Wednesday, 20 March 2019
අනුරාධපුරයේ පානීය ජල අර්බුදයක් – රජරට පීඨ 3ක් වැසේ

අනුරාධපුරයේ පානීය ජල අර්බුදයක් – රජරට පීඨ 3ක් වැසේ

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ රැසක ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැසයමින් පවතී.

ජලාශ බොහෝමයක ජල මට්ටම සියයට 35 දක්වා පහත බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා පුහුණු අධ්‍යක්ෂ මෝහන රාජා මහතා පැවසිය.

අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කුඩා හා මධ්‍යම පරිමාණයේ ජලාශ රැසක ජල මට්ටම අඩු වී තිබේ.

මේ නිසා එම ප්‍රදේශවල ජනතාව බරපතල පානීය ජල ගැටලූවකට මුහුණදී සිටින අතර, එම තත්වය යටතේ රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ 3ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය සහ කළමනාකරණ පීඨය මෙලෙස වසා දමා ඇති අතර, ඒවා යලි විවෘත කරන දිනයක් මේ දක්වා තීරණය කර නොමැත.