Monday, 19 February 2018
පාසල් සිසුන්ට 'ඔන්ලයින්’ විභාග !

පාසල් සිසුන්ට 'ඔන්ලයින්’ විභාග !

මෙරට ලක්ෂ 45ක් වූ සිසු පරපුරට සෙත සලසමින් මුළු පාසල් පද්ධතියම ‘ඩිජිටල් කරණයට‘ ලක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසයි.

ලේකම්වරයා එබව සඳහන් කළේ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව අන්තර් ජාතික සමුළුවට එක් වෙමිනි.

මෙහි ප්‍රථම පියවර ලෙස ලබන වසරේ සිට මෙරට නාගරික පාසල්වල ‘ස්මාට්’ පන්ති 50ක් ආරම්භ කරන බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.

ඒ සමඟම අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු විෂය ධාරාවල විභාග ආදිය ද ස්මාට් (සුහුරු) ක්‍රමයට පරිවර්තනය කරන බවත් ලේකම්වරයා පැවසිය.

මේ අනුව ඉදිරියේදී මෙරට ප්‍රධාන පාසල්වල පන්ති කාමරවල සියලු ඉගැන්වීම් ඩිජිටල් ලෙස පරිගණක ගත ක්‍රමයකට සිදු වනු ඇති බවත් ඔහු පැවසිය.

ඩිජිටල් පන්තිකාමර :

මේ වසර අවසන් වන විට විභාග ඇගැයීම් මෙන් ම ‘ඔන්ලයින්’ විභාග, ප්‍රශ්න පත්‍ර ලබා දෙන ක්‍රමවේදයක් නුදුරු අනාගතයේ ඇති කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා පාසල්වලට තොරතුරු තාක්ෂණ ලබාදීමේ වැඩපිළිවෙළ යට‍‍ෙත් මවුපියන්ට තම දරුවා පන්ති කාමරයේ සිටින්නේද යන්න පිළිබඳ දැක බලා ගැනීමට පවා හැකිවන පරිසරයක් 2020 වසර වන විට ඇති කිරීම ද මේ මගින් අපේක්ෂා කරන බව කියා සිටියේය.

නවීන තාක්ෂණය නිසා ලොව පුරා ළමයින් පාලනය කළ නොහැකි මට්ටමට පත්වී පරිගණකගත සෙල්ලම් ආදියට යොමු වී ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇති බව ද පැවසු හෙට්ටිආරච්චි මහතා, පන්ති කාමර මෙසේ සුහුරු තාක්ෂණයෙන් උසස් කිරීමේදී පාසල් අධ්‍යාපනයට අදාළ විෂයන් 62ට පමණක් ප්‍රවේශ විය හැකි අයුරින් නව ඩිජිටල් පන්තිකාමර සැලසුම් කර ඇතැයි ද සඳහන් කළේය.

 ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන :

ඒ ඒ විෂය මාලාවට අදාළ තොරතුරු පමණක් පූර්ණ ලෙස තෝරා ගැනීම එහි අභියෝගය බව ද හෙට්ටිආරච්චි මහතා කියා සිටීයේය.

ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසුයේ,  මෙරට පාසල් 11,000 ක පරිගණක විද්‍යාගාර පහසුකම් ඇති බවත්, පාසල් වේලාවෙන් පසු එම විද්‍යාගාර ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන ලෙස භාවිත කළ හැකි බවත්ය.

එමඟින් ගම්වල සිටින සාමාන්‍ය ජනතාවට පස්වරු 1.00න් පසු පරිගණක දැනුම ලබා දීම සඳහා භාවිත කිරීමට ද අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසිය.