Monday, 19 February 2018
ලොකු ලූනු ගොවියෝ දඹුලු පාරේ !

ලොකු ලූනු ගොවියෝ දඹුලු පාරේ !

දඹුල්ල නගරයේ මාර්ග වසා දමමින්, ටයර් පුළුස්‌සා දමමින් ලොකු ලූනු ගොවීහු ඊයේ (28 ) විරෝධතාවක නිරත වූහ.

ඒ, දේශීය ලොකු ලූනු කිලෝවක්‌ සඳහා රුපියල් 100 ක මුදලක්‌ නියම කරන ලෙසත්, පිටරටින් ලොකු ලූනු ගෙන්වීම වහාම නතර කරන ලෙසත් රජයට බල කරමිනි.

ගොවීන්ගේ විරෝධතාවට සහාය පළ කරමින් ඊයේ පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ වෙළෙඳසල් පැයක්‌ පමණ වසා දමා තිබිණි.

විරෝධතාකරුවෝ ආර්ථික මධ්‍යස්‌ථානය ඉදිරිපිටින් විරෝධතාව ආරම්භ කර දඹුල්ල නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලට පැමිණ සටන් පාඨ කියමින් රතිඤ්ඤා දල්වමින් හා මාර්ගයේ ටයර් පුළුස්‌සා දමමින් උද්ඝෝෂණයේ නිරතවූහ.

මේ හේතුවෙන් මහනුවර - යාපනය ඒ 09 මාර්ගයේ හා කොළඹ ත්‍රිකුණාමලය - ඒ. 06 මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබිණි.

පොලිසිය රථවාහන ධාවනයට විකල්ප මාර්ග හඳුන්වාදීමට පියවර ගත්තේය.

පසුව විරෝධතාකරුවෝ දඹුල්ල ගම්උදා භූමිය අසල ප්‍රධාන මාර්ගයේ දර කොට දමා ඒවාට ගිනි තබමින් පැය දෙකකට වැඩි කාලයක්‌ විරෝධතාවයේ නිරත වූහ.

මෙම විරෝධතාව දඹුල්ල ගොවි එකමුතුව මගින් සංවිධානය කර තිබිණි.