Wednesday, 20 October 2021
'සිවරාම් අහිමිවීම පිරවිය නොහැකි හිදැසක්' - Tamil Net සංස්කාරක

'සිවරාම් අහිමිවීම පිරවිය නොහැකි හිදැසක්' - Tamil Net සංස්කාරක

අන්තර්ජාලය ජනප්‍රිය බහුජන මාධ්‍යයක් වශයෙන් වාණිජකරණයට ලක්වීම ආරම්භ වූයේ 1995ට පසු කාලයේදී ය. යුද්ධය තුළ දිවි ගෙවූ දෙමළ ජනයාගේ දෛනික තොරතුරු ප්‍රවෘත්ති ආකෘතියෙන් සම්පාදනය කරන පළමු වෙබ් අඩවිය වශයෙන් tamilnet.com ආරම්භ වූයේ 1997දී ය. අන්තර් ජාල ඉතිහාසය අනුව සළකතොත්, ඒ වනාහී ගූගල් සෙවුම් යන්ත්‍රය අන්තර් ජාලයට එක්වන්නට පවා වසරකට කලිනි. පුරා දහ අට වසරක් අඛණ්ඩව ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදුණු ටැමිල් නෙට් වෙබ් අඩවිය, ලොව දේශපාලන අරගලයන් හා සම්බන්ධව කවර හෝ සමාජයකින් පැන නැගුණු දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියන වෙබ් අඩවියක් සේ සැළකිය හැක්කේ ඒ නිසා ය.

ඒ පිටුපස සිටි තාක්‍ෂණික පුරෝගාමියා ගෝපිනාත් ජෙයචන්ද්‍රන් ය.

'මගේ බිල් ගේට්ස්' යැයි සිවරාම් විසින් වරෙක හැඳින් වූ ජෙයචන්ද්‍රන්, 1988 වසරේ දී දහ අට වියැති ගැටවරයෙකු වශයෙන් ලංකාව හැර යන විට ඔහු උපන් ගම්බිම්වල ඉන්දියානු හමුදාවෝ වාඩි ලා සිටියහ. නෝර්වේ බලා ආ තරුණ ශිෂ්‍යයෙකු වශයෙන් අන්තර්ජාල හා තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අධ්‍යයනයන්ට යොමු වූ මුල් පරම්පරාවට අයත් ඔහු, පුරා දහඅට වසරක් ටැමිල් නෙට් වෙබ් අඩවිය පිටුපස සිටි අප්‍රකට මුහුණ සේ සැළකිය හැකි ය.

'සිවරාම් හමුවීම ටැමිල් නෙට් ඉතිහාසයේ වැදගත්ම සංසිද්ධිය' යැයි ඔහු කියයි.

2009 වසරේ වන්නියේ අවසාන යුද්ධයේ ලේ වැකි යථාර්ථයන් පිළිබඳ විසි හතර පැය මුළුල්ලේ අඛණ්ඩ වාර්තා ලෝකය හමුවට ගෙන ඒම සඳහා ජෙයචන්ද්‍රන්ගේ අපරිමිත කැපවීම තීරණාත්මක ලෙස බලපෑවේ ය. ලංකාවෙන් බැහැර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා, නොකැමැත්තෙන් වුවද, මූලාශ්‍රයක් වශයෙන් ටැමිල් නෙට් උපුටා දැක්වීමට නැඹුරු වූයේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී එය විදහා පෑ කාර්යක්‍ෂමතාව සහ විදග්ධභාවය නිසා ය. සිවරාම් ඝාතනයෙන් දස වසරක් පිරෙන මොහොතේ JDS සිංහල පාඨකයන් වෙනුවෙන් ජෙයචන්ද්‍රන් සමග කළ කතාබහ, ඉකුත් දහ අට වසර ඇතුළත ඔහු සම්බන්ධ වූ පළමු එවැනි සාකච්ඡාවයි.

සාකච්ඡා සටහන: අතුල විතානගේ | සේයාරූ: රජිනි


පි දන්නා විදියට ටැමිල් නෙට් වෙබ් අඩවිය ආරම්භ කළේ 90 දශකයේ මැද භාගයේදී. ඇත්තෙන්ම ඒ වෙනකොට අන්තර්ජාලය ලෝක පරිමාණවත් ඒ තරම් ජනප්‍රිය හෝ වාණිජකරණය වී නොතිබුණු කාලයක්. එවැනි වකවානුවක ටැමිල් නෙට් වැනි අලුත් අදහසක් යථාර්ථයක් බවට පෙරළන්න අවශ්‍ය පසුබිම සකස් වුණේ කොහොමද?

ජෙයචන්ද්‍රන්: ඒක වුණේ 1995 ශ්‍රී ලංකා හමුදාව යාපනය අල්ලා ගැනීමත් එක්ක සිද්ධවුණු සුවිශාල මහජන අවතැන්වීමට එක්කයි. ලක්‍ෂ පහකට නොඅඩු ජනයා යාපනයෙන් අවතැන්වීම ගැනත්, ඊට සම්බන්ධ මානුෂීය අර්බුදය ගැනත් ප්‍රමාණවත් අවධානයක් බටහිර මාධ්‍යවලින් වගේම කොළඹ සිට ක්‍රියාත්මක වුණු රොයිටර්, ප්‍රංශ පුවත් සේවය, ඇසෝසියේට්ඩ් ප්‍රෙස් වැනි ප්‍රවෘත්ති ඒජන්සිවලින් ලැබුණේ නැහැ. මේක අපි සියල්ලන්ට බරපතලව දැනුණු දෙයක්. කොහොමටත් අපිට මුල ඉඳන්ම කොළඹ කේන්ද්‍රීය මාධ්‍ය වගේම විදෙස් ප්‍රවෘත්ති සේවාවලින් පෙන්නුම් කරපු අගතිය ගැන අදහසක් තිබුණා. සංකීර්ණ දේශපාලන ගැටළුවක් ත්‍රස්තවාදය පිළිබඳ සරළ සමීකරණයක් යොදාගෙන නිර්වචනය කිරීම තමයි මේවායේ සාමාන්‍ය භාවිතාව වුණේ. නමුත් මේ නිශ්චිත සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දක්වපු උදාසීන ආකල්පය විශාල අයුක්තියක් විදියටයි අපිට දැනුණේ. ඒ නිසා විධිමත් ප්‍රවෘත්ති සේවාවක් ආරම්භ කිරීම ගැන අපි කිහිප දෙනෙක් අතර අවිධිමත්ව සාකච්ඡා කෙරුණා.

ඒ අවධි‌යේ විදේශගත දෙමළ ජනයාට තිබුණු එකම ප්‍රධාන තොරතුරු මාධ්‍යය වුණේ එල්ටීටීඊ සංවිධානය විසින් පවත්වාගෙන ගිය දුරකථන ප්‍රවෘත්ති සේවාවයි. ඒ කාලයේ වඩාත්ම ජනප්‍රිය තොරතුරු මූලාශ්‍රය වුණේ එයයි.  ඒක ක්‍රියාත්මක වුණේ මෙහෙමයි: දෙමළ ජනයා බහුල වශයෙන් ජීවත්වුණු රටවල සෑම නගරයකම විශේෂිත දුරකථන අංකයක් තිබුණා. යුද කලාපයේ ජීවත්වන තමන්ගේ ඥාතීන්ගේ ඉරණම ගැන දැනගන්න නොඉවසිල්ලෙන් හිටිය අය මේ අංකයට ඇමතුමක් ගත්තාම කලින් පටිගත කරපු විනාඩි පහක විතර ප්‍රවෘත්ති සම්පිණ්ඩනයකට ඇහුම් කන් දෙන්න පුළුවන්. ඒ ප්‍රවෘත්ති පටිගත කරපු හඬ පටය දිනපතා වෙනස් කරනවා. ඒ කියන්නේ දෛනිකව සිදුවන සිදුවීම් විනාඩි පහකට විතර ගොණු කරපු සංක්‍ෂිප්ත ප්‍රවෘත්ති සංග්‍රහයක් වගේ දෙයක්. දවස පුරාම මහන්සි වෙලා වැඩ කරපු මිනිස්සු ගෙදර ආව ගමන් කරන්නේ මේ අංකයට ඇමතුමක් අරන් තමන්ගේ ගම්බිම්වල, තමන්ගේ ඥාතීන් මුහුණ දීලා තියෙන තත්ත්වය ගැන කිසියම් අදහසක් ඇති කරගන්න උත්සාහ කරන එකයි. ඒ නිසා හැමෝම මේ දුරකථන ප්‍රවෘත්ති සම්පින්ඩණය අහන්න හුරු වෙලා හිටියා. ඒක පවත්වාගෙන ගියේ පැරිසියේ එල්ටීටීඊ සංවිධානයේ ජාත්‍යන්තර ලේකම් කාර්යාංශයේ ප්‍රධානියා වශයෙන් ක්‍රියාකළ ලෝරන්ස් තිලකර්ගේ මූලිකත්වයෙනුයි. ඒ දවස්වල ඔවුන් පවා අන්තර්ජාල ලෝකයේ සිදුවන දේවල් දැනගන්න මට කතා කරන්න පුරුදු වෙලා තිබුණා.

ඒ කාලයේ අන්තර්ජාල පහසුකම්වලට වැඩි වශයෙන් සම්බන්ධ වෙලා තිබුණේ විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතනයි. ඒ නිසා එවැනි ශාස්ත්‍රාලයීය ආයතන එක්ක සම්බන්ධකම් තිබුණු, ඒවායේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් වශයෙන් ක්‍රියා කළ දෙමළ - සිංහල අයට ප්‍රවෘත්ති ඉක්මණින් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. මේ කාලයේ, ලන්ඩන්වල ජීවත්වුණු  එක්තරා මිත්‍රයෙක් හිටියා, ප්‍රවෘත්ති ඒජන්සිවල දළ වාර්තාවලට දායකත්වය ලබා ගත්තු. මේ නිසා මේ ඒජන්සි විසින් නිකුත්කරන ප්‍රවෘත්තිවල පළමු, දෙවැනි හා තුන්වැනි ආදී වශයෙන් සුලු සුලු වෙනස්කම් සහිත සංස්කරණ හැම එකක්ම ඔහුට ලැබුණා. ඔහු ඒ හැම එකක්ම මට ඊ මේල් මගින් එවනවා. අපි කරන්නේ ඒ දවස්වල  ‘දෙමළ කවය’ (Tamil Circle) නමින් සංවිධානය වෙලා තිබුණු ජනප්‍රිය ඊමේල් දායකත්ව ලැයිස්තුවට මේ ප්‍රවෘත්ති යවනවා. එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයක වැඩ කරපු වසන්තන් කියලා කෙනෙක් තමයි මේ ඊ මේල් කවය ආරම්භ කරලා පවත්වාගෙන ගියේ. මම මේකට සම්බන්ධ වෙනකොටත් ඒක පටන් අරන් අවුරුදු කීපයක් මම හිතන්නේ. මේක සඳහා පාවිච්චි කළේ ‘මේජර්ඩොමෝ’ (Majordomo) කියලා  මෘදුකාංගයක්.  අදටත් ඊමේල් ලැයිස්තු කළමනාකරණයට තියෙන ප්‍රධානතම මෘදුකාංගයක් වශයෙන් මේක භාවිතා කරනවා. 

මේක දිගටම පවත්වාගෙන යාම වසන්තන්ට ප්‍රායෝගික හේතු මත දුෂ්කර වුණාම, ඒක පවත්වාගෙන යාමේ වගකීම මම ස්වේච්ඡාවෙන් භාරගත්තා. ඒ කියන්නේ තාක්‍ෂණික පැත්ත වගේම අන්තර්ගතයට අදාළ වගකීමත් කියන දෙකම. ඒ වෙනකොටත් මම අන්තර්ජාලය හා සම්බන්ධ තාක්‍ෂණය එක්ක ගැඹුරින් සම්බන්ධ වෙලායි හිටියේ. ‘ටැමිල් නෙට්’ වැනි යමක් ආරම්භ කිරීම පිළිබඳ කළල අදහස ඒ වනවිට තිබුණත්, එවැනි දෙයක් සඳහා අත්‍යවශ්‍ය දෙයක් වුණේ අන්තර්ජාලය පදනම් කොටගත් තාක්‍ෂණය ගැන ගැඹුරු අවබෝධයක් තිබීමයි. ඒ අනුව මම HTML පදනම් කරගත් ‘හෝම් පේජස්’ ආදිය සමග සැළකිය යුතු දුරකට විවිධාකාර අත්හදා බැලීම් කළා. ඒ වනවිට මූලික HTML ආශ්‍රිතව කරන්න හැකිව තිබූ කාර්ය ප්‍රමාණය ඉතාමත්ම සීමා සහිතවයි තිබුණේ. 

මම මුලින්ම කළේ, ඒ කාලේ පළවුණු යුද්ධය සම්බන්ධයෙන් විරල ප්‍රවෘත්ති හා විශේෂාංග රැගත් ‘Inside Report’ කියන මුද්‍රිත වාරිකයේ තිබුණු තොරතුරු මේ ආකාරයෙන් අන්තර් ජාලයට ඇතුල් කිරීමයි. මට මතක හැටියට, මේ  ‘Inside Report’ කියන ප්‍රකාශනයට එම්මෑනුවෙල් පියතුමා වගේම ඇන්ටන් බාලසිංහම් පවා ලිපි ලිව්වා. මම හිතන්නේ ඒක මුලින් මුද්‍රණය කළේ යාපනයේ. නමුත් පසුකාලීනව ඒ කටයුත්ත වන්නියේදී සිදු කෙරුණා. මේක විවිධාකාර පිරිස් අතර බහුල වශයෙන් සංසරණය වුණු බව මට මතකයි. අපි ඇත්තටම කළේ මේක ඒ ආකාරයෙන්ම අන්තර් ජාලයට ඇතුළත් කිරීමයි.  එතැනදී අපිට අවශ්‍ය වුණේ මූලික වශයෙන්ම තොරතුරු බෙදාහැරීමේ කාර්යයක් විතරයි. 1997වෙනකම්ම අපේම වූ මාධ්‍ය භාවිතාවක් වර්ධනය කරන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. 

1997දී, අපි විධිමත් ආකාරයකට ප්‍රවෘත්ති, විශේෂාංග ලියන්න පටන්ගත්තා. ඒ තමයි අද තියෙන ස්වරූපයෙන් ටැමිල් නෙට් හැඩහුරුගත වීමේ ආරම්භය. 

ඔබ කියන ආකාරයට 1995 වන විටත් - අදට සාපේක්‍ෂව - අන්තර් ජාලයේ ජනප්‍රියභාවයේ සහ තාක්‍ෂණික ශක්‍යතාවන්ගේ  සීමාකම් පැවතුණා. එවැනි තත්ත්වයක් තුළ ‘ටැමිල් නෙට්’ ආරම්භ කිරීමේ අදහස ගැන අවශේෂ පිරිස්වල උද්‍යෝගයක් තිබුණද?  

ජෙයචන්ද්‍රන්: ඒකට ලැබුණේ එක්තරා විදියක මිශ්‍ර ප්‍රතිචාරයක්. උදාහරණයක් විදියට, අපිට අවශ්‍ය ප්‍රවෘත්ති වාර්තා සහ විශේෂාංග සම්පදානය කිරීමට තියෙන හැකියාව ගැන ඒ වෙනකොටත් දෙමළ මාධ්‍යයන්හි නියැලුණු පිරිස් එක්ක සාකච්ඡා කරද්දී තිබුණු ප්‍රධානම ගැටළුව තමයි, ඒ අය බොහෝම දෙනෙක් මුද්‍රිත මාධ්‍යයන් එක්ක තිබුණු ගැඹුරු බන්ධනය. ඒ අයගේ වැඩිපුර කැමැත්ත තිබුණේ යුරෝපයේ තවත් පත්තරයක් වැනි දෙයක් ආරම්භ කිරීම ගැනයි. ඒ අය කියපු දෙයක් තමයි, ‘පරිගණක තිරයක ලිපි කියවන්න මිනිස්සු ලෑස්ති නැහැ’ කියන කතාව. මේ ආරම්භක අවධියේ අපි මේ සම්බන්ධයෙන් කිසියම් උනන්දුවක් දක්වපු කීප දෙනෙකුගේ රැස්වීමක් නෝර්වේ බර්ගන් නගරයේ පැවැත්වුවා. නමුත්, අන්තිමේදී මේ සාකච්ඡාව, අන්තර්ජාලය පදනම් කරගත් යමක් ආරම්භ කිරීම ගැන අවධානය යොමු කරනවා වෙනුවට, මුද්‍රිත සඟරාවක් වැනි දෙයක් ප්‍රකාශයට පත්කිරීම ගැන සාකච්ඡාවක් බවට පෙරළුණා. ඒ අයගේ ඔළුවේ වැඩකළේ සාමාන්‍ය ප්‍රචාරකවාදී ප්‍රකාශන ව්‍යුහයක් ගැනයි. ඒ සාකච්ඡාවේදී මම තේරුම්ගත්තා මේ සඳහා නෝර්වේ රටින් බැහැර පුද්ගල සම්පත් කෙරෙහි යොමුවීමේ අවශ්‍යතාව. 

ඒ කාලේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ වැඩ කරපු කෙනෙක් හිටියා ජෙනගන් කියලා. ඔහු පවත්වාගෙන ගියා ‘ටැමිල් ඊළම් හෝම් පේජ්’ (Tamil Eelam Homepage) කියලා අඩවියක්. ඒකේ තිබුණේ වෙන වෙන ප්‍රවෘත්ති මූලාශ්‍රවලට පාඨකයින්ට සම්බන්ධ වෙන්න ඉඩ සලසන සබැඳියා ගොණුවක්(links). ඒක හරහා ලංකාවේ විවිධ පුවත්පත්වලට, විදේශ ප්‍රකාශනවලට සම්බන්ධ වෙන්න පාඨකයින්ට ඉඩ ලැබුණා. මේක තමයි, මම හිතන විදියට, අන්තර්ජාලය පදනම් කරගෙන දෙමළ ජනයාගෙන් පැත්තෙන් කළ පළමුවෙනි වෙබ් පිටුව. කොහොමටත් මේ කාලයේ, අන්තර්ජාලය ගැන අදහසක් තිබුණු අය අතර තොරතුරු බෙදාහැරීමේ මූලාශ්‍රයක් විදියට අන්තර් ජාලය යොදාගැනීම ගැන ක්‍රමානුකූලව වර්ධනය වුණු උනන්දුවක් තිබුණා. මේ වකවානුවේ තමයි, එක්සත් ජනපදයේ ජීවත්වන ශ්‍රී එක්ක මගේ සම්බන්ධතාව ගොඩ නැගුණේ. 

අපි ප්‍රවෘත්ති ලිවීම ආරම්භ කරනකොට මුහුණ දෙන්න තිබුණු ප්‍රශ්නය තමයි, කාලය සම්බන්ධ ගැටළුව. මම ඒ වෙනකොට රැකියාවක් කරමින් හිටියේ. නමුත් අපිට අවශ්‍ය ලිපි, විශේෂාංග ආදිය සම්පාදනය කරන්න යම්තාක් දුරකට පූර්ණ කාලීනව ඊට යෙදවෙන්න අවශ්‍යව තිබුණා. ඒ නිසා, කැනඩාවේ ජීවත්වුණු අභිමන්‍යු සිංහම් කියන මිතුරාගෙන් මම ඉල්ලා හිටියා හය මාසයකට වගේ කාලයකට නිවාඩු අනුමත කරගෙන ලිවීමේ කාර්යය සඳහා නෝර්වේවලට එන්නැයි කියලා. අපිට පොඩි කාර්යාලයක් තිබුණා. ඔහු ඒ ඇරයුම පිළිඅරන්, නෝර්වේවලට ඇවිත්, ඒ සඳහා ඔහුට සහාය වෙන්න කැමැත්ත පළ කරපු විශ්ව විද්‍යාල සිසුන් කීප දෙනෙක් එක්ක ලිවීමේ කාර්යය පටන් ගත්තා. ඉතාම උද්යෝගීමත් පිරිසක් එක්ක මුල පුරපු මේ කටයුත්ත, අද තියෙන ටැමිල් නෙට් වෙබ් අඩවියේ හැඩය ගන්න කලින් විවිධ ව්‍යාපෘති වශයෙන් අත්හදා බැලීම්වලට ලක් කළා. අපි තීරණය කරලා තිබුණා, කිසියම් ආකාරයක තොරතුරු ලේඛන අංශයක් (Fact Sheet Section) ආරම්භ කරන්න. ඒ හරහා අපිට අවශ්‍ය වුණා දෙමළ ජාතික අරගලය එක්ක මොන යම් ආකාරයකින් හෝ සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව වගේම, ලංකාවේ දේශපාලනඥයන් වැනි ප්‍රධාන පුද්ගලයින් ගැනත්, විවිධ ඓතිහාසික සිදුවීම් ගැනත් සවිස්තරාත්මක තොරතුරු අඩංගු මූලික දත්ත බැංකුවක් ගොඩ නංවන්න. ඒ කියන්නේ අදාළ පුද්ගලයාගේ නම, උපන් දිනය ඇතුළු පසුබිම් විස්තර සියල්ල සහිත පූර්ණ තොරතුරු පද්ධතියක්. ඇත්තෙන්ම හරියටම කිව්වොත්, අද තියෙන විකීපීඩියා වෙබ් අඩවිය හා සමාන ව්‍යුහයක් ගැන තමයි අපි කතා කළේ. හැබැයි අපි මේක අත්හදා බලන්න පටන් ගත්තේ විකිපීඩියා පටන් ගන්න අවුරුදු 5-6කට කලින්.

අපිට අවශ්‍ය වුණේ අපි සැළසුම් කරන වෙබ් අඩවිය අන්තර් ජාලයට එක් කරන්න කලින් ඊට පසුබිමින් විධිමත් පරිපූර්ණ දත්ත බැංකුවක් ගොඩනංවන්නයි. අන්තිමට අපි සමස්ත දෙමළ ඊළම් අරගලයේ තොරතුරුමය ඉතිහාසය ලිවීමේ කාර්යයට සමාන දෙයක් තමයි කළේ. අපේ අදහස වුණේ කාලීන ප්‍රවෘත්ති සපයන ගමන්ම, ඒවායේ ඓතිහාසික පසුබිමත් විධිමත් විදියකට අනාවරණය කළ හැකි පද්ධතියක් නිර්මාණය කරන්නයි. මේ සඳහා ගොඩාක් දෙනෙක් දිනපතාම වාගේ රැකියා සහ අධ්‍යයන වේලාවලින් පසු මැදියම් රෑ වෙනකම් කාලය යොදවමින් අවශ්‍ය දත්ත එක්රැස් කිරීමට යෙදවුණා. අපි 1996 අවුරුද්දම වගේ මේ කාර්යයට කැප කළා. නමුත් වෙබ් අඩවිය නිසියාකාරව දියත්කිරීම පමා වීම ගැන මට තිබුණේ කණස්සල්ලක්. ඒ නිසා අන්තිමේදී මම, ඒ දක්වා අපි කරමින් සිටි සියළුම කාර්යයන් පැත්තකින් තියලා සරල ආකෘතියකට යොමුවෙන්න තීරණය කළා. ඒ වෙනකොට මට අවශ්‍ය වුණේ ‘Keep It Simple, Stupid’ (KISS) මූලධර්මයට අනුව හැකිතාක් සරලව මේ කාර්යය නිමා කරන්නයි. (කොහොමටත්, අපි මේ මුලින් අත්හදා බලපු අසම්පූර්ණ වැඩේ, විධිමත් අවසානයක් දක්වා අරගෙන ගිහින් දියත් කිරීමේ කාර්යය පසුකාලීනවTamilnation වෙබ් අඩවිය හරහා සිද්ධ වුණා.)

මේ අතර මම කළේ Tamilnet Backyard කියන නමින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමයි. මේක ඇත්තටම අන්තර්ජාලය පදනම් කරගත් සාකච්ඡා සභාවක් (discussion forum) වැනි දෙයක්. මේ හරහා, ප්‍රවෘත්ති වාර්තාකරණය ගැන උනන්දුවක් ඇති අලුත් පිරිස් ගොණු කරන්න උත්සාහයක් ගත්තා. මම කලින් කී ඇමරිකාවේ ජීවත් වූ ශ්‍රීට අමතරව  ලන්ඩනයේ සුදාකරන්, ගෝපි සහ ඒ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ජීවත්වුණු ශ්‍රී ස්කන්‍ධරාජා ආදීන් ඇතුළු තවත් පිරිස් මේ කාර්යය හා සම්බන්ධ වුණා. මේ අතර හිටිය කැනඩාවෙන් සම්බන්ධ වුණු සූරියජීවන් කියන කෙනාගේ දායකත්වය ඉතාමත්ම වැදගත් වුණා. නෝර්වේවල සරසවියක සේවය කරපු මහාචාර්ය ඉලංගෝ බාලසිංහම් වැනි අයත් ඊමේල් හරහා සම්බන්ධ වෙමින් අදහස්වලින් මේ කාර්යයට දායක වුණා. අද ඔබට දකින්න තියෙන ස්වරූපයෙන් ටැමිල් නෙට් වෙබ් අඩවිය නිර්මාණය කිරීමට ඉවහල් වුණ වැදගත්ම අදහස් හුවමාරු වුණේ මේ සාකච්ඡාවන් හරහායි.

ධර්මරත්නම් සිවරාම් සහ ‘ටැමිල් නෙට්’ වෙබ් අඩවිය අතර සම්බන්ධය ගොඩනැගෙන්නේ  මේ කියන ආරම්භක වකවානුවේමද, නැතිනම් පසුකාලීනවද?

ජෙයචන්ද්‍රන්: ඒ සම්බන්ධතාවයට පසුබිම නිර්මාණය වුණේ අපි මුහුණු දුන් අභියෝග කීපයක් නිසායි. 1997 අවුරුද්දේ ජූනි මාසයේදී අපි tamilnet.com නමින් වෙබ් අඩවිය දියත් කළා. ඉහතින් කී සාකච්ඡාවන්වල ප්‍රතිඵලයක් විදියට, දිනපතා ප්‍රවෘත්ති වාර්තා සැපයීමේ වගකීම ලන්ඩනයේ සිට සම්බන්ධව සිටි අයටයි පැවරුණේ. ඔස්ලෝවල ඉඳන් අපි කීප දෙනෙකුත් මේ කටයුත්තට හවුල් වුණා. ඒ වගේම තාක්‍ෂණික වැඩ කොටසට අදාළ වැඩි වගකීමක් පැවරුණේ අපිටයි. ඇමරිකාවේ ඉඳන් ලිපි සංස්කරණ කටයුතුවලට ශ්‍රී දායක වුණා. අපි නිර්මාණය කළේ සරල ව්‍යුහයක්. ඕනෑම කෙනෙකුට අදාළ පරිශීලක නාමයත් (user name) මුර පදයත් (pass word) යොදාගෙන වෙබ් අඩවියට ඇතුල් වෙලා, පිටුවක් අරගෙන අදාළ ලිපිය ලියලා පළ කරන්න පුළුවන් විදියටයි ඒක සැළසුම් කරලා තිබුණේ. ඒක සම්පූර්ණයෙන්ම ගොණු පදනම් කරගත් ක්‍රමයක් (file based system).

නමුත් අපේ ප්‍රධානම ගැටළුව වුණේ අපේ ප්‍රවෘත්ති මූලාශ්‍ර දිවයින ඇතුලේ පදනම් වුණු ඒවා නොවීමයි. අපිට යුද්ධය ඇවිලී යන ප්‍රදේශවල තොරතුරු ලබා ගැනීමට යම් යම් සම්බන්ධකම් තිබුණත්, ඒවා ඒ තරම් විධිමත්ව සංවිධානය කෙරී තිබුණේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වුණා අපේම කර්තෘ මාණ්ඩලිකයන් පිරිසක් රට ඇතුළෙන් සංවිධිතව ගොඩනඟා ගන්න.

මේ වෙනකොට ‘තරාකි’ කියන නම ඉතාමත්ම ප්‍රසිද්ධයි. අපි ඔහු පෞද්ගලිකව දැන නොසිටියත්, ඔහු ලියන ලිපි නොවරදවාම කියවන්න පුරුදු වෙලා හිටියා. තරාකි එක්ක ගණුදෙනු ගොඩනගාගන්න අපි උත්සුක වුණේ මේ කාලයේයි. දවසක් අපි සාකච්ඡා කරමින් ඉන්න අතරවාරයේ මට මතකයි ශ්‍රී කියා හිටියා, සිවරාම් යම් කටයුත්තකට ඇමරිකාවට එන බව ආරංචි වූ බවත්, අපි කැමැති නම් පසුව ඔහුව ලන්ඩනයේ දී මුණ ගැහෙන්න ක්‍රමයක් හදා දිය හැකි බවත්. මගේ මතකයේ හැටියට මේ හමුවීම සිදුවුණේ 1997 සැප්තැම්බර් මාසයේ දීයි. 

ඒ අනුව, මම සිවරාම් හමු වෙනකොට ඔහු අපේ වෙබ් අඩවිය දැක තිබුණා. විශේෂයෙන්ම අපි යොදා තිබූ Tamil Netකියන නම සම්බන්ධයෙන් ඔහු ප්‍රසාදයෙන් කතා කළ බව මට මතකයි. නමුත් පළමුවැනි පැය භාගය විතර යනකම් මම පැහැදිලි කරන දෙයට ඔහු ඒ තරම් උනන්දුවෙන් ඇහුම්කන් දෙන බවක් පෙන්නුවේ නැහැ. ඔහුගේ අවධානය ඒ වෙලාවේ වැඩියෙන් යෙදවිලා තිබුණේ මධුවිතට.  ඒ වුණත්, හිටි හැටියෙම ඔහුගේ අවධානය මේ කාරණාවට යොමු වුණා. ඒක වුණේ ඇයි කියන එක මට නිශ්චිතතවම මතක නැහැ. නමුත් පසුව මට හිතුණේ මුල් පැය භාගය ඔහු මාව අධ්‍යයනය කළා කියලායි. ඒ තරම් උනන්දුවක් නැති බව හඟවන අතරේම, ඒ සම්බන්ධයෙන් මාගේ ප්‍රතිචාරය සිවරාම් නිරීක්‍ෂණය කළා කියලායි මට පසුව හිතුණේ. ඒ පැය භාගයෙන් පස්සේ ඇතැම් විට ඔහු නිගමනයකට එන්න ඇති මට මේ මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් කියලා. 

කොහොම හරි අවසානයේදී ඔහු කිසියම් උදාසීන ආකාරයකට කිව්වා, ‘හරි, මම ආපහු ගියාම ඊ මේල් මාර්ගයෙන් වාර්තා එවන්නම්. අපි බලමු මාසයක් වගේ කාලයක් වැඩේ යන විදිහ. ඒ කාලයේ දී වැඩේ හොඳට ගියොත්, අපි රට ඇතුළේ විධිමත් ව්‍යුහක් ගොඩ නැංවීම ගැන බැරෑරුම්ව කල්පනා කරලා බලමු’ කියලා. ඒ කතාකරගත් විදියටම ආපසු ගියාට පස්සේ සිවරාම් ඊ මේල් මඟින් වාර්තා එවන්න පටන් ගත්තා. ඒ හරහා සාමාන්‍යයෙන් වාර්තා නොවන තොරතුරු ඉතාමත්ම වෘත්තීය විදග්ධතාවක් සහිතව, ප්‍රවෘත්ති බවට ඔහු විසින් පෙරළුවා. ඔහු එවන වාර්තා පළවෙන්න පටන් ගත්තාට පස්සේ, ක්‍රමානුකූලව Tamil Net ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. 

සිවරාම් එක්ක අවුරුදු අටකට ආසන්න කාලයක් සමීපව වැඩ කිරීමේ අත්දැකීම මොන වගේද?

ජෙයචන්ද්‍රන්: සිවරාම් ඉතාමත්ම වැඩ විනයක් තිබුණු කෙනෙක්. ඒ නිසා ඔහු එක්ක වැඩ කරන එක හැම අතින්ම පහසු වුණා. මාස දෙකක් විතර යනකොට අපිට පුළුවන් වුණා මූලික අරමුදල් ප්‍රමාණයක් රැස් කරගන්න. ඒ අනුව අපිට මාසිකව යම් මුදලක් සිවරාම්ට යවන්න හැකියාව ලැබුණා. ඔහු ජීවත්වුණේ ආර්ථික දුෂ්කරතා මැද බව අපි හොඳාකාරව දැනගෙන හිටියා. අපි යවපු සීමිත මුදල්වලින් ඔහු කළේ, මඩකළපුවේ පිටිසර ගම්වලට ගිහින් වැඩ කරන්න පටන් ගැනීමයි. මේ ගම්වල මිනිස්සු මුහුණදෙන ප්‍රශ්න ගැන ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කිසිම බැරෑරුම් වාර්තාවක් මේ වෙනකොට පළ වෙන්නේ නැති තත්ත්වයක් තමයි තිබුණේ. සිවරාම් කළේ ඒ මුදල්වලින් පරිගණකයක්, මෝඩෙම් එකක් ආදී මූලික උපකරණ අරගෙන මේ ගම්වලට ගිහින් කැපවීමක්, හැකියාවක් තිබුණු පිරිස් තෝරාගෙන ඒ අයව විධිමත්ව පුහුණු කිරීමයි. මේ කාර්යය ඔහු හැම ප්‍රදේශයක්ම මුල්කරගෙන දියත් කළා. පරිගණක භාවිතය, දෙමළ බසින් යතුරු ලියනය කිරීම, අන්තර් ජාල භාවිතය, ප්‍රවෘත්ති ඡායාරූපකරණය, වෘත්තීය ප්‍රමිතියක් සහිත වාර්තාකරණය කියන හැම දෙයක් ගැනම සිවරාම් මේ අයට පුහුණුවක් ලබා දුන්නා.

නමුත් මේ කාර්ය කරන්න හැකියාව ලැබුණේ ශ්‍රී ලංකා හමුදාවේ පාලනය යටතේ තිබුණු ප්‍රදේශවල විතරයි. එල්ටීටීඊ පාලන ප්‍රදේශවල අපිට එවැනි සම්බන්ධතා තිබුණේ නැහැ. ඒ නිසා අපි කළේ ඒ ප්‍රදේශවල තොරතුරු දැනගැනීමේ ක්‍රමයක් විදියට ‘කොටි හඬ’ ගුවන් විදුලියට විධිමත්ව සවන් දෙන ක්‍රමයක් වවුනියාව මුල් කරගෙන හදපු එකයි.  ඒ නිසා මුල් කාලයේ ටැමිල් නෙට් වාර්තා බැලුවොත් ඔබට පෙනේවී, එල්ටීටීඊ සංවිධානය පැත්තේ තොරතුරු වාර්තා කිරීමට අපිට තිබුණු ප්‍රධානම මූලාශ්‍රය වුණේ ‘කොටි හඬ’ ගුවන් විදුලිය බව. සිවරාම් පුහුණු කරපු වාර්තාකරුවන් කළේ යුදබිමේ තත්ත්වය ගැන එල්ටීටීඊ ගුවන් විදුලියට සවන් දීම හරහා ලබා ගන්න තොරතුරුයි, තමන්ට පෞද්ගලිකව තියෙන විවිධ සබඳතා හරහා රැස් කරගන්න තොරතුරුයි එකතු කරලා වාර්තාවන් අපිට එවන එකයි. සෑම කරුණක්ම දෙතුන් වාරයක් පරීක්‍ෂා කරලා තහවුරු කරගැනීමේ අවශ්‍යතාව ගැන සිවරාම් හැම වාර්තාකරුවෙකුටම අවධාරණය කරලායි තිබුණේ. සෑම වාර්තාවක්ම මේ අය එව්වේ දෙමළ භාෂාවෙන්. අපි ඒ වාර්තා ඉංග්‍රීසියට පෙරළන්න වෙනම උප කර්තෘවරයෙක් පත් කරලා තිබුණා. සිවරාම් කළේ මේ ආයතනික ස්වරූපයක් ගත්ත යන්ත්‍රය හදලා, ඒක දිවයිනෙන් බැහැර ඉන්න අපිට විධිමත්ව සම්බන්ධ කරන එකයි. සිවරාම් මේ අය එවන හැම වාර්තාවක්ම කියවා බලලා, ප්‍රවෘත්තියක ආවරණය කෙරෙන්න ඕනෑ පැති ගැනත්, වාර්තාවන්ගේ දුබලතා මොනවාද කියන එකත්, වැඩි දුර තොරතුරු සෙවිය යුතු කාරණා ගැනත් අදාළ අයට උපදෙස් දෙන එකයි. ඒ අතරම, වැදගත්ම සිදුවීම් ආවරණය කිරීම සිවරාම් විසින්ම සිදු කළා. සාමාන්‍යයෙන් එයාව හදිසියකදී අල්ලා ගන්න එක දුෂ්කර දෙයක්. නමුත් විශේෂ සිදුවීමක් වුණ ගමන් සිවරාම් කොහෙන් හෝ මතුපිටට ඇවිත් ඒකට අදාළ වාර්තා ලිවීම කළා. 

සිවරාම්ට ආවේණීක විශේෂ ශක්තිය තමයි, ඔහු දෙමළ නිජබිමේ සෑම අස්සක් මුල්ලක්ම අතැඹුලක් වගේ දැන සිටි එක. සමස්ත දෙමළ මාධ්‍ය ඉතිහාසයේම සිවරාම් තරම් දෙමළ ප්‍රදේශ ගැන භූ ගෝලීය වැටහීමක් තිබුණ වෙන කෙනෙක් නොසිටියා කියලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි. ඔහු මඩකළපුවෙන් ආ අයෙක් වුණාට, උතුරේ අපි හැදුණ වැඩුණු ප්‍රදේශවල තිබුණ අපිත් නොදන්නා පිටිසරම ගම් පවා ඔහු දැන සිටියා. උතුර සහ නැගෙනහිර සම්බන්ධ කරන සෑම අප්‍රධාන කැළෑබද මාර්ගයන් ගැන පවා ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. නැගෙනහිර හැරුණම, මන්නාරමේ, යාපනයේ, වන්නියේ ආදී හැම ප්‍රදේශයකටම අදාළ භූ ගෝලීය පිහිටීම, සංස්කෘතිය, සමාජ සැකැස්ම ගැන ඔහුට තිබුණ දැනුම අසාමාන්‍යයි. ඒ වගේම කිසියම් ප්‍රවෘත්තියක් තහවුරු කරගන්න අවශ්‍ය වුණු වෙලාවට ඒ ඒ ප්‍රදේශවලින් සම්බන්ධ කරගත යුතු කෙනා කවුද කියන එකත් සිවරාම් දැනගෙන හිටියා. 

සිවරාම්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ කොළඹ පත්තරවලට එයා අඛණ්ඩව සපයපු ලිපි මගින් නිදහස් ලේඛකයෙකු වශයෙන් උපයපු මුදලයි. අපි යවපු මුදල්වලින් තමන්ගේ පෞද්ගලික වියදම් සඳහා සිවරාම් වැය කළේ අංශු මාත්‍රයක් විතරයි. ඒ මුදල වියදම් කළෙත් තොරතුරු ලබා ගැනීමට ඉවහල් වෙන සම්බන්ධකම් නඩත්තු කරන්න, ඔවුන් එක්ක මධුවිතක් බෙදාගන්න වගේ දේකට විතරයි. අපි යවන ඉතිරි මුළු මුදලම ඔහු වැය කළේ, මේ කියන ආකාරයේ කිසියම් ආයතනික ව්‍යුහයක් විධිමත්ව ගොඩනගන්නයි. ඔහු ගමන් බිමන් ආවේ ගියේ බස් එකේ, දුම්රියේ. සෑම වාර්තාකරුවෙකුටම අදාළව වැය කරන මුදල් ගැන විධිමත් ලේඛන සහ වාර්තා ඉතාමත්ම පිළිවෙලට පවත්වාගෙන යාමේ පරිපාලන ක්‍රියා පටිපාටියත්, මේ සියළු වැඩ රාජකාරී මැද ඔහු පැහැර නොහැර කළා. 

සාමාන්‍යයෙන් වසරකට දෙවතාවක්වත් දිවයිනෙන් බැහැර රටකදි මුණ ගැහිලා අපි ඒ කාලය තුළ කරපු කාර්යයන්ගේ ගුණය සහ ප්‍රමාණය ගැන සමාලෝචනයන් සහ ඇගයීමක් කරන්න පුරුදු වෙලා හිටියා. 

ටැමිල් නෙට් සහ මුල් කාලීන අල් ජසීරා රූපවාහිනියේ භාවිතාව නිදසුන් කොටගෙන සිවරාම් හඳුන්වා දුන් එක්තරා සංකල්පයක් තමයි ‘ප්‍රති මාධ්‍ය’ (counter-media) කියන අදහස. මේ සම්බන්ධයෙන් සිවරාම්ගේ බුද්ධිමය චරිතාපදානය ලියූ මාක් විටෙකර් සමගත් සිවරාම් සවිස්තරාත්මකව සාකච්ඡා කර තියෙනවා. ‘ප්‍රති මාධ්‍ය’ ගැන අදහස ටැමිල් නෙට් භාවිතාව එක්ක වැඩි දුරට පැහැදිලි කරන්න ඔබට පුළුවන්ද?

'ටැමිල් නෙට්' වෙබ් පිටුවක මුලින් පැවති ආකෘතිය

ජෙයචන්ද්‍රන්: සිවරාම්ට අනුව ටැමිල් නෙට් වැනි ප්‍රවෘත්ති ව්‍යුහයක් විසින් ඉටු කරන වැදගත්ම කාර්යභාරය තමයි, ජනතාව ගිළීගත් මෝහයෙන් සහ අඳුරෙන් ඔවුන් මුදවාගෙන ඒ අය යටකොටගත් අයුක්තීන් නිසියාකාරව තේරුම්ගන්න ඔවුන් පුහුණු කරන එක. ඔබ සඳහන් කරපු  විටෙකර්ගේ පොතේ සිවරාම් පෙන්වා දෙන්නෙත්, අයුක්ති සහගත දේ සාමාන්‍යකරණය කිරීමේ ක්‍රියාවලියට එරෙහිව, ඒ අයුක්තීන් දෙස අවධානය යොමු කිරීමට ජනයා පෙළඹවීම ප්‍රති මාධ්‍ය විසින් කරන බවයි. උදාහරණයක් වශයෙන්, සාමාන්‍යයෙන් මුල් බැසගත් අගතිගාමී අදහසක් තමයි කොළඹ කෙන්ද්‍රීය ප්‍රධාන ධාරාවේ හෝ විදේශ මාධ්‍යයක් හරහා එන තොරතුරක් විශ්වාසනීයභාවයෙන් වැඩි බව. ඒවා මූලාශ්‍ර වශයෙන් උපුටා දක්වන්නට මේ නිසාම වැඩි නැඹුරුවක් තියෙනවා.  ඒ වෙනුවට ටැමිල් නෙට් හරහා අපි ගොඩනඟපු දේ තමයි, අපේ ජනයා මුහුණදෙන යථාර්ථයන් අපේ දෘෂ්ඨි කෝණයෙන් වාර්තා කරන අතරවාරයේ අයුක්තීන් සාමාන්‍ය තත්ත්වය නෙවෙයි කියන කාරණාව මිනිස්සුන්ගේ ඔළු ඇතුළේ තහවුරු කරන එක. හැබැයි මේ කාර්යයේදී අපි පාවිච්චි කරපු ආකෘතිය තමයි, දැනට ස්ථාපිත ප්‍රධාන ධාරාවේ වාර්තාකරණ ආකෘතිය. ඒ නිසාම අපේ වාර්තාවල වෘත්තිමය ගුණයක් තිබුණා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ටැමිල් නෙට් එක අකමැත්තෙන් වුණත්, මූලාශ්‍රයක් වශයෙන් යොදාගන්න එක හේතුවක් වුණේ මේ කියන ගුණයයි. වාර්තාකරණයට අදාළ යම් විදග්ධ වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය දෙයක් විදියට සිවරාම් සැළකුවා. අපේ වාර්තාවක සහ ප්‍රධාන ඒජන්සි ප්‍රවෘත්ති වාර්තාවක ආකෘතික ලක්‍ෂණ බොහෝ දුරට සමාන මට්ටමක පවත්වාගෙන යන්න සිවරාම් සමත් වුණා. වෙනස තිබුණේ අදාළ ප්‍රවෘත්තිය වාර්තා කරන දෘෂ්ඨි කෝණය සහ ප්‍රවෘත්තියේ අන්තර්ගතයයි. න්‍යායිකව සළකතොත්, ‘ප්‍රති මාධ්‍ය’ කියන සංකල්පයෙන් සිවරාම් අදහස් කළේ ඒ වගේ දෙයක්. 

අපි ප්‍රවෘත්ති සඳහා ලේඛකයෙකුගේ නම් පාවිච්චි කළේ නැහැ. ටැමිල් නෙට් සඳහා සිවරාම් විසින් ලියපු විශ්ලේෂණවලදිත් මේ රීතිය අපි අනුගමනය කළා. ඒ නිසාම පාඨකයාට ඒවා පෙනී ගියේ දෙමළ ජනයාගේ , ඒ කියන්නේ  දෙමළ ජාතික ප්‍රජාව නියෝජනය කරන පුවත් ඒජන්සියක වාර්තා විදියටයි. අධිපති මාධ්‍ය විසින් තහවුරු කරපු පාර්ශ්වික අගතීන්ට විරුද්ධව අපි සටන් කළේ ඔවුන්ගේම ආකෘතිය ආයුධයක් වශයෙන් යොදා ගනිමිනුයි.

නමුත් කිසියම් කාලයකින් පස්සේ සිවරාම්ට එල්ල වෙමින් තිබෙන අවදානම ගැන යම් පැහැදිලි බවක් තිබුණා නේදවිශේෂයෙන්ම ටැමිල් නෙට් සමග සිවරාම්ට ඇති සම්බන්ධය වඩ වඩා අනාවරණය වෙන තත්ත්වයක් ඇතුළේ විකල්ප ක්‍රියාමාර්ග ගැන සිවරාම් එක්ක ඔබ කතා කළාද?

ජෙයචන්ද්‍රන්: එතැන කොහොමටත් නොවැළක්විය හැකි විදියේ උගුලක් තිබුණා වගේම ඒ සම්බන්ධයෙන් අපි අතර කිසියම් අවබෝධයකුත් පැවතුණා. කොළඹ හෝ යාපනය මුල් කොටගෙන කිසියම් නිල කාර්යාලීය ව්‍යුහයක් ස්ථාපිත කිරීම ගැන අපි අතර ඇතිවුණු කතා ක්‍රියාවට නොනැංවුණේ මේ නිසායි. ලංකාවේ ආණ්ඩුව ප්‍රවෘත්ති වාරණයක් පනවන කිසිම වෙලාවක ටැමිල් නෙට් වාර්තාකරණයට ඒක බල නොපෑවේ මේ උගුලට අපි ගමන් නොකළ නිසායි.

නමුත් සාම ක්‍රියාදාමය දියත් වුණාට පස්සේ ටැමිල් නෙට් සංස්කාරකවරයෙක් විදියට සිවරාම්ගේ භූමිකාව කිසියම් ප්‍රමාණයකට හෙළිදරව් වීම වළක්වන්න බැරි වුණා. නමුත් සිවරාම් ඒ ගැන කල්පනා කළේ ඒක යම්තාක් දුරකට ආරක්‍ෂාවට හොඳ බවයි. මාධ්‍ය අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන  විසින් ලංකාව සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය අවධානය එවැනි අවදානමක් අවම කරන්න බලපාවි කියන හැඟීමත් යම් පමණකට තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම මේ මඟින් සැළසුණු ආරක්‍ෂාව ඉතාම සීමිත එකක්. කොළඹ සිට ක්‍රියාත්මක වෙන්න තිබෙන හැකියාව ගැන සිවරාම්ට පමණ ඉක්මවා ගිය විශ්වාසයක් තිබූ බවයි මගේ හැඟීම. ඔහු වරක් මට කියපු දෙයක් තමයි, ඔහුව ඝාතනය කරන්න හමුදා බුද්ධි අංශ විසින් කිසියම් මොහොතක එවන ඝාතකයා මඩකළපුවේ කෙනෙක් වුණොත්, ඔහු සමග කතා කරලා ඇත්ත ඒත්තු ගන්වන්න තමන්ට පුළුවන් කියලා. ඔහුට එවැනි විශ්වාසයක් තිබුණා. 

උදාහරණයක් විදියට මඩකළපුවේ සිවරාම්ගේ මාධ්‍ය සගයෙක් වුණු නඩේසන් 2004 අවුරුද්දේ මැයි මාසයේදී ඝාතනය වෙන මොහොත වෙනකොට, සිවරාම් හිටියේ යුරෝපයේ. ඒ මොහොතේ ඔහුව බීබීසී දෙමළ සේවය ඇතුළු විවිධ මාධ්‍ය විසින් සාකච්ඡාවන්ට සහභාගී කරගත්තා. ඒ සාකච්ඡාවන්වලදි ඔහු කියපු දෙයක් තමයි, ‘මම ගියාට පස්සේ මාව මරන්න ඉඩ තිබුණත්, මම ආපහු යනවා’ කියලා. ඒ සම්බන්ධයෙන් ඔහුට තිබුණේ පමණට වැඩි විශ්වාසයක්ද, නැතිනම් ශුභවාදයක්ද, බලපොරොත්තුවක්ද කියන එක මට හරියටම කියන්න බැහැ. 

අපි හැමෝම මේ ගැන හිටියේ නිරන්තර කණස්සල්ලෙන්. සිවරාම් අහිමි වුණොත් ඒක අපිට මානසිකව - ආධ්‍යාත්මිකව එල්ල කරන බලපෑමට අමතරව ටැමිල් නෙට්  වෙබ් අඩවියේ ආයතනික පැවැත්මටත් තීරණාත්මකව බලපාන බව අපි දැනගෙන හිටියා. ඔහු තමයි ඇත්තෙන්ම ඒ වෙනකොට සමස්ත ටැමිල් නෙට් ව්‍යාපෘතියෙම කොඳු නාරටිය විදියට වැඩ කළේ. ඒ වෙනකොටත් යාපනයේ ඉඳන් අපිට වාර්තා සම්පාදනය කරපු නිමලරාජන් ඝාතනය කරලායි තිබුණේ. ඒ නිසා එවැනි අහිමි වීමක  බලපෑම ගැන බැරෑරුම්ව අපි කල්පනා කරලා තිබුණා. 

අවසානයේදී දෙමළ ජනතාවගේ දේශපාලන ඉතිහාසයේ වැදගත්ම කාල පරිච්ඡේදයක සිවරාම් අහිමිවීමේ යථාර්ථයට ඔබ මුහුණ දුන්නේ කොහොමද?

ජෙයචන්ද්‍රන්: ඒ සිදුවීම බලවත් අකුණක් වගෙයි අපට දැනුණේ. ඒක කිසියම් ආකාරයක ගැඹුරු  පෞද්ගලික වේදනාවක්. නමුත් ආයතනිකව සිවරාම් විසින් ගොඩනංවලා තිබුණ ව්‍යුහය ඔහු මිය යන්න කලින් අපිට සම්බන්ධ කරලායි තිබුණේ. ඔහුගේ මරණයට කලින් මම ලංකාවට ගිය වතාවක සිවරාම් මේ ප්‍රාදේශීය සම්බන්ධකම් මට පෞද්ගලිකවම හඳුන්වලා දුන්නා. සිවරාම් මරා දැමුවත් ඔහුගෙන් පසුව අවශ්‍ය කාර්යය කෙරෙන්න අවශ්‍ය වන අඩිතාලම සිවරාම් දමා ගොස් තිබුණා.  සිවරාම් ඝාතනය වෙන මොහොත වෙනකොට මම පූර්ණ කාලීන රැකියාවක නිරත වෙලා හිටියේ. නමුත් සිවරාම්ගේ අහිමිවීම විසින් මට බල කෙරුණා අර්ධ කාලීන රැකියාවකට මාරු වෙන්න. මම විතරක් නෙවෙයි, සිවරාම්ගේ මරණය විසින් ටැමිල් නෙට් එකට සම්බන්ධ හැම කෙනෙකුටම බල කෙරුණා තමන්ගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ටැමිල් නෙට් එක වෙනුවෙන් යොදවන්න. ඒ වගේම හැම කෙනෙක්ම ඒ දේ කළා.

සිවරාම්ගේ මරණයෙන් පස්සේ එළඹුණු වකවානුව තුළ දී තමන්ගේ සාමූහික පැවැත්මේ ඉතිහාසය තුළ මුහුණ දුන් වඩාත්ම ලේ වැකි හා බිහිසුණු කාල පරිච්ඡේදයට මුහුණ දෙන්න දෙමළ ජනයාට සිද්ධ වුණා. මේ කාල පරිච්ඡේදය තුළ දෙමළ ජනයාගේ සාමූහික ඉරණම ලෝකයට අනාවරණය කරන්න ටැමිල් නෙට් වෙබ් අඩවිය විසින් ඉටු කරපු වැඩ කොටස ඓතිහාසික එකක් බව අවිවාදිතයි. සිවරාම් නොමැති සන්දර්භයක් තුළ මේ කියන දැවැන්ත අභියෝගයට ටැමිල් නෙට් මුහුණ දුන්නේ කොහොමද

ජෙයචන්ද්‍රන්:  ඊට අවශ්‍ය ප්‍රමාණයට සිවරාම් අපි සියලු දෙනාම කිසියම් සූදානම් කිරීමක් කරලා තිබුණා. ඔහු පුහුණු කළේ දිවයින ඇතුලේ හිටපු අපේ වාර්තාකරුවන් විතරක් නෙවෙයි. අපි සියළු දෙනාත් මේ කියන වෘත්තීය අභියෝගයට මුහුණ දෙන්න අවශ්‍ය පසුබිම සිවරාම් නිර්මාණය කරලා තිබුණා. කතාවක් වාර්තා කරද්දී, ප්‍රමුඛතාව ලබාදිය යුතු කාරණා, සපයා ගත යුතු දත්තවල ස්වභාවය, ඒවා තහවුරු කරගත යුතු ආකාරය කියන මේ හැමදෙයක්ම ගැන පුහුණුවක් සිවරාම් අපි එක්ක වැඩ කළ කාලය තුළ අපිට වක්‍රාකාරව ලබාදී තිබුණා. ඒ නිසා මේ කියන දුෂ්කර කාල පරිච්ඡේදයේත්, සිවරාම් අපිත් එක්ක ඉන්නවා හා සමාන හැඟීමක් අපි හැමෝටම තිබුණා. නමුත් ඒ වකවානුව මානසිකවත්, කායිකවත් ඉතාම වෙහෙසකර, දුෂ්කරම වකවානුව බවයි මගේ හැඟීම. 

මම ඔබට කලින් කිව්ව විදියට මුල් කාලයේදී අපි එල්ටීටීඊ සංවිධානයේ පාලනය යටතේ පවතින ප්‍රදේශ තුළ සිදුවන දේවල් වාර්තා කරන්න මූලාශ්‍ර වශයෙන් භාවිතා කළේ කොටි හඬ ගුවන් විදුලිය සහ පුවත්පත් වගේ ද්වීතියික මූලාශ්‍රයි. නමුත් සාම සාකච්ඡා පැවැති වකවානුවේ වන්නියට ආ ගිය සිවරාම් කෙලින්ම සම්මුඛ සාකච්ඡා, විශේෂාංග හා වාර්තා ලියන්න පටන් ගත්තා. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී වැදගත් වන ‍සබඳතා ඒ ප්‍රදේශය තුළින් අවිධිමත්ව වුණත් ගොඩනංවා ගන්නත් සිවරාම් සමත් වුණා. නමුත් අපිට අපේම වාර්තාකරුවෙකු එල්ටීටීඊ පාලන ප්‍රදේශයන් තුළ ඒ වෙනකොටත්  හිටියේ නැහැ. ඒ නිසා සිවරාම්ගේ මරණයෙන් පස්සේ අපි එවැනි වාර්තාකරුවෙක් ක්‍රමානුකූලව ගොඩනඟා ගන්න ක්‍රියා කළා. ඇත්තටම අපේ වාර්තාකරු වශයෙන් සම්බන්ධ කරගත් තරුණයාට සිවරාම් කිසිම දවසක මුණ ගැසී නැතත්, ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු සතු විය යුතු බවට සිවරාම් අවධාරණය කරපු ගුණාංග හැම එකක්ම ඔහුට තිබුණා. ඉතාමත්ම තරුණ වියේ පසුවුණු ඔහු ඉටු කළ කාර්යභාරය විස්මයජනකයි. නමුත් අපි අදටත් හිතනවා, අපි ප්‍රමාණවත් තරමින්, නැතිනම් අවශ්‍යව තිබූ පමණින් සිදුවීම් වාර්තාකරණයට අසමත් වුණා කියලා. ඒකට හේතුව අපේ වාර්තාකරුවාට නිදහසේ ඔබ මොබ යමින් වාර්තා කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. නිරන්තරයෙන් එල්ල කරන ගුවන් පුහාර, ෂෙල් ප්‍රහාරවලින් බේරීගෙන තමයි ඔහු වාර්තාකරණය කළේ. 

ඔහුට අපි ලබාදීලා තිබුණේ ලැප්ටොප් පරිගණකයක් සහ චන්ද්‍රිකා දුරකථනයක් විතරයි. ඔහු අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙලා වාර්තා එව්වේ ඔහුගේ චන්ද්‍රිකා දුරකථනය පාවිච්චි කරලායි. නමුත් දවසේ පැය 24 තිස්සේම ඔහු ජීවත් වුණේ මරණයේ සෙවණැල්ල යටයි. ඔහු එවන සෑම වාර්තාවක්ම දෙතුන් වතාවක් තහවුරු කරගැනීමට කාලය යොදවන්න හුරු වෙලායි හිටියේ. ඒ නිසා සිදුවීම්වල වේගයයි, වාර්තාකරණයේ වේගයයි අතර නොවැළැක්විය හැකි පරතරයක් තිබුණා. ටැමිල් නෙට් සම්බන්ධ විවේචනය කළ ප්‍රධාන ධාරාවේ අය පවා, ඔහුගේ වාර්තාවන්ගේ නිරවද්‍යභාවය ප්‍රශ්න කළේ නැහැ. ඔහු ඒ තරම් ප්‍රවේශම් සහගත, වෘත්තීය ශික්‍ෂණයක් ඇතුවයි සිදුවීම් වාර්තා ක‍ළේ.

යුද්ධයේ පසුබිමේ තිබුණු කලාපීය හා ගෝලීය භූ දේශපාලනික යථාර්ථයන්ට නිසි අවධානයක් දුන්න පළමු සහ ප්‍රමුඛතම විශ්ලේෂකයා සිවරාම් බවයි අපේ හැඟීම. හුදෙක් ජාතීන් දෙකක් අතර තීව්‍ර වුණු වර්ග කේන්ද්‍රීය ගැටුමක සීමාවෙන් ඔබ්බට යමින් වඩා පුළුල් පසුතලයක සමස්ත ගැටුම ස්ථානගත කරන්න ඔහු තමන්ගේ ලියවිලි හරහා හැමවිටම කටයුතු කළා. ඉන්දියානු සාගරය ආශ්‍රිතව වර්ධනය වන උපාය මාර්ගික ආතතීන් දිවයින අභ්‍යන්තරයේ සිදුවන ගැටුම සමග පවතින නිශේධනාත්මක අන්තර් සම්බන්ධතාවය අනාවරණය කරන්න ඔහු දුන් වැදගත්කම ටැමිල් නෙට් හරහා අඛණ්ඩව පවත්වාගෙන යන්නට ඔබ තවමත් කටයුතු කරන බවක් දැකිය හැකියි. නමුත් මේ ප්‍රවේශය අද පවතින යථාර්ථයන් එක්ක ඒ තරම් ජනප්‍රිය එකක් නොවෙයි නේද?

ජෙයචන්ද්‍රන්: ඇත්තෙන්ම සිවරාම් ඝාතනයට බල පෑ එක්තරා වැදගත් සාධකයක් වන්නෙත් ඔහු සතුව තිබුණා යැයි ඔබ කියන මේ ස්ථාවරයයි. පවතින ගැටුම දෙන ලද සීමාවන්ගෙන් ඔබ්බට අරගෙන ගිහින් පළල් කැන්වසයක ස්ථාගත කරලා ඒත්තු ගන්වන සුළු බලයකින් විග්‍රහ කරන්න ඔහුට තිබුණු  දීප්තිමත් හැකියාවම ඔහුට මාරාන්තික අනතුරක් නිර්මාණය කළ බවයි මගේ හැඟීම. සිවරාම් ටැමිල් නෙට් සිතීමට  එකතු කළ වැදගත්ම අංගය වුණේ මේ කියන බාහිර සාධකයන්ගේ භූමිකාව ගැඹුරින් වටහා ගැනීමේ ඇති වැදගත්කමයි. ඒ කියන්නේ අභ්‍යන්තර ගැටුමක් විදියට පමණක් සළකපු යුද්ධයක  භූ දේශපාලනික මානය නිරාවරණය කිරීමේ ඇති වැදගත්කම ගැනයි. ඒ නිසා සිවරාම්ගේ මරණය විසින් අපිට බල කළ දෙයක් තමයි සිවරාම්ගේ සිතීමේ මේ කියන සාරය නිවැරදිව ග්‍රහණය කරගැනීමත්,  ඒ කියන දැනුම නිරන්තරයෙන්ම යාවත්කාලීන කරගැනීමේත් අවශ්‍යතාවය. ඒ නිසා ඔබ කියන පුළුල් සන්දර්භය නිසියාකාරව වටහා ගැනීමට අපිට ඇති වගකීම සිවරාම්ගේ මරණය විසින් තව තවත් වැඩි කළා. සිවරාම් හැම වෙලාවෙම අවධාරණය කරපු කාරණාවක් තමයි, මේ බාහිර සාධකවල බලපෑම නිශ්ක්‍රීය කොට නිශේධ කරන්න තිබෙන එකම ක්‍රමය, දෙමළ සහ සිංහල ජනයා අන්‍යෝන්‍යව ගරු කරන සමානයන් වශයෙන් ක්‍රියා කරමින් විසඳුමක් කරා එළඹීම බව. ගෝලීය හා කලාපීය බලයන් විසින් අපේ ඉරණම් කරකැවීම පරාජය කළ හැකි එකම ලීවරය වශයෙන් ඔහු දැක්කේ සිංහල ජනයා සහ දෙමළ ජනයා අතර පවතින අසමාන හා පසමිතුරු සම්බන්ධතාව, සමානයන් අතර වන ප්‍රජාතාන්ත්‍රික සන්ධානයක් බවට පෙරළා ගැනීමයි. ඒ ස්ථාවරය අත්හළ නොහැකි ටැමිල් නෙට් උරුමයක් විදියටයි අදටත් මම දකින්නේ. 

සිවරාම්ගේ මරණයෙන් දස වසරක් ගෙවුණු තැන ඔහුගේ ජීවිතය හා ඔහු ඉටුකළ දේශපාලන කාර්යය ගැන ඔබේ ඇගයීම මොකක්ද?

ජෙයචන්ද්‍රන්: සිවරාම් අහිමි වීම පිරවිය නොහැකි හිදැසක්. ඔහු ගැඹුරු දැක්මක්, අසමාන භාවිතාවක් වගේම මිත්‍රශීලී හදවතක් තිබූණ සරල මනුෂ්‍යයෙක්. ඔහු වැන්නෙක් නිර්මාණය කළේ ඔහු පිටුපස තිබුණු ඉතිහාසයයි. සිවරාම්ගේ අඩුව පිරවිය නොහැකි එකක් බව මම කියන්නේ ඒ නිසායි.

© JDS