Monday, 17 December 2018
'එළඟු තමිල් වැරදිනම් මහින්ද රාජපක්ෂ පාද යාත්‍රා ගිය එකත් වැරදියි '

'එළඟු තමිල් වැරදිනම් මහින්ද රාජපක්ෂ පාද යාත්‍රා ගිය එකත් වැරදියි ' Featured

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී - ටී. සිද්ධාර්තන්

එළඟු තමිල් කුමක් සඳහා ද ? එය දෙමළ ඊළම් ව්‍යාපාරයේ තවත් දිගුවක් ද? උතුරේ එළඟු තමිල් වැනි විරෝධතා සංහිඳියා ගමනට බාධාවක් ද? දකුණේ ජාතිවාදයට උඩගෙඩි දීමක් ද? ප්ලොට් සංවිධානයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. සිද්ධාර්තන් එහා ඉවුරට මෙසේ පිළි‍තුරු දෙයි.

ප්ලොට් සංවිධානය ආරම්භයේ දී මූලික අරමුණු වුණේ වෙනම රාජ්‍ය සංකල්පය නේ ද?

අප ආරම්භයේ දී හිටියේ දෙමළ ඊළම ලබාගත යුතු යැයි කියන මතයේ තමයි. පසුව එය සන්නද්ධ අරගලයක් බවට පත් වුණා. තිම්පු සාකච්ඡාවලින් පසුව උතුරේ ජනතාවට එකඟ විය හැකි සාධාරණ බලය බෙදීමක් අපේක්ෂාවෙන් අපේ අරමුණු වෙනස් කළා.

 ඔබ බලාපොරොත්තු වන බලය බෙදීම කුමන ආකාර ද?

අප බලාපොරොත්තු වෙන්නේ ‍ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වන ආකාරයේ බලය බෙදීමක්.

 තිස් වසරක් පැවැති අරගලය නිසා දෙමළ ජනතාවගේ අනාගතය පසු බෑමකට ලක් වූ බව මම යෝජනා කළොත් ඔබ පිළිගන්නවා ද?

ඔව්, යුද්ධය නිසා අපේ අයිතිවාසිකම් අපට නැතිවුණා.

තිස් වසරක් පැවැති අරගලයෙන් දෙමළ ජනතාවට හෝ පොදුවේ රටට ඇති වූ තත්ත්වය ඔබ තේරුම් ගන්නේ කොහොම ද?

යුද්ධය නිසා අපට අහිමි වූ දේවල් විශාලයි. නමුත් අපි අපේ මූලික අයිතිවාසිකම් පිළිබඳ බලාපොරොත්තු අතහැරලා නෑ. හැබැයි ඒ බලාපොරොත්තුව ඊළමක් නොවෙයි. එකම රටක් තුළ බලය බෙදාගෙන ජීවත් වීම තමයි අපේ උත්සාහය. යුද්ධයකට යන්න දෙමළ ජනතාවට කිසි වුවමනාවක් නෑ. ඉතිහාසයේත් අපි යුද්ධයකට ගියේ දෙමළ ජනතාවගේ වුවමනාවට නොවෙයි. පැවැති ආණ්ඩු එදා හිටි පාලකයන් අපිව යුද්ධයකට තල්ලු කළා.

 යුද්ධයකට යන්න වුවමනාවක් නැහැ කීව වුණත් එළඳු තමිල් නමින් ජනතාව එක් රැස් කළේ නැවත අරගලයකට කියල චෝදනාවක් තියෙනවා?

ඒක අරගලයක් නොවෙයි. උතුරේ දෙමළ ජනතාවගේ හිතේ තියෙන ප්‍රශ්න හා බලාපොරොත්තු ‘එළඳු තමිල්’ හරහා ජාත්‍යන්තරයට කිවුවා. යහපාලන ආණ්ඩුව උතුරේ ප්‍රශ්න විසඳන්න කල් ගන්න නිසා දැන් උතුරේ ජනතාවට ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය අඩුවෙනවා. යහපාලන ආණ්ඩුවට මතක් කරලා දුන්නා. අපේ නායක සම්බන්ධන් මහත්තයා ඇතුළු පිරිස පසුගියදා ලංකාවට ආපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් තුමා හමු වුණා.

උතුරේත් නැඟෙනහිරත් දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු එතුමාට ඉදිරිපත් කළා. එතකොටත් එතුමා අපේ ප්‍රශ්න ගැන දැනුවත් වෙලා හිටියා. එතුමා අපිට කිව්වේ අපේ ප්‍රශ්න ගැන එතුමා රජයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිටත් අපේ ප්‍රශ්න ගැන රජයට මතක් කිරීමක් කරන්න කීවා. එළඟු තමිල් හරහා අපි කළේ මතක් කිරීම.

TNA එකේ නායක සම්බන්දන් මහත්තයා එළඟු තමිල් වලට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තිබුණා නේ ද?

සම්බන්ධන් මහත්තයා නියෝජනය කරන්නේ වෙන පක්ෂයක්. අපි වෙනම පක්ෂයක්. අපිට ස්වාධීනව අපේ පක්ෂයේ මතයක් එක්ක වැඩ කරන්න පුළුවන්. නමුත් දෙමළ ජනතාවගේ මූලික ප්‍රශ්න ගැන TNA එ‍කේත් අපේත් මතය එකයි. සම්බන්ධන් මහත්තයා එයාගේ පක්ෂයේ මතයත් එක්ක මේකට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් සම්බන්ධන් මහත්තයා කොයි වෙලාවකවත් ‘එළඳු තමිල්’ වලට විරුද්ධයි කියලා කිවුවේ නෑ.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් මහත්තයා මේකට විරුද්දයි කියලා පැහැදිලිවම කිව්වා‍ නේ ද?

සුමන්තිරන් මහත්තයා කියන්නේ සම්පූර්ණම TNA එකේ මතය නොවෙයි. ඒ මතයත් එක්ක සමහර පිරිසක් ඉන්න ඇති. නමුත් බහුතර පිරිසක් හිටියේ එළඳු තමිල් එක්කයි.

 ජාතිවාදී පදනමින් ජනතාව පෙළ ගැස්වීම, ඇතිවෙමින් පවතින සංහිඳියාවට බාධාවක් නේ ද?

මේ වචනය අපි පාවිච්චි කළේ ජනතාව දැනුවත් කරන්න විතරයි. අපි බෞද්ධ ජනතාවට විරුද්ධ නෑ. මම නමින්ම සිද්ධාර්ථ. දකුණේ සිංහල ජනතාවත් එක්ක තරහා නෑ.

 එතකොට ඇයි උතුරේ බෞද්ධ සිද්ධස්ථාන ගොඩනඟනවාට විරුද්ධ වෙන්නේ?

බෞද්ධ ජනතාව ජීවත් වෙන්නේ නැති ප්‍රදේශවල පන්සල් අලුතින් හදන්නේ ඇයි? මොකක් ද මේ අවශ්‍යතාවය? කිළිනොච්චියේ දී කනහාම්බිමන් අම්මන් කියන කෝවිලට අයිති ඉඩමේ පන්සලක් හදනවා. ඒක කරන්නේ බලහත්කාරයෙන්. ඒක හරි ද? අපිට දකුණේ පන්සලකට අයිති ඉඩමක බලහත්කාරයෙන් කෝවිලක් හදනන්න පුළුවන් ද? මේවා එකක් දෙකක් නොවෙයි. මුලතිව්වල පන්සලක් හදන්නේ උසාවි නියෝගයට පිටින්.

අපි මේවා ජනතාවට කියන්න ඕනා. රජයට කියන්න ඕනා. අපි කළේ ඒකයි. එළඟු තමිල් පවත්වපු එක වැරදිනම් මහින්ද රාජපක්ෂ මහත්තයා නුවර ඉදන් පාද යාත්‍රා ගිය එකත් වැරදියි නේද? අපි කළේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ ප්‍රශ්නය ගැන දැනුම් දීම පමණයි. ඒක මේ රටේ හැමෝටම තියෙන අයිතියක්.

 උතුරු නැඟෙනහිර පළාත් දෙක නැවත එකතු කළ යුතු යැයි කියන්නේ ඇයි?

උතුරේ දෙමළ ජනතාවත් නැඟෙහිර දෙමළ ජනතාවත් අතර ඉතිහාසයේ ඉදලම ලොකු බැඳීමක් තියෙනවා. මේ පළාත් දෙකේ බහුතර ජනතාව කතා කරන්නේ දෙමළ භාෂාව. අපේ ඕනා එපා කම් ඉටුකර ගන්න, අයිතීන් දිනාගන්න මේ ප්‍රදේශ දෙකම එකම පරිපාලන ඒකකයක් වශයෙන් තබා ගැනීම වැදගත්. කියලා අපි සලකනවා.

කතා කරන භාෂාව අනුව ජනතාවගේ පාලන ඒකක බෙදා වෙන් කිරීම ජාතික සමගියට සංහිඳියාවට බාධාවක් නොවෙයි ද?

නෑ එහෙම වෙන්නේ නෑ. ස්විට්සර්ලන්තයේ මෙය සාර්ථකව පවත්වාගෙන යනවා.

 ස්විට්සර්ලන්තය නිර්මාණය වන්නේ රටවල් කිහිපයක කැඩී ගිය කොටසක් එක්වීමෙන්. එය ආරම්භ වන්නේ ම ෆෙඩරල් රාමුවක් තුළ පාලනය වන බවට එකඟතාවයක් ඇතුවයි. නමුත් අපේ රට ඉතිහාසයේ ඉදලම ඒකීය රාජ්‍යයක්. ඒ අනුව ෆෙඩරල් ක්‍රමයට අපේ රට අනුගත විය හැකි ද?

ඔබ ඔහොම කිව්වට අපේ රට බටහිර ජාතීන් පැමිනෙන්න (1505)ට පෙර ඉදළම ප්‍රාදේශීය රාජ්‍ය වශයෙන් පැවැතිලා තියෙනවා. ඒ කාලයේ යාපනය දෙමළ රජවරු පාලනය කරපු ප්‍රාදේශීය රාජ්‍යයක්. කන්ද උඩරට, රුහුණ වෙන් වෙන්ව පාලන ඒකක වශයෙන් පැවතිලා තියෙනවා.

 ඔබ දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම පෙනී සිටින කොට මේ රටේ මුස්ලිම්වරු තමන්ට වෙනම කලාපයක් වෙනුවෙන් පෙනී සිටියහොත් රට මහත් අවුලකට පත්වෙනවා නේ ද?

චන්ද්‍රිකා මැතිණියගේ පාලන කාලයේ දී අෂ්රොෆ් ඇමැතිතුමා අග්නිදිග මුස්ලිම් කලාපයක් ගැන යෝජනා කළා. එදා දෙමළ දේශපාලන පක්ෂ ඒක පිළිගත්තා.

 ඔබ ඔහොම රටේ වෙන් වෙන්ව ජාතීන් අනුව කලාප ගැන කතා කරන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව සමඟ දකුණේ ජීවත්වන දෙමළ හා මුස්ලිම් ජනතාව ගැන අමතක කරලා ද?

උතුරට නැඟෙනහිරට සිංහල ජනතාවට එන්න එපා, එහි පදිංචි වෙලා ඉන්න එපා කියලා, අපි කොයි වෙලාවකවත් කියන්නේ නෑ. දෙමළ මුස්ලිම් ජනතාව දකුණේ ඉන්නවා වගේම සිංහල ජනතාවට උතුරේ හා නැඟෙනහිර ඉන්නත් අයිතියක් තියෙනවා. මේක වරද්ද ගන්න එපා. අපි විරුද්ධ උතුරේ දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම්වල රජය මැදිහත්වෙලා ගම් පිටින් පදිංචි කරනවාට.

අසූ ගණන්වල මහවැලි ව්‍යාපාරය හරහා නැඟෙනහිර විශාල සිංහල ජනාවාස ප්‍රමාණයක් ඇති කරලා. ඒ ප්‍රදේශවල දෙමළ ජන ප්‍රතිශතය නැත්නම් ජනපදනම බිඳ දැම්මා. ගෙලිඔය නැදුන්කර්ති ප්‍රදේශවල මේ වැඩසටහන දැනුත් වැරැදි විදිහට රජය මැදිහත් වෙලා කරනවා. එහෙම නැතිව දකුණේ සිංහල මිනිස්සු තමන්ගේ කැමැත්තට අනුව යාපනයේ ඇවිල්ලා පදිංචි වෙනවා නම් අපි විරුද්ධ නෑ. අදත් රාජ්‍ය සේවයට හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වන දකුණේ අය උතුරේ පදිංචි වෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ.

එක්දහස් නමසිය පනහේ දශකයේ මම ඉගෙන ගත්තු පාසලේ ඉගැන්වීම් කරන්න ආපු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නවාතැන් ගත්තේ අපේ ගෙදර. එතරම් සම්බන්ධයක් සිංහල ජනතාව හා අපි අතර තිබුණා. ඒවා අපිට අමතක නෑ.

 ජනවාර්ගික ගැටලුව ඇති වන්නට පෙර උතුරු ප්‍රදේශයේ සිංහල ජනතාව ජීවත් වුණා, ඉන් පසු ඔවුන්ගේ ගම්බිම් අහිමි වුණා. ඔබ පිළිගන්නවා ද?

ඔබ කියන කාරණාව හරි. එදා යාපනය සිංහල විද්‍යාලයේ සිංහල දරුවෝ දාහක් විතර ඉගෙන ගත්තා. අපි එදා ඒකට විරුද්ධ වුණේ නෑ. අපි අහන්නේ උතුරින් හරි නැඟෙනහිරින් හරි දෙමළ ජනතාව දහදාහක් විතර ගෙනිහින් දකුණේ සිංහල ප්‍රදේශවල පදිංචි කෙරුවොත් සිංහල මිනිස්සු කැමැති වෙයි ද? නිහඬව ඉදී ද? මෙන්න මේකයි අපි කියන්නේ.

යහපාලන ආණ්ඩුව රටේ සහජීවනය ඇති කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත් වෙනවා ද?

යහපාලනය සම්බන්ධව ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ රටේ ප්‍රශ්න විසඳගන්න නිවැරැදි පාරේ ගමන් කරනවා කියලා අපට විශ්වාසයක් තියෙනවා. නමුත් මේ ක්‍රියාදාමය සිදු වන්නේ බොහොම හිමින්. අවුරුදු තිහක් යුද්ධයෙන් බැට කාපු මිනිස්සු කඩිනමින් විසඳුම් ලැබේවි කියලා බ‍ලාපොරොත්තු වෙනවා. මේ ආණ්ඩුවට අවුරුදු එකහමාරක් වුණාට දැන් යුද්ධය ඉවරකරල අවුරුදු හයකටත් වැඩියි. ප්‍රශ්නය ඒකයි.

 යහපාලන ආණ්ඩුව රට පාලනය කරන මේ කාලය මේ රටේ සහජීවනය ඇති කරන්න හොඳම කාලය කියලා හිතෙන්නේ නැද්ද?

ජනවාරි 08 වැනිදායින් පස්සේ තමයි මේ රටේ උතුරේත් දකුණේත් උද්ඝෝෂණ වැඩි වුණේ. ඒක අපි පිළිගන්නවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ලක්ෂණයක්. ජනතාව ලැබූ අයිතියක්.

 ජාතිවාදය පැත්තකින් තියලා ශ්‍රී ලාංකිකයිනි නැගිටියව් කියලා මේ රට ඉදිරියට ගෙනියන්න සහයෝගය දෙන්න උතුරේ දේශපාලන නායකයන්ට බැරි ඇයි?

උතුරේ නායකයන් වශයෙන් අපි මේක කියලා ප්‍රයෝජනයක් නෑ. මේ හඬ එන්න ඕනා රජයෙන්. මේ හඬ මතු කරන්න ඕනා මේ රටේ මහජාතිය වන සිංහල ජනතාව. ඒකට මේ රටේ සිංහල ජනතාව සූදානම් ද? එහෙම සූදානම් කියලා වචනයට සිමා නොකර ප්‍රායෝගිකවම ක්‍රියාවට නැංවුවොත් අපටත් ඔබ කියපු කාරණාව ඉටු කරන්න පුළුවන් වේවි.

 උතුරේ ජන ජීවිතය නඟා සිටුවන්න කඩිනමින් සිදුවිය යුතු යැයි ඔබ විශ්වාස කරන්නේ මොනවා ද?

උතුරේ යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා විශාල මුදලක් ආයෝජනය කරන්න ඕනා. විරැකියාවට විසඳුම් ගේන්න මහා පරිමාණ කර්මාන්ත ශාලා උතුරට ගේන්න ඕනා. ස්වයං රැකියාවල නිරතවන පිරිසට අවශ්‍ය දිරි ගැන්වීම් ලබාදීමත් වැදගත්.

 විසඳිය යුතු ගැටලු මෙතරම් තිබිය දී උතුරේ නායකයන් ජාතිවාදී පදනමින් හඬ අවදි කරන්නේ ඇයි?

අපි හඬ නැඟුව කාරණා අතර මේ අවශ්‍යතාවයනුත් තිබුණා. නමුත් දකුණේ මාධ්‍ය ජාතියක් ලෙස අප කළ ඉල්ලීම් පමණක් මතුකර දැක් වූවා. ඒකයි ඔබ ඔහොම කියන්නේ.

 අපේ රටේ මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයන් බලහත්කාරයෙන් කොල්ල කද්දී උතුරේ දේශපාලන නායකයන් නිහඬව ඉන්නේ ඒ ධීවර යාත්‍රා තමිල්නාඩු ප්‍රාන්තයට අයත් නිසා ද?

තමිල්නාඩුව සමග උතුරේ ධීවර සංගම් කතා කරලා තියෙනනවා. අපි මේ ගැන තමිල්නාඩු රජයේ නිලධාරීන් සමග කතා කළා. මේ වගේ අපි කරන වැඩ දකුණේ මාධ්‍යවල යන්නේ නෑ. දකුණේ බොහෝ මාධ්‍ය බලන් ඉන්නේ කොයි වෙලාවේ ද උතුරේ ජනතාව පන්සලකට ගහන්නේ කියලා.

 පබුදු සපුතන්ත්‍රි -දිනමිණ

ඡායාරූප-ශාන් රූපස්සර