Wednesday, 23 May 2018
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානම අභියෝගය ?

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානම අභියෝගය ? Featured

දරුවන්ට වඩා යහපත් හෙට දිනයක් උදා කර දීම් වස් අධ්‍යාපන සංවර්ධනය කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය යොමු කරමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින ප්‍රධානම අභියෝගය බව සිවිල් සංවිධාන එකමුතුවක් පවසයි.

තිරසාර අධ්‍යාපන ඉලක්ක අනුව සමානාත්මතාවයෙන් යුත්, ගුණාත්මක අතින් ඉහල අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම සහතික කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිවිල් සංවිධාන 60 කින් සමන්විත අධ්‍යාපන සංවර්ධන සංධානය පවසයි.

'බරපතල කඩාවැටීමක්'

"තෝරාගත් සීමිත පාසල් ප්‍රමාණයකට පමණක් විශේෂ සැලකිලි දැක්වීම මත අධ්‍යාපනය තුල අසමානතාවය වර්ධනය වී ඇති බව," අධ්‍යාපන සංවර්ධන සංධානය පවසන්නේ ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

මේ තත්වය තුළ මූලික පහසුකම් පවා නැති ප්‍රාදේශීය පාසල් කිහිපයක් වැසී යන තත්වයක් උදා වී ඇති බවත් සිවිල් සමාජ ක්‍රියාධරයෝ පවසති.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින බරපතල වංචා සහ දූෂණ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට බඳවා ගැනීමේ ක්‍රියාදාමයේ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතල කඩාවැටීමකට මුහුණ දී සිටින බවත් ඔවුහු පවසති.

ප්‍රඥප්තියට පටහැනියි :

ප්‍රමිතියකින් තොර පෞද්ගලික පාසල් පිළිබඳව රජය අවධානය යොමු නොකිරීම හේතුවෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහීම අධ්‍යාපන සංවර්ධන සංධානය පෙන්වා දෙන තවත් ප්‍රධාන ගැටලුවකි.

"මෙය ළමා ලෝකයට අහිතකර වන අතර එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියටද පටහැනිය," යනුවෙන්ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(බිබිසි සංදේශය)