Wednesday, 20 October 2021
'අසරණයින්ට උදව් කිරීම ජාතික අපරාධයක් වෙලා' - නිශ්ශංක සේනාධිපති

'අසරණයින්ට උදව් කිරීම ජාතික අපරාධයක් වෙලා' - නිශ්ශංක සේනාධිපති

(ඇවන්ට් ගාර්ඞ් ආරක්ෂක සේවයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා හා 'රන්දිව' පුවත්පත අතර පැවති සම්මුඛ සාකච්ජාවකි)

ඔබගේ සේවකයෙක් වූ කැප්ටන් උදය දිසානායක ඔබට එරෙහිව බරපතළ චෝදනා රැසක් ඉදිරිපත් කරනවා?

කැප්ටන් උදය දිසානායක කියන්නෙ හමුදාවෙන් ඉවත් කළ නිලධාරියෙක්. මං මේ කාටවත් නිග‍්‍රහ කරන්න කියනවා කියල හිතන්න එපා. එතුමා ඒ දවස්වල ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා ගාව තමයි හිටියේ. පස්සේ මගේ හොඳම යාළුවෙක් එක්ක මං ගාවට ඇවිල්ලා රස්සාවක් ඉල්ලූවා. දවස් දහයක් විතර ආවා. ඔහුගේ අම්මට අසනීප බවත් කිව්වා. මම රට යන්න අවස්ථාවක් දුන්නා. මොම්බාසා කියන රටේ රක්නා ලංකා එකේ නිලධාරීන් සමඟ වැඩ කරන්න. නමුත් මෙයා රට යනකොට නඩුවක් තියෙනව කියල යන්න දෙන්න බෑ කිව්වා ලංකාවෙන්. ඒ නිසා ආපසු ආවා මාස දෙකකට විතර පස්සේ මම ආයෙත් මෙයාව යැව්වා.

නමුත් මෙයා එහේ හිටපු රක්නා ලංකා නිලධාරීන් එක්ක ගැටුම් ඇති කර ගත්තා. ගහ ගත්තා. එහි ඉන්න නිලධාරියකුට මෙයා පිහියෙන් අනින්න ගියා. මෙයා නැවතිලා හිටපු ගෙදර අයිතිකරයාගේ බිරිඳට ලිංගික අඩන්තේට්ටම් කරන්න ගිහිල්ලා අහුවෙලා ඒ අයිතිකාරයා මෙයාව කඩුවෙන් කපන්න එලෙව්වා. ඒ වෙලාවෙ ඒ රටෙන් වහාම පිටුවහල් කරලා නැවකට නැග්ගුවා. එතැනින් ඩුබායිවලින් ලංකාවට ආවා. මේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. මේ ගැන පරීක්ෂණයක් කෙරුණා. නමුත් පස්සෙ ආයෙත් මාව හොයාගෙන ආවා රස්සාවක් ඉල්ලගෙන. මං දුන්නෙ නෑ.

මේ ප‍්‍රශ්න ඇති වුණාට පස්සේ අපේ ඉහළ නිලධාරියකුට කතා කරලා කියනවා එයාට සී.අයි.ඞීයෙන් කතා කරනවා. එයා රජයේ සාක්ෂිකාරයෙක් වෙන්න යනවා. ගාණක් දුන්නොත් සාක්ෂි නොදී ඉන්නම් කියලා. අපේ නිලධාරියා මට මේක කිව්වා. මට තරහ ගියා. මං එවලෙම දුරකතනයෙන් ඔහුට බැන්නා. ඒ වෙලාවෙදි කිව්ව ඔහුගේ අම්මට අසනීපයි සල්ලි ඕනේ කිව්වා කියලා. මං කිව්ව, ඇයව රෝහල් ගත කරන්න. කෙරෙන්න තියෙන දෙයක් මං බලා ගන්නම් කියලා. මං ගැන සී.අයි.ඞීයට මොනව හරි කියන්න තියෙනව නම් අර වගේ තුට්ටු දෙකේ කතා කියන්න එපා, සී.අයි.ඞීයට ගිහිල්ලා කියන්න තියෙන දේ කියන්න. කිසි ප‍්‍රශ්නයක් නෑ අපි සියයට සියයක් දන්නවා අපි කළේ මොනවද කියලා. කප්පම් ඉල්ලන්න නම් ලැහැස්ති වෙන්න එපා. රස්සාවක් ඕන්නම් මං ඒකත් සලකලා බලන්නම් කියලා කිව්වා.

පස්සෙ මිනිහව ගෙනාපු යාළුවා මට කතා කරල කියනවා රුපියල් මිලියන 15ක් මිනිහට දීලා ෂේප් කර ගමු කියලා. මට තේරුණා මේක මේ කට්ටියක් එකතුවෙලා කරන දෙයක් කියල.

ඊට පස්සෙ මට මිනිහා ලියුමක් එවනවා එයාට සම්මාන ප‍්‍රදානයක් කරන්න කියලා. කප්පම වෙනුවට මුදල් තෑග්ගක් ඉල්ලනවා, මගේ මේ ගිණුමට සල්ලි දාන්න කියලා. මේ මිනිහත් මානසිකව අසනීපයි, එයගේ අම්මත් අසනීපයි. ඒක සලකලා මම ලක්ෂ 10ක් එයාගේ ගිණුමට දැම්මා. මං සාමාන්‍යයෙන් අසනීපයෙන් සිටින ගොඩක් මිනිසුන්ට මිලියන් ගණනින් උදව් කරන කෙනෙක්. මේක මේ මෙයාට කරපු විශේෂ දෙයක් නෙවෙයි.

ඊට පස්සේ අම්මට පිළිකාවක් කියලා අයෙත් මගෙන් මිලියන 35ක් ඉල්ලූවා. sms එකක් එව්වා. ඒක මං ගාව තාම තියෙනවා. මං බැන්නා බොරු කියන්න එපා, අම්මව රෝහලට ගෙනියන්න මං උදව් කරන්නම් කිව්ව. මිනිහ මං බැනපු එක අල්ලගෙන මාව බ්ලැක්මේල් කරන්න ගත්තා තව වමේ පක්ෂ නායකයෙක් එක්ක එකතුවෙලා. මං කෙලින්ම ගියා පොලීසියට. මාර්තු 4 වනදා පැමිණිල්ලක් දැම්මා. මෙයා කියපු ලියපු ඔක්කොම පොලීසියට දුන්න. මෙයා එවපු sms වල තියෙනවා, ‘සර් ඔයා රටක් වටින පුතෙක්. ඔබට මං ගරු කරනවා. මගේ අම්මව බලා ගන්න එක ගැන.... මෙහෙම එවපු sms 45ක් විතර තියෙනවා.

පොලීසියෙන් මෙයාව කැඳෙව්වාම මිනිහ පරල වුණා. එතකොට මට කියනව ‘උඹට මම කෙළවනවා.. උඹ දන්නේ නෑ මගේ හැටි. මම රජයේ සාක්කිකාරයා වෙනවා මට දේශපාලකයෝ ඉන්නවා. මට ජූඩෝ කරාටි කළු පටි තියෙනවා.....වගේ කතා කිය කිය දිගටම sms එවනවා කතා කරනවා. මම පිළිතුරු දුන්නේ නෑ. එහෙම ඒවත් 45ක් විතර තියෙනවා. මේ ඊයේ පෙරදා එවපුවත් තියෙනවා. මේ ටික දැක්ක නම් තේරෙනවා මෙතුමා මන්දබුද්ධිකයෙක් කියලා. මට මේවා හංගන්න ඕනෙ නෑ.

එහෙත් ඔහුට මරණීය තර්ජනය කරන්න අයිතියක් ඔබට නෑ.

නෑ බොරු. මම මරණ තර්ජනය කරලා නෑ. එයාට ජීවිත තර්ජනය කළා කියල බොරු පැමිණිලි කරලා කරපු අපහාසයට විරුද්ධව මං නීතිමය පියවර ගන්නවා. එයා මට විරුද්ධව පොලීසියට දාපු පැමිණිල්ලෙ තියෙන්නෙ මං පඩි ගෙව්වෙ නෑ කියලා. මං පඩි ගෙව්වෙ නැත්නම් එයා යන්න ඕනෙ කම්කරු දෙපාර්තමේන්තුවටනේ. අනිත් චෝදනා මොනවත් නෑ. දැන් මෙයා සී.අයි.ඞීයට ගිහිල්ල පැමිණිල්ලක් දාලා කටඋත්තර දුන්න කියනවා. ඒක ඇත්තද? නෑ. පැමිණිල්ලක් දාලා නෑ.මේ බොරුව කරන්නෙ මං බය වෙලා සල්ලි දෙයි කියලා. බය වෙන්න ඕනෙ නෑනේ මං වැරැද්දක් කරලා නෑ කාටවත් බය වෙන්න.

එහෙත් ඔහු චෝදනා රැසක් කරල තියෙනවා. ඒවා ඉතා බරපතළයි?

හරි ඒවා ඇත්තනම් ඔප්පු කරල පෙන්වන්න... දැන් ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඔය චෝදනාවලට බය නම් මට ඉස්සෙල්ලම සල්ලි දෙන්න තිබුණා. කට්ටිය හිතන් හිටියා මේ බොරු චෝදනාවලට මාව හිරේ යවයි කියලා. සමහර මාධ්‍යත් කිව්වා දැන් මාව අත්අඩංගුවට ගන්නවා කියලා. මාව බය කරලා සල්ලි ගන්න බෑ. මං එහෙම සල්ලි දෙන්නේ නෑ.

එතකොට ඔබ ගනුදෙනු කරන අවි ජාවාරම්කරුවකු කියන බෲනෝ පාඩිගන්ගේ සම්බන්ධය?

බෲනෝ පාඩිගන් කියන මිනිහා මට බැනල එවපු ඊමේල් තියෙනවා. මිනිහා තමයි ඉස්සර අවි ගබඩා පවත්වාගෙන ව්‍යාපාර කරපු කෙනා. ලොකේ ලොකුම කෝටිපතියෙක්. මම තමයි එයාව නැති කළේ. එය මට බැනලා ලියුම් එව්වෙ මං මේ පාවෙන අවි ගබඩා පටන් ගන්නත් කලින්. ඒ මීට අවුරුදු 2 කටත් කලින්. මට එයා එක්ක කිසි සම්බන්ධයක් නෑ.

ඔබට තවත් චෝදනාවක් ඉදිරිපත් වුණා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳට අයත් සිරිලිය හා කාල්ටන් පෙර පාසලේ ගිණුම්වලට ලක්ෂ ගණනින් මුදල් දැමීම සම්බන්ධයෙන්?

මං දැනගෙන හිටියේ නෑ පාසල් ළමයින්ට උගන්වන ගුරුවරුන්ට පඩි ගෙවන එක ජාතික අපරාධයක් කියලා. කලින් දැන ගෙන හිටියානම් මං ඒක කරන්නේ නෑ. ඕක අහන්න තමයි මට එන්න කිව්වේ.

ඇයි ඔබ එම ගිණුම්වලට මුදල් දැම්මේ? ඔබෙන් සල්ලි ඉල්ලූවද?

මම කරපු වැරැද්ද ඒක. හොඳ ප‍්‍රශ්නයක් ඇහුවේ. අපේ බුද්ධාගමේ කියල තියෙනවා කරුණු 4ක්. හම්බ කරන හතරෙන් එකක් තම ආයතනය වෙනුවෙන් යොදවන්න. එකක් ඉතුරු කරන්න. එකක් තමන්ගේ පවුලට නෑදෑ හිතවතුන්ට දෙන්න. අනෙක් එක දුප්පතුන්ට දෙන්න. ඔය 4 මං පිළිපදිනවා.

මං සල්ලි දීලා තියෙන්නෙ සිරිලියට විතරක් නෙවෙයි වජිර ළමා නිවාසයේ දහම් පාසලේ ගුරුවරුන්ට වැටුප් ගෙවන්න මාසයකට එක්ලක්ෂ හැටදාහ ගාණේ මං අවුරුදු 5ක් තිස්සෙ ගෙවල තියෙනවා.

හේතුව තමයි මේ හැම කෙනෙක්ම ජීවත්වෙන්න ඕනෙ. මම ව්‍යාපාරිකයෙක් නෙවෙයි සොල්දාදුවෙක්. ගොඩක් අය අහල තියෙන්නේ නිශ්ශංක සේනාධිපති කියන්නේ බිස්නස්කාරයෙක් කියලා. මම හමුදා සොල්දාදුවෙක්. ජීවිතයේ රහ දන්න කෙනෙක්. ගමේ ඉන්න එදා වේල කන්න නැති කිරිපිටි පැකට් එකක් ඇහැට දැකලා නැති කැලෑවල ජීවත්වෙන මිනිස්සු වෙනුවෙන් යුද්ධ කළ මිනිස්සු අපි. කොළඹ හතේ කට්ටිය වෙනුවෙන් නෙවෙයි. ඒ නිසා ජීවිතයේ වටිනාකම මුදල්වලට වඩා වටින බව මම දන්නවා. ඒ නිසා මගේ ගෙදරට ඇවිල්ලා කවුරු හරි අසරණකම කිව්වොත් මං උදව් කරනවා. දැන් අද උදේ ආවා කට්ටියක්. රූපවාහිනී සංස්ථාවේ කෙනෙක්. මං එයාගේ ළමයව යැව්වා ඉන්දියාවට. ලියුකේමියාවට ප‍්‍රතිකාර කරන්න ලක්ෂ විස්සක්ද විසි පහක්ද ගියා. අද ආයෙත් ආවා උදව්වක් ඉල්ලගෙන. අද උදේ ඉඳල පණිවුඩ 3ක් තියෙනවා උදව් ඉල්ලලා.

නමුත් ඔබ කරන ව්‍යාපාරය තරමක් විවාදාත්මකයි. එහි ඇතැම් දේ වසා ගන්න මේ උදව් කරනවා වෙන්න පුළුවන්?

නෑ මේකයි වෙලා තියෙන්නේ. දැන් කට්ටියකට මේකෙන් ගාණක් යන්නැති නිසා මේක විවාදාත්මක වෙලා තියෙනවා. මං හම්බු කරන සල්ලි කාටවත් දෙන්න ඕනෙ නෑනේ. මේක ගැන කාටවත් වචනයක්වත් කියන්නත් බෑ. මොකද මේවා විදේශ විනිමය. මට මේ මුදල් නීත්‍යානුකූලව මේ රටට නොගෙන ඉන්නත් තිබුණා. මගේ වැරැද්ද මේ සල්ලි ලංකාවට ගෙනාපු එක.

ඒත් ඔබ පසුගිය දිනවල මේ කළ සේවාවන් ගැන දැන්වීම් ප‍්‍රචාරය කරමින් කළේ ඔබට එරෙහි වන චෝදනාවන් වළක්වා ගන්න ජන අනුකම්පාව ලබා ගැනීමට නේද?

මං මිනිස්සුන්ට උදව් කළේ අවුරුදු හතකට විතර ඉස්සෙල්ල ඉඳලා. එදා මං ඕවා ප‍්‍රසිද්ධ කළේ නෑ. ඇයි දැන්වීම් දැම්මේ, රට දැනගන්න ඕනෙ අපි හොරු නෙවෙයි කියලා. මං ඔය උදව් කරපුවා ඔක්කොම කළේ බැංකු හරහා. රහසින් නෙවෙයි. බොරුවට කෑගහන දේශපාලකයෝ සත පහක්වත් දීලා තියෙනවද? පන්සලකට දානයක් දීලා තියෙනවද? නෑ. ඔය පසුගිය අවුරුදු හතට මං මගේ ජනප‍්‍රියත්වයට මොනවත් පත්තරේ දාල නෑ. දුප්පත් මිනිස්සු බලා ගන්න එක ජාතික අපරාධයක් වෙලා තියෙන්නේ.

නාවික හමුදාව විසින් කළ ව්‍යාපාරයක් ඔබේ තනි ඒකාධිකාරයට යටත්ව ලැබෙන්නේ කොහොමද?

නෑ මට දුන්නේ නෑ. මට ඒක දෙන්න නාවික හමුදාවට පිස්සුද?

රාජපක්ෂවරුන් සමඟ පැවැති මිත‍්‍රත්වය උඩයි එය ඔබට ලැබෙන්නේ?

නාවික හමුදාව මේ ව්‍යාපාරය කරගෙන යනකොට ඔවුන් අතින් යම් වැරැදීම් වුණා. ශ‍්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ශ්‍රේෂ්ඨ හමුදාවක්. මහත්මා ගුණ තිබෙන කට්ටියක්. අපිත් ඔවුන් සමඟ බොහොම හොඳින් වැඩ කළා. මේ විෂය ජාත්‍යන්තර වෙළෙඳ නාවික සම්බන්ධතා පිළිබඳයි. නාවික හමුදාවට ඒ දැනුම තිබුණෙ නෑ. නාවික හමුදාව මාව කැඳෙව්වා. ඒ අය මා එක්ක කතා කළා. මේ විෂය පිළිබඳ දැනුවත් කළාට ස්තුතිවන්ත වුණා. ඒ අය බොහොම නිහතමානීව මහත්මා විදිහට පිළිගත්තා නොදැන කළ ව්‍යාපාරයක් නිසා වැරැදි ගොඩක් වුණා කියලා. සමහර ඒව ඉතා බරපතළයි. රටේ ආරක්ෂාවට හා නාවික හමුදාවේ විනය සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්නයක් ආවා. ඒ සම්බන්ධ ලිපියක් මං ගාව තියෙනවා. එහි රහස්‍යභාවය රැකිය යුතු නිසා මං ඉදිරිපත් කරන්නෙ නෑ.

නාවික හමුදාවේ අද්මිරාල්වරු 11 මේ රැස්වීමෙ හිටියා. ඒගොල්ලො අත්සන් කරපු ලියුමක් තියෙන්නේ. වර්තමාන නාවික හමුදාපති වගෙම ඉදිරියට ඉන්න අනෙක් තුන්දෙනාත් මේ රැස්වීමේ හිටියා. ඒ ලියුම දුන්නෙ මටත් නෙවෙයි ආරක්ෂක අමාත්‍යාංශයට. මට දුන්නේ එකේ පිටපතක්.

ඊට පස්සේ මේක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් නාවික හමුදාවෙන් ගැලෙව්වා. මේක නාවික හමුදාවට දීලා තියෙන්නෙ ආරක්ෂක අමාත්‍යාංශයයි. නාවික හමුදාව කියන්නේ පෞද්ගලික සමාගමක් නෙවෙයි, රජයේ ආරක්ෂක හමුදාවක්. ආරක්ෂක අමාත්‍යාංශය මේක බාරදුන්නේ රක්නා ලංකා සමාගමට. මට නෙවෙයි.

මේ කාලයේ රක්නා ලංකා සමාගම සමඟ එම ව්‍යාපාර කරපු මෙරට නාවික සමාගම් 24ක් විසින් ආයුධ දෙසීයක් විතර නැති කරගෙන තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සලයෙන් මේ ප‍්‍රශ්නය නිසා ලංකාව බ්ලැක් ලිස්ට් කරන්න හැදුවේ. ඒක නවත්ත ගත්තේ මම.

රක්නා ලංකා යටතේ තිබූ ආයුධ නැති වුණාම ඒ අය අපෙන් ක‍්‍රමවේදයක් ඉල්ලූවා. ඊට පස්සේ තමයි මේ අවි ගබඩාව පටන් ගත්තේ. මගේ නැව් දෙකක් රතු මුහුදටයි ගල්ෆ් ඔෆ් ඕමාන්වලයි තියෙනවා. ඒ වෙන කොට මුළු අග්නිදිග ආසියාවෙම පාවෙන අවි ගබඩා පිළිබඳ ප‍්‍රවීණතාවය තිබුණේ ඇවන්ට් ගාර්ඞ් සමාගමට විතරයි. මේ නිසා ආරක්ෂක අමාත්‍යාංශය තෝර ගත්තා ඇවන්ට් ගාර්ඞ් සමාගම. මගෙන් ව්‍යාපෘති වාර්තාවක් ඉල්ලූවා. ඒගොල්ලන්ට සල්ලි වියදම් කරන්න බෑ කිව්වා. මං බාර ගත්තා. ඒ වෙනුවෙන් ඒ වෙලාවේ මිලියන 160 වියදම් වුණා. අදටත් මම සපයන පාවෙන අවි ගබඩා පහසුකම් යටතේ ලංකාවේ ආයුධ තියෙනවා පිටරටවල. මං හෙට උදේ මේ බිස්නස් එක නැවැත්තුවොත් ඒ ආයුධ තියන්න තැනක් නෑ. මසකට ඒ වෙනුවෙන් මිලියන 80ක් විතර වියදම් කරනවා. මං හම්බු කරන සල්ලි ඒවාට යන්නේ.

මගේ අනෙක් පාවෙන අවි ගබඩා දෙක ගැන කවුරුවත් කතා කරන්නෙ නැත්තේ ඒවායේ තියෙන්නේ ලංකාවේ අවි. ඒ නැව් දෙක නැත්නම් ලංකාවේ අවි තියන්න තැනක් නෑ.. ගාල්ලෙ තිබෙන මහනුවර නැවේ තියෙන්නේ විදේශ රටවල අවි.

නාවික හමුදාව මේ ජොබ් එක කරන කොට ඔපරේෂන් 515යි කරල තිබුණේ. ජොබ් එකක් ඩොලර් 1000ටයි කළේ. හම්බ කරල තිබුණේ අවුරුද්දට ඩොලර් මිලියන් 6යි. මම 1000ට කරපු ජොබ් එක 3500ට කළා. මේකෙ ලාභය ලැබුණේ මට නෙවෙයි. ඒකෙදි නාවික හමුදාව භාරයේ සියලූම අවි ආයුධ තිබුණේ. මම කළේ පරිපාලනයක් පමණයි. රක්නා ලංකා සමාගම මේක ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කළා. පාර්ශ්ව තුනක් එකතු වෙලා කරනකොට වැරැදීම්වලට ඉඩක් නෑ. මං ඊළඟ අවුරුද්දට ඩොලර් මිලියන 30ක් හෙව්වා. ඊගාවට මේ සමස්ත ආදායමෙන් සියයට 45ක් රජයට ගෙවලා තියෙනවා. ලාභයෙන් නෙවෙයි සමස්ත ආදායමෙන්..

නාවික හමුදාව හෙව්වෙ ඩොලර් 1000ක් නම් මං ඩොලර් 2000ක් හොයල දුන්නා.. මේකද ඔය ජාතික අපරාධයක් කියන්නේ. අපිට එක ආයුධයක්වත් අල්ලන්න අයිතියක් නෑ සියල්ල තිබෙන්නේ නාවික හමුදාව භාරයේ. අපේ නැවේ නාවික හමුදාවෙ පනස් ගණනක් රාජකාරි පිට ඉන්නවා නිල ඇඳුමෙන්.

රාජපක්ෂ පවුලෙන් නෙවෙයි මේවා මට දුන්නේ. මම රජයට පාඩුවක්ද ලාභයක්ද කරල තියෙන්නේ? ලාභයක් විතරක් නෙවේ නීත්‍යානුකූලව වැඬේ වෙනවා. රටට කළු පැල්ලම් නෑ.

නමුත් ආරක්ෂක අමාත්‍යාංශය මෙම ව්‍යපාරය ඔබට පැවැරීමේදී අනුගමනය කළ ක‍්‍රියා පටිපාටිය නීත්‍යානුකූල නැති බවට චෝදනා එල්ල වී තිබෙනවා?

ඒක කියන්නෙ ගාණක් කඩාගන්න බැරි වුණ අයනේ.

කවුද කියන්නේ එක නීත්‍යානුකූල නෑ කියලා..? මේ සම්බන්ධයෙන් චෝදනා ගොනු කර්න පාර්ශ්වයන්. ඒ ඒගොල්ලන්ට මගෙන් ගාණක් කපා ගන්න බැරිවෙච්ච හින්දා. ආරක්ෂක අමාත්‍යාංශය එදා දුන් නියෝගය අනුව තමයි අපි අදටත් වැඩ කරගෙන යන්නේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ඇතුළු පිරිසකට චෝදනාවක් එල්ල වෙලා තියෙනවානේ නීත්‍යානුකූල භාවයෙන් තොරව කටයුතු කර ඇති බවට. ඒ ගැන පරීක්ෂණයක් කෙරෙනවා?

ආරක්ෂක අමාත්‍යාංශය කොහොමද නීත්‍යානුකූල නොවන ලියවිල්ලක් දෙන්නේ? එහෙම කරන්න පුළුවන්ද?

අවි ආයුධ ආඥා පනතට පටහැනිවයි ඔබට අවසර ලැබෙන්නේ?

ඒකට පටහැනිව ක‍්‍රියා කරලා නෑ. ඒක තීරණය කරන්න ඕනෙ ආරක්ෂක අමාත්‍යාංශය. අනිත් එක අවි අයුධ මං ගාව නෑ. චෝදනා කරන්නේ අවි ආයුධ මං ගාව තියෙනවා කියලා. එතකොට නාවික හමුදාව මොකටද ඉන්නේ.? නැව්වලින් ආයුධ බාර ගැනීමත් නිකුත් කිරීමත් නාවික හමුදාව භාරයේයි තියෙන්නේ.

එතකොට ඔබ සමාගම භාරයේ කිසිදු ආයුධයක් නැද්ද?

නෑ මගේ ගබඩා විතරයි තියෙන්නේ. මං ගබඩාව කුලියට දීමක් විතරයි කරල තියෙන්නේ. නාවික හමුදාවෙන් ඒ ගබඩාව මුර කරනවා. ආයුධ ගබඩා කිරීම හා නිකුත් කිරීම කරන්නෙ නාවික හමුදාව.

මේ ව්‍යාපාරයේ ඒකාධිකාරය ඔබ සතුවයි තියෙන්නේ. රාජපක්ෂ ආණ්ඩුව ඒක වෙන කෙනෙකුට නොදීම සැක සහිතයි?

කවුද කියන්නේ. තවත් සමාගම් විසි ගාණක් තියෙනවා. කවුරුවත් ඒක ගැන කතා කරන්නේ නෑ. කට්ටිය ඒක වහල තමයි කතා කරන්නේ. මං වගේ තව සමාගම් 13ක් මුහුදේ මෙහෙයුම් කරනවා.

මේක දෙනවා කියන එක නාවික හමුදාව කියල දවස් 45කට පස්සෙයි මං ව්‍යාපෘති වාර්තාවක් දැම්මේ. වෙන කවුරුවත් දැම්මෙ නෑ. මගේ යෝජනාවට කිසි කෙනෙක් විරුද්ධත්වයක් පෑවෙත් නෑ. වෙන කවුරු හරි මේක දාල තිබිල මට ලැබුණ නම් ඔන්න කතා කරන්න තිබුණා, මම අවදානමක් අරගෙනයි මේකට ඩොලර් මිලියන 1.32ක් ආයෝජනය කළේ. ව්‍යාපාරය පාඩු වුණානම් බංකොලොත් වෙන්නේ මම. රජය එක තඹ සතයක් මේකට වියදම් කළේ නෑ. මං ආණ්ඩුවට අවුරුදු දෙකකට අඩු කාලයක් සඳහා ගෙවල තියෙනවා මිලියන 3300ක්. බිලියන 3.3ක්.

අවි ගබඩාවක් තියෙන්නේ ඔබට පමණයි?

ඔව්. මං ගාව අවි ගබඩාවක් තියෙනවා. ඒක ඇවිල්ල මේකෙ එක දෙයක් විතරයි. ඒකාධිකාරයක් නෑ. මුහුදු ආරක්ෂණ සේවයේ ලෝකයේම අංක එකට ඉන්නෙ මං. මේ අග්නිදිග ආසියාවෙම දුවන්නේ මං විතරයි. මේ ලෝකෙ Long liners දිගු දුර මෙහෙයුම් කරන්න ISO සහතිකය එක්සත් රාජධානියේ ලොයිඞ්ස් ආයතය දීලා තියෙන්නේ මට විතරයි. වෙන කාටවත්ම සුදුසුකම් නෑ. එතකොට දක්ෂයාට සුදුස්සාට දෙන්න වෙනවා. අනිත් අයට මේක නොදුන්න හේතුව මං කලින් කිව්වා. මෙයාලා ආයුධ නැති කළා. මං අතින් මිලියන් 32ක් වියදම් කරගෙන තමයි ඒ ආයුධ 195න් 181ක් හොයාගෙන ආවේ. අදටත් ආයුධ 14ක් අතුරුදන්. අන්න ඒක ගැන පරීක්ෂණයක් පවත්වන්න. දැන් මට චෝදනා කරන සමාගම්වල කට්ටිය රජයේ අනුමැතියක් නොමැතිව හොර ලියවිලි හදලා තිබුණා. මේ ආයුධ හොරෙන් වෙන රටවල අයට දුන්නා. හොරෙන් කුලියට දුන්නා. මේ සමාගම් ගණනාවක් දැන් බ්ලැක් ලිස්ට් කරල තියෙන්නේ. මං මේ ආයුධ ටික හොයා ගත්තේ නැත්නම් මේ බිස්නස් එක මට විතරක් නෙවෙයි මේ රටේ කාටවත් කරන්න ලැබෙන්නේ නෑ. අපේ රටේ සිංහලයෝ කැමැති නෑ කාට හරි වැඩිපුර කීයක් හරි ලැබෙනවාට.

ඔබ ව්‍යාපාරික වශයෙන් බංකොලොත් කරන්න කියන කතා විතරද මේවා?

නෑ. මාව බංකොලොත් කරන්න බෑ. ව්‍යාපාරය බංකොලොත් කරන්න පුළුවන්. මට මේක බංකොලොත් වුණත් එකයි නැතත් එකයි. මං හම්බු කරගත්තු සල්ලි ටිකක් තියෙනවා ඉතිරි කාලයේ හොඳින් ජීවත්වෙන්න. හැබැයි මේක මට නැති වුණොත් ඒක ලංකාවටම නැතිවෙනවා. මට නෙවෙයි පාඩුව ලංකාවට.

නමුත් මං හදපු දරුවව වෙන කාටවත් දෙන්නෙ නෑ.

(රන්දිව - සංවාදය: පුලස්ති සමරවික‍්‍රම)