Wednesday, 20 October 2021
'පොදු අපේක්ෂකයා විදියට මගෙ නමත් යෝජනා වුණා' -අර්ජුන

'පොදු අපේක්ෂකයා විදියට මගෙ නමත් යෝජනා වුණා' -අර්ජුන

ඔබ ගම්පහ රණතුංග පවුලේ කෙනෙක්. මේ වන විට ඔබ දේශපාලන වශයෙන් යම් තීරණාත්මක තැනකට පැමිණ සිටිනවාද?

මම ක්‍රිකට්වලින් විශ්‍රාම ගියාට පස්සෙ ඇත්තටම මාව දේශපාලනයට ගෙනාවෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. හැබැයි මට තිබුණු ලොකුම හයිය වුණේ මගෙ තාත්තගේ දේශපාලන ක්‍රමාවේදය. දේශපාලනඥයෙක් හැටියට තාත්තට රටේ මිනිස්සුන්ගේ ලොකු පිළිගැනීමක් තිබුණා.

අපිට හම්බවුණු ලොකුම සහතිකය තමයි තාත්තා හොරෙක් නෙවෙයි කියන එක. ඒ අතින් බැලූවම අපි හරි වාසනාවන්තයි. එතනින් එහාට මම චන්ද්‍රිකා මැතිනියගෙන් ලැබුණු ආරාධනාවට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳී දේශපාලන කටයුතුවල නිරත වුණා.

2003 දී මම නියෝජ්‍ය ඇමතිවරයෙක් වුණා. එතනදි මම මතක් කරන්න ඕනි අනුර බණ්ඩාරනායක මහත්මයා ගැන. විශේෂයෙන්ම මම දේශපාලනඥයන්ට සර් කියන්නෙ නෑ. මම මේ රටේ දේශපාලනඥයන් වශයෙන් සර් කියලා කතා කරපු චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් අනුර බණ්ඩාරනායක මහත්මයා. අනෙක් කෙනා ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයා. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ දේශපාලනය කළා.

මම සංචාරක නියෝජ්‍ය ඇමැති වෙලා හිටියා. එක පාරක් ක්‍රිකට් ආයතනයේ අතුරුපාලක මණ්ඩලයක් පත්කරන්න යන වෙලාවකල මට කිව්වා ඔයාව දාන්න බෑ. ඔයා නියෝජ්ය ඇමැතිවරයෙක් හින්දා කියලා. මම එතකොට නියෝජ්‍ය ඇමැතිවරයෙක් වෙලා හිටියේ. මම කිව්වා, මම ක්‍රිකට්වලට කැමැත්තක් තියෙනවා එහෙම නම් මම මේකෙන් අයින් වෙලා ක්‍රීඩාව බලාගන්න වගකීමට යන්නම් කියලා. එහෙම කිව්වම මට කැමැත්තක් කරන්න කිව්වා. අමාත්‍යාංශයට ගිහිල්ලා අස්වීමේ ලිපිය බාරදීලා මම බලන් හිටියා. හැබැයි මාව දැම්මෙ නෑ. ඊට පස්සෙ මම මන්ත්‍රීවරයෙක් හැටියට හිටියා.

ඒ කාලේ යුද්ධෙ කරගෙන ගිය කාලේ. මම දැක්කා හුඟක්ම අනවශ්‍ය දේවල් වෙනවා. හැබැයි මම තීරණය කරන් හිටියා මේ වෙලාවෙ මම පක්ෂ මාරු කරන්න හොඳ නෑ, වෙනත් පක්ෂයකට යන්නත් හොඳ නෑ කියලා. පක්ෂ මාරු කරනවට වඩා මට අවශ්‍ය වෙලා තිබුණේ විපක්ෂයට ගිහිල්ලා ආණ්ඩුව කරන වැරැදි දේවල් පෙන්නන්න. නමුත් මම ඒ වෙලාවේ තීරණය කළා ඒක හොඳ වෙලාවක් නෙමෙයි කියලා. ඒ යුද්ධෙ අන්තිම කාලේ. පස්සෙ යුද්ධෙ ඉවර වෙනකල් මම ඉතාමත් ඉවසීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදිහට සහයෝගය ලබා දුන්නා.

හැබැයි 2009 යුද්ධෙ දින්නට පස්සෙ මම තීරණය කළා ඒ ක්‍රමවේදයත් එක්ක මට දේශපාලනය කරන්න බෑ කියලා. ඊට පස්සේ දේශපාලනික වශයෙන් මගේ වෙනසක් ඇති වුණා.

මොකක්ද ඒ දේශපාලන වෙනස?

මම 2008 ක්‍රිකට් ආයතනයේ සභාපති වෙලා හිටියා. මාස 11ක් සභාපති වෙලා ඉඳලා ක්‍රිකට්වල සෑහෙන වෙනසක් අපි ඇති කළා. හොරකම් නැවැත්තුවා. අන්න එතැනදි තමයි ප්‍රශ්නයක් මතු වුණේ. මොකද එතැන වෙච්ච හොරකම් නවත්වපු ගමන් ඒ වටේ ඉන්න මිනිස්සු ටික මම එතැන ඉන්නවට අකැමැති වුණා.

දේශපාලන හයිය තියෙන අය, සමහර වෙලාවට දේශපාලන බලය තියෙන පවුල් පාලනයට සම්බන්ධ අය කැමැති වුණේ නෑ මෙතැනින් ඒ අයට ලැබෙන මුදල නැති වෙනවට. ඒ නිසා ක්‍රිකට් ආයතනයෙන් මාව අයින් කළා. එදා හිටියේ ගාමිණී ලොකුගේ ඇමැතිවරයා.

ඊට පස්සෙ මම මන්ත්‍රිවරයෙක් හැටියට කටයුතු කළා. 2009 යුද්ධෙ ඉවර වුණාට පස්සෙ 2010 ෆොන්සේකා මහත්තයා ජන්දෙ ඉල්ලන්න එනවා කිව්වා. සරත් ෆොන්සේකා මහත්තයා මට කතා කරලා ඒ කටයුතුවලට සම්බන්ධ වෙන්න කිව්වා. එයාට උදව් කරන්න කිව්වා. විශේෂයෙන්ම යුද්ධෙ ජයග්‍රහණය කරපු ප්‍රධානියා හැටියට එතුමාට ලොකු ගෞරවයක් තියෙනවා. මම හිතුවා එතුමා ලොකු දේශපාලන ගමනක් යන්න පුළුවන් කෙනෙක් වෙයි කියලා.

ඒක නිවැරැදි තක්සේරුවක්ද?

මම එතුමාව දැක්කේ නායකයෙක් හැටියට. ඉතින් එතුමත් එක්ක එකතු වුණා. ඊට පස්සෙ ටික කාලයක් යනකොට එතුමත් එක්ක කටයුතු කරන්න අමාරුයි කියලා මට තේරුණා. ඒ නිසා මම අයින් වුණා. ඊට පස්සෙ විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ හිටියා. ඒ අතරේ තමයි 2015 මැතිවරණයට ඉස්සෙල්ලා, කවුද පොදු අපේක්ෂකයා කියලා සාකච්ඡා වුණේ. එහිදී මගෙ නමත් යෝජනා වුණා. අවසාන වශයෙන් අපට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාව පොදු අපේක්ෂකයා හැටියට තෝරගන්න පුළුවන් වුණා. ඒ ක්‍රමවේදයත් එක්ක අද මේ රටේ කවදාවත් ඇති නොවුණු දේශපාලන වෙනසක් ඇතිවෙලා තියෙනවා. ප්‍රධාන පක්ෂ එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හදලා තියෙනවා.

රටේ ඇති වෙලා තියෙන වෙනස්ම ක්‍රමවේදයකට දායකත්වය ලබාදීමට පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා.

සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන ගමන ගැන ඔබගේ තක්සේරුව කුමක්ද?

මම තාමත් ෆොන්සේකා මහත්තයට ගරු කරනවා. හැබැයි මට තේරුණා එතුමා සමඟ මට දේශපාලනය කරන්න අමාරුයි කියලා. මම එතුමත් එක්ක කෑ ගහගන්න, බැණ ගන්න ගියේ නෑ. මොකද මට යුතුකමක් තිබුණා එතුමාව මැතිවරණයකට ගෙනල්ලා අඩුම තරමේ හිරේ ගිය එකෙන් නිදහස් කරගන්න. අනෝමා ෆොන්සේකා මහත්මිය දන්නවා ඒ වෙනුවෙන් අපි කරපු දේවල්.

ඊට පස්සෙ පොදු අපේක්ෂකයා විදියට මෛත්‍රිපාල සිරිසේන මහත්මයාගේ නම අහපු වෙලාවේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මට කතා කරල කිව්වා උදව් කරන්න කියලා. විශේෂයෙන්ම චන්ද්‍රිකා මැතිනිය මෙයට මූලිකත්වය ගත්තා.

පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා යෝජනා කිරීම සම්බන්ධව දැන් අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. එහිදී චන්ද්‍රිකාගේ කොටස කුමක්ද? ඔබගේ කොටස කුමක්ද?

මම හිතන්නේ ප්‍රධාන දායකත්වය ලබලා දුන්නෙ චන්ද්‍රිකා මැතිණිය. පොදු අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳ එතුමිය ලොකු ක්‍රියාදාමයක් කළා. විශේෂයෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් සමඟ සාකච්ඡා කළා. ඒ වගේම මම හිතනවා, එතුමිය තමයි නායකත්වය ගත්තේ පොදු අපේක්ෂකයෙක් එක්ක මේ වෙනස ඇති කරන්න.

ඒ වගේම මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වෙනමම කතිකාවක් ගෙනාවා. රතන හාමුදුරුවෝ වෙනම කතිකාවක් ගෙනාවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත්. මම අපහාසයකට කියනවා නෙමෙයි, නිදියන් වගේ හිටපු එක්සත් ජාතික පක්ෂය පොඩි අවදි වීමක් වුණා. මේ ජනාධිපති මැතිවරණය වෙලාවෙදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලොකු මෙහෙවරක් කළා. දෙවැනි පාරටත් එතුමාට තිබුණ අවස්ථාව ඕන නෑ කියලා කිව්වා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා කළ යුතු බවට ලොකු කතිකාවක් ගොඩනැගී තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

බලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක වටේ ඉන්න පිරිස දිහා. බොහෝ අය තනියෙන් තරග කරලා දිනන්න බැරි පක්ෂවල ඉන්න අයයි. අනෙත් පැත්තෙන් චෝදනාවලට ලක්වෙච්ච වැඩිම පිරිස ඉන්නෙ එතුමා ළඟ. එතුමත් එක්ක ඉන්න පිරිස නිසා තමයි එතුමාගේ විනාශය ඇති වුණෙත්. ඒක පැහැදිලිවම පේන්න තියෙනවා. ඒගොල්ලො හිටපු ජනාධිපතිතුමා මේ විදිහට තල්ලූ කරගෙන යන්නෙ තම තමන්ගේ යහපත සහ පැවැත්ම සඳහා. මහින්ද රාජපක්ෂ මහත්මය අවුරුදු 3 - 4ක බබෙක් නෙමෙයි. එතුමා ප්‍රවීණ දේශපාලනඥයෙක්. එතුමා දැනගන්න ඕනෙ මේ රටේ මිනිස්සු ලක්ෂ හැට ගාණක් එතුමා එපා කිව්ව නම් ඇයි නැවත වරක් මෙතැනට එන්න හදන්නෙ කියලා. මම පෞද්ගලිකව හිතනවා එතුමා ටික කාලයක් පැත්තකට වෙලා හිටිය නම් මීට වඩා හොඳ තත්ත්වයක් ඇති වෙයි කියලා. නමුත් අනාථ වෙච්ච දේශපාලන පක්ෂවල නායකයෝ ටිකක් තමයි එතුමාට මේ විනාශය කරන්නෙ.

හැබැයි යහපාලනය යටතෙත් හොරු ආරක්ෂා වෙනවාය කියා චෝදනාවක් තියෙනවා?

මම දන්නවා පසුගිය දවස්වල චෝදනාවලට ලක්වෙච්ච ෆයිල් තියෙන උදවිය ඇවිල්ල ජනාධිපතිතුමාව හම්බ වුණා. නමුත් එතුමා කවදාවත් ඒ කාටවත් සහනයක් දුන්නෙ නෑ. මටත් තිබුණා ලොකු ප්‍රශ්නයක් ඇයි එහෙම චෝදනා තියෙන අය ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරන්නෙ කියලා. ඒත් එතුමා පක්ෂ නායකයා හැටියට ඕන කෙනෙක් එක්ක කතා කළාට ප්‍රශ්නයක් නෑ කියලා අපට තේරුණා. මොකද එතුමා කාටවත් කිව්වෙ නෑ මම ඔයාව බේරගන්නම් කියලා. නායකයෙක් වුණාම දූෂිතයන් ආරක්ෂා කරන්න බෑ. රටේ නායකයා නෙමෙයි අඩුම තරමේ කම්පැනි එකක නායකයෙක්ටවත් දූෂිතයන් ආරක්ෂා කරන්න බෑ.

ඒත් යහපාලනයෙත් හොරු වෙනුවෙන් හොරු පෙනී ඉන්නවාය කියන එක ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

මම හිතන්නෙ අපි හොරු ආරක්ෂා කරන්න ඕනෙ නෑ. එහෙම වුණොත් මමත් එතැනදි විරුද්ධ වෙනවා. මම දන්නවා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් හොරුන්ට, දූෂිතයන්ට, කුඩුකාරයන්ට, කැසිනෝකාරයන්ට නම් තැනක් දෙන එකක් නැහැ කියලා. මම ඒ දෙපළගෙන්ම ඉල්ලා සිටියා මේ දේශපාලන ක්‍රමවේදයේදී අලූත් ක්‍රමයක් හදනවා නම් අපි දේශපාලන සංකල්පයක් හදන්න ඕනෙ කියලා.

අත්තනගල්ල ශ්‍රීලනිපයේ වගේම බණ්ඩාරනායකවරුන්ගෙත් බලකොටුවක්. චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අද එය ඔබට බාරකර තිබෙනවා?

මම ඒකට උත්තරයක් දෙන්න ඉස්සෙල්ලා යමක් කියන්නම්. පහුගිය මැතිවරණය වෙලාවේ අපි ගණන් හදලා බැලූවා කොහොමද දිනන්න පුළුවන් කියලා. තිරයේ පිටුපස ඉඳලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ගොඩක් දේවල් කළා. අපි එකපාරට හිතනවා ලක්ෂයක් ඡන්ද ගන්න. ඒත් එතුමිය එහෙම නෙමෙයි කිව්වෙ. ශාඛා කොච්චර තියෙනවද? දිස්ත්‍රික් ශාඛා කොච්චර තියෙනවද?, එක ශාඛාවකින් ඡන්ද වැඩිවෙන්නෙ කොච්චරද? ඒවගේ පුළුල් දැක්මක් එක්ක ඇය ඉදිරිපත් වුණා. එතුමිය මට කිව්වා අපි දෙන්නා බලමු ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොහොමද මේක කරන්නෙ කියලා. හැබැයි අපිට පුළුවන් වුණා කවදාවත් නැති විදියට ගම්පහ දිස්ත්‍රික්කයත් ජයග්‍රහණය කරන්න. ඒ අතරෙදි තමයි එතුමිය මගෙන් ඉල්ලා සිටියේ අත්තනගල්ල ආසනය බාර ගන්න කියලා. මට එකපාරට වචනයක් දෙන්න බැරි වුණා.

ඇයි ඒ?

මම කළුතරින් අලූත්ම පක්ෂයකින් ඡන්දෙ ඉල්ලලා මාව පාර්ලිමේන්තුවට යවපු ඡන්ද දායකයො දාලා එන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තිබුණා. හැබැයි එක පැත්තකින් මගේ ප්‍රදේශය, සියනෑ කෝරළය. තාත්ත දේශපාලනය කරපු, අල්ලපු ආසනය. අත්තනගල්ල වගේ ආසනයක් මට බාර දුන්නාම ඒක ලොකු වගකීමක්. අත්තනගල්ල ආසනය කියන්නේ ජනාධිපතිවරයෙක් බිහිවෙච්ච ආසනයක්. අගමැතිවරයෙක් බිහිවුණ ආසනයක් සහ අගමැතිනියන් දෙදෙනෙක් බිහිවුණ ආසනයක්. කථානායකවරයෙක් බිහිවුණ ආසනයක්. මම හිතුවා මේ වගේ ආසනයක් මට දෙන්න මං ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕන කියලා. ඇත්තටම මට අත්තනගල්ලට ගියහම තේරුණා අවුරුදු 10කට කලින් ගිය අත්තනගල්ල නෙමෙයි ඒ කියලා.

එහෙ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. සමහර ප්‍රාදේශීය සභාවල ඉන්න මන්ත්‍රිවරුන්ගේ ක්‍රියාදාමය ගැන මං එතරම් පැහැදීමකට පත්වෙන්නෙ නෑ. මිනිසුන්ව යටකරගෙන ජීවත්වෙලා තියෙනවා. ඒ වගේම පාසල්වල වුණත් අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න තියෙනවා. ක්‍රීඩාවක් නම් ඇත්තෙම නෑ. මිනිස්සු ජීවත් වෙන්නෙ බයෙන්. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. ජනාධිපතිතුමයි අගමැතිතුමයි වරාය මට බාර දෙනකොට කිව්වේ සුද්ද කරලා දෙන්න කියලා. අත්තනගල්ල තියෙන්නෙත් සුද්ද කරන්න. මං එක පැත්තකින් ආඩම්බර වෙනවා ඒ වගේ වගකීමක් මට ලැබිච්ච එක ගැන. මගේ ලොකුම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ පිරිසුදු දේශපාලනය අත්තනගල්ලේ ඇති කරන්න. හිටපු ජනාධිපතිතුමිය ඒකට මට ලොකු දායකත්වයක් ලබල දෙනවා. විශේෂයෙන්ම ජනතාව වගේම දිස්ත්‍රික්කයේ ඉන්න දේශපාලන නායකයොත් මට උදව් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ අයත් උදව් කරනවා කියලා මට කතා කළා.

ඔබ මහින්ද රාජපක්ෂ මහතා සමඟ අමනාප වූයේ ක්‍රිකට් ආයතනය පිළිබඳ ප්‍රශ්නයක් නිසා යැයි ඔබගේ සොහොයුරා ප්‍රසන්න රණතුංග කියා තිබෙනවා. මේ ගැන ඔබේ පැහැදිලි කිරීම කුමක්ද?

මම දැක්කා ප්‍රසන්න පුවත්පතකට කියලා තිබුණා මම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කලකිරීමට මුල් වුණේ මාව ක්‍රිකට් ආයතනයෙන් අයින් කරපු නිසා කියලා. ඇත්තටම මම මෙච්චර කල් හිතාගෙන හිටියේ එවකට ඇමැතිවරයා වුණ ගාමිණී ලොකුගේ තමයි මාව ඉවත් කළේ කියලා.
එවකට ජනාධිපතිතුමත් මට ඒක කිව්වා. හැබැයි ක‍්‍රීඩා ඇමැතිවරයා වුණ ගාමිණී ලොකුගේ මහත්තයා මට කිව්වා මේක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ජනාධිපතිතුමා කරන දෙයක් කියලා. ඒත් මම හිතුවා ජනාධිපතිතුමා නායකයා හැටියට මට එහෙම දෙයක් කරන එකක් නෑ කියලා. නමුත් මට දැනුයි තේරෙන්නෙ ප‍්‍රසන්න කියලා තියෙන්නෙ ඇත්ත කියලා. මොකද ප‍්‍රසන්න මට වඩා හිටපු ජනාධිපතිතුමත් එක්ක කිට්ටුයි.

සමහර විට එතුමා ඔහුත් සමඟ කියන්න ඇති මට මෙහෙම කරන්න වුණා කියලා. එක පැත්තකින් මම කනගාටු වෙන්නෙ නෑ. මොකද මම මගේ කාලය තුළ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හොරකම් ටික නැවැත්තුවා. සමහර දේශපාලන පවුල්වලට සල්ලි ගිය ඒවා නැවැත්තුවා. ඒ නිසා ඒගොල්ලො කැමැති වුණේ නෑ මම ඉන්නවට. මම කි‍්‍රකට් හැදුවා. අනෙක් අතට චන්ද්‍රිකා මැතිනියට වාසනාව තිබුණා තමන්ගේ පාලන කාලය තුළදී ලෝක කුසලානයක් ලබාගන්න. හැබැයි හිටපු ජනාධිපතිතුමාට ඒකට වාසනාව නොලැබිච්ච එක් හේතුවක් තමයි හරි පුද්ගලයෝ ඒ තැන්වල හිටපු නැති එක. එතුමා ඒකට වගකියන්න ඕන.

අනිත් පැත්තෙන් බලපුවාම ප‍්‍රසන්න මගේ සහෝදරයා. නමුත් එතුමාගේ දේශපාලනය මට තේරෙන්නෙ නෑ. මොකද මට වඩා එතුමා ප‍්‍රවීණ දේශපාලනඥයෙක්. එතුමා හැමදාම කිව්වෙ එයා ඉන්නෙ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න කියලා. මට තේරෙන්නෙ නෑ මේ දැන් කරන්නෙ පක්ෂය ආරක්ෂා කිරීමද, පුද්ගලයෝ ආරක්ෂා කිරීමද කියලා. මම කවදාවත් පුද්ගලයෝ ආරක්ෂා කරන්නෙ නෑ. මම හොඳ පුද්ගලයෝ ආරක්ෂා කරනවා. හැබැයි මම කවදාවත් පුද්ගලයෙක් හින්දා පක්ෂයක් හරි රටක් හරි විනාශ වෙන්න දෙන්නෙ නෑ. මම ඒකයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ගිහිල්ලා ආණ්ඩුව විවේචනය කරන්න පටන්ගත්තේ. නැතුව මම ඇතුළෙ ඉඳලා ඒක කඩන්න හැදුවෙ නෑ. මම දන්නෙ නෑ, මට තේරෙන්නෙ නෑ ප‍්‍රසන්නගේ දේශපාලනය. එතුමත් අවුරුදු 03ක 04ක බබෙක් නෙමෙයි. අපේ තාත්තා දෙමළ, මුස්ලිම්, සිංහල හැම මනුස්සයත් එක්කම එකට ඉඳගෙන දේශපාලනය කරපු කෙනෙක්. ප‍්‍රසන්නගෙ බිරිඳත් දෙමළ කාන්තාවක්. එහෙම වෙලත් මේ ජාතිවාදය අවුස්සන රාජපක්ෂලත් එක්ක ඉඳගෙන ඒවගේ කට්ටියක් එක්ක වේදිකාවට නගින්න පුළුවන්ද කියන ප‍්‍රශ්නාර්ථ ලකුණ මට තියෙනවා.

වත්මන් දේශපාලන වෙනස සමඟ ඔබගේ දේශපාලන අනාගතය කෙබඳුද?

පසුගිය කාලේ මැතිවරණයේදී සෝභිත නායක හාමුදුරුවෝ මගේ නම යෝජනා කළා. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රවීණයෝ කිහිපදෙනකුත් මගේ නම යෝජනා කළා. මම කිව්වේ ඕන කෙනෙක් ගෙනාවට කමක් නෑ, හැබැයි හොරකම් නොකරන. මම ආඩම්බර වෙනවා මගේ නමත් එතැනදි කතිකාවට ලක් වුණ එක ගැන. විශේෂයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමත්, රනිල් වික‍්‍රමසිංහ මැතිතුමත්, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියත් කරගෙන ගිය කි‍්‍රයාදාමයෙන් මේ රටේ ලොකු වෙනසක් ඇතිවුණා. දැන් අපි ජාත්‍යන්තරයේ මිතුරන් බවට පත්වෙලා තියෙනවා. ජාත්‍යන්තරයට අපි ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකාවේ ජෝන් කෙරී මහත්මයා මෙරටට මාස තුනක් ඇතුළත ගෙන්න ගන්න පුළුවන් වෙච්ච එක ලොකු ජයග‍්‍රහණයක්. ඒ වගේම ඉන්දියාවේ අගමැතිතුමත් ආවා. පසුගිය කාලේ අපි ජාත්‍යන්තරයේ සතුරන් බවට පත්වෙලා තිබුණා. නමුත් දැන් එහෙම නෑ.

මම දේශපාලනය කරන්නෑ තනතුරු බලාගෙන. මට ඕනෙ මේ රට හරි ක‍්‍රමවේදයකට ගෙනියන්න. හොරකම නවත්වන්න. මංකොල්ල කනඑක නවත්වන්න. මිනී මරන දේශපාලනය නවත්වන්න. සමහර වෙලාවට මට හිතෙනවා මම මේ දේශපාලනයට සුදුසුද කියලා. හැබැයි මම සුදුසුද කියන එක තීරණය කළේ කළුතර ගිහිල්ලා ජයග‍්‍රහණය කළාට පස්සෙ. ඒ විතරක් නෙමෙයි, කරන්න බැහැ කිව්ව මහින්ද රාජපක්ෂ මහත්තය පරාජයට පත්කරන්න පුළුවන් වුණ එක ගැනත් මම සතුටු වෙනවා. මම ආසනය හදනවා. පක්ෂයේ අවශ්‍ය කටයුතු කරනවා. පක්ෂය වුණත් වැරැදි දේවල් කරනවා නම් මම ඒ පක්ෂයේ ඉන්නෙ නෑ. පක්ෂය ඇතුළෙ ඉඳලා මම විනාශ කරන්නෙ නෑ. හැබැයි මම දන්නවා මම යන ගමන මහජනතාව හුඟක් පිළිගන්නවා, මං ගැන විශ්වාසයක් තියෙනවා. අපේ තාත්තා වගේ දේශපාලනය කරන්න පුළුවන්නම් මම හුඟක් සන්තෝෂ වෙනවා. ජනතාව තීරණය කරන්න ඕනෙ මම කොහෙද ඉන්න ඕනෙ, මං කොහෙද යන්න ඕනෙ කියලා.

(රන්දිව- සකු විතානගේ)