Tuesday, 20 August 2019
පිළිකා රෝගීන් බිලිගන්නා හොර ඖෂධ ජාවාරමක්

පිළිකා රෝගීන් බිලිගන්නා හොර ඖෂධ ජාවාරමක් Featured

මහරගම පිළිකා රෝහලේ ලියුකේමියා රෝගී දරුවන්ට ලබා දෙන එන්නතක් ප‍්‍රමිතියෙන් තොරව ගෙන්වා ඒවා පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට ලබා දීමේ ජාවාරමක් කි‍්‍රයාත්මක වෙමින් පවතී.

මෙම එන්නතේ නම Oncaspar වන අතර අදාළ එන්නත් තොගයක් දැනටමත් එම රෝහලේ ගබඩා කර ඇත.

රුපියල් ලක්ෂ තිහක වටිනාකමින් යුතු එම එන්නත් තොගය චීනයෙන් ආනයනය කර ඇත්තේ OMACX Health Care(Pvt.) Ltd සමාගම විසිනි.

අදාළ එන්නත ගෙන්වීම සඳහා OMACX සමාගම Medmart Pharma (Pvt)Ltd නමින් තවත් හවුල්කාර සමාගමක් ද 2013 ජූලි මස 18 වන දින ලියාපදිංචි කර ඇත. එහි සේවය කරන්නේ ද OMACX සමාගමේම කි‍්‍රයාකාරීන්ය.

පරීක්ෂණ මට්ටමේ එන්නතක් :

OMACX සමාගම මෙරටට ආනයනය කරන චීන Oncaspar එන්නත චීනයේවත් භාවිත කරන්නේ නැත.

එමෙන්ම එය ලෝකයේ කිසිදු රටක ලියුකේමියා රෝගී සඳහා ලබා දීමක් සිදු කර නැත.

අදාළ චීන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO/GMP) සහතිකය හිමි වී නොමැති අතර එය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින්නකි.

ලියුකේමියා රෝගීන් දරුවන් සඳහා ලබා දෙන Oncaspar නම් එන්නත දැනට නිපදවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO/GMP)සහතිකය හිමි වී ඇත.

එම එන්නත මෙරටට ගෙන ඒමේ ඒකාධීකාරය හිමි වී ඇත්තේ එස්.ජේ. එන්ටර්ප‍්‍රයිසස් නමැති සමාගමටය. අවස්ථා කිහිපයක් එම එන්නත ගෙන් වීම සඳහා ටෙන්ඩරය අදාළ ආයතනයට ලැබී ඇතත් පසුව එම අවස්ථාව හිමි වී තිබුණේ OMACX සමාගමටය.

එම නිසා රෝගයට අදාළ නිසි ප‍්‍රමිතියෙන් යුතු ඖෂධ වෙනුවට පරීක්ෂණ මට්ටමේ පවතින ඖෂධ මෙරට දරුවන්ට ලබා දී තත්ත්වය පරීක්ෂා කිරීමක් සිදු වෙමින් පවතී.

එමෙන්ම මෙම එන්නත ද පරීක්ෂා කිරීම සඳහා මෙරට රසායනාගාර පහසුකම් නොමැති අතර අදාළ එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර ද නැත.