Sunday, 29 March 2020
මෛත්‍රී යයි :නිව්යෝර්ක් ආරක්ෂාව තරයි

මෛත්‍රී යයි :නිව්යෝර්ක් ආරක්ෂාව තරයි

එක්සත් ජාතීන්ගේ 71වන මහාමණ්ඩල රැස්වීම ආමන්ත්‍රණය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) එරට ජෝන් එෆ් කෙනඩි ගුවන්තොටුපළින් නිව්යෝර්ක් නුවරට ළඟා වී ති‍බේ.

අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය ලබන 26 වනදා දක්වා පැවැත්වෙන අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මූන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව මෙවර හේතුන් කිහිපයක් මත විශේෂත්වයක් ගනු ලබයි.

වසර 10ට අධික කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධුරය දෑරූ බෑං කී මූන් මහතා සහභාගී වන අවසන් සැසිවාරය මෙය වන අතර මීට අමතරව සංක්‍රමණිකයින් පිළිබඳ සමුඵවක් ද මෙහිදී පැවැත්විමට නියමිතය.

එම සමුළුවේ ප්‍රධානත්වය අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් දරනු ලබයි.

බැරැක් ඔබාමා ද මෙම සමුළුව ඇමතිමට නියමිත අතර ඔහු විසින් මෙම සමුළුව අමතනු ලබන අවසන් අවස්ථාව බවද සඳහන්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 21 වනදා මෙම සමුළුව ඇමතීමට නියමිතය.

29 දෙනෙකුට තුවාලයි :

මේ අතර, ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට එල්ල වුන බෝම්බ ප්‍රහාරයෙන් පසු නගරයේ ආරක්ෂාව තර කිරීමට ඇමෙරිකානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවන රාජ්‍ය නායකයන්ගේ සම්පාප්තියද මේ වකවානුවේ සිදුවීම නිසා ආරක්ෂක තත්වයන් පිළිබඳව දැඩි අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාවය මැති තිබීමද විශේෂත්වයකි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය පසුගිය සැප්තැම්බර් 13 ආරම්භවූ අතර ප්‍රධාන විවාදය සඳුදා (19) ආරම්භවීමට නියමිතයි.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පසුගිය සෙනසුරාදා (17) රාත්‍රී 8.30ට පමණ බෝම්බයක් පුපුරා ගිය අතර ඉන් 29 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවීය.

තවත් පුපුරා නොගිය බෝම්බයක් :

තවත් පුපුරා නොගිය බෝම්බයක් ද පසුව සොයා ගැනිණි.

බත් පිසින උඳුනක ජංගම දුරකතනයක් සම්බන්ධ කර සකසා තිබුණු එය මුලින් පිපිරිම සිදුවූ ස්ථානයෙන් ගොඩනැගිලි සංකීර්ණ හතරකට එපිටින් චෙල්සියා ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණි.

මෙම ප්‍රහාරය ත්‍රස්ත දී ප්‍රහාරයක් ලෙස එරට බලධාරීන් ප්‍රකාශ කරන අතර එය කිසියම් වූ සංවිධානයකට සම්බන්ධ ප්‍රහාරයක් දැයි මෙතෙක් නිගමනය කර නොමැත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන නිව්යෝර්ක් නගරාධිපති ඇන්ඩ්රු කොමෝ ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාරය කවුරුන් කුමක් අරභයා සිදු කළ ද වගකිව යුතු පිරිස නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවයි.

නිව්යෝර්ක් නගරයට එල්ලවුණු 9/11 ත්‍රස්ත ප්‍රහාරය සිහිකිරීමෙන් දින කිහිපයකට පමණ මෙය සිදුවීම නිසා තවත් මෙවැනි ප්‍රහාරයන් ඉදිරියේ දී සිදුවීමට ඉඩ ඇති බව එරට ආරක්ෂක අංශ අනතුරු අඟවයි.