිදු නොවීම ඒකාන්ත බව ඇමැති චම්පික මහතා, මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකිමින් අනාවරණය කළේය.

ඉදිරිපත් කිරීමට සම්පාදනය කරගෙන යමින් තිබෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ඇතැම් කොටස්‌ අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බවද අමාත්‍ය චම්පික රණවක මහතා මහා නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

රහස්‌ ව්‍යවස්‌ථාවක්‌ නොවේ :
මෙතෙක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවලින් බුද්ධාගමට, ජාතික කොඩියට සහ ජාතික ගීයට මෙන්ම වෙනත් ආගම්වලට ලබාදී තිබෙන ස්‌ථානයන්හි කිසිදු වෙනසක්‌ යෝජිත ව්‍යවස්‌ථාවෙන් සිදු නොවන අතර ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන ව්‍යවස්‌ථාව රහස්‌ ව්‍යවස්‌ථාවක්‌ නොව පාර්ලිමේන්තුවේ මැති ඇමැති 225 දෙනාගේම ඒකමතික තීරණයක්‌ අනුව සම්මත වන ව්‍යවස්‌ථාවක්‌ වන්නේ යෑයිද අමාත්‍යවරයා පැවසීය.

අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ Cදාණරතන ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදුටු අමාත්‍යවරයා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක නාපාන පේමසිරි ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ද බැහැ දකිමින් අදහස්‌ දැක්‌වීය.

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ සහ තුෂාර ස්‌වර්ණතිලක යන මහත්වරුද හැඩිගල්ලේ විමලසාර, පන්විල විමලරතන සහ මාකඳුරේ රතන යන ස්‌වාමීන් වහන්සේද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.