Sunday, 20 October 2019
මහලූ නොවනා ප්‍රේම පාරමිතාවක - තිත්ත කවි ලියූ ගැහැනියක්

මහලූ නොවනා ප්‍රේම පාරමිතාවක - තිත්ත කවි ලියූ ගැහැනියක්

මේ වහින්නේ එදා මල් වරුසාවමයි

මහළු නොවනා පෙම්වතුන්ගේ 

සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවම යි...

‘‘මේ ගීතයේ එක පැතිකඩක් පේ‍්‍රමය. කාන්තාවක් විඳින ජීවිතය පිළිබඳ ලොකු කතාවක් මේ ගීතයේ තියෙනවා. පේ‍්‍රම කරන කාලෙ වැස්සත් නිකම්ම වැස්සක් නෙවි. මල් වරුසාවක්. එහෙම වැස්සක එක කුඬේ යටින් යන එක බොහොම සුන්දර අත්දැකීමක්. එක්කො දෙන්නම තෙමෙනවා. නැත්නම් දෙන්නම නොතෙමී එකිනෙකාව ආරක්ෂා කරමින් යනවා. නමුත් විවාහයෙන් කාලයක් යද්දි මේ එකිනෙකා කෙරෙහි වන ළෙංගතුකම, අනෝන්‍ය බැඳීම වෙනස් වෙනවා. මේ සිදුවීම අපි සමාජයේ බොහෝ දෙනෙක් තුළ දකිනවා. මං කියන්නෙ පේ‍්‍රමය මහලූ වෙන්න බෑ කියල. ‘මහලූ නොවනා පෙම්වතුන්ගේ සොඳුරු මල් වරුසාවමයි.’ කියල මං ලිව්වෙ ඒ නිසයි. කාලයක් යද්දි, ‘මට තෙමෙන්න බෑ. එක කුඬේ මදි’ කියල වැස්සට ආවරණයක් හොයාගෙන යනව නම්, දෙන්න වෙන වෙනම ආරක්ෂාව හොයනව නම් මං හිතන්නෙ එතැන ආදරේ වෙනසක් වෙලා. මං කැමති ආදරය, එක කුඬේ යට එක්කෙනෙක් වැඩියෙන් ආරක්ෂා වෙන්න එහෙම නෙවෙයි, දෙන්න සම සමව ජීවිතේ බෙදාගන්න. එක්කො තෙමෙනවා නම් දෙන්නම තෙමුණාවෙ. එක වහළක් යට කූඩු වුණාට පස්සෙ එක කුඬේ මදිවෙන්න බැහැ. කසාද බැඳල හෝ නැතිව හෝ නීතිමය බැඳීමක් ඇතිව හෝ නැතිව ආදරය මහලූ වෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ.’’

මහලූ නොවනා පේ‍්‍රමයක් පිළිබඳව ඒ පාරමිතා පුරන්නී සීතා රංජනීය. ඈ විසින් ලියන ලද දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස් හඩ මුසු කළ ‘මේ වහින්නේ එදා මල් වරුසාවමයි’ ගීතය පිළිබඳ මවිසින් ඇසූ පැනයකට පිළිතුරක් ලෙස ඇය එලෙස අදහස් ගොනු කළාය. වසර 37 කට වැඩි කාලයක් මාධ්‍ය වේදිනියක, සමාජ ක‍්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ සීතා රංජනීගේ සාහිත්‍ය - සමාජ දායකත්වය ඇගයෙන සහෘද සංවාදයක් ‘‘සීතා ඔබේ යෙහෙළිය - තිත්ත කවි ලියූ ගැහැනිය” නමින් සැප්තැම්බර් 06 වැනිදා සවස 3.00ට මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙන අතර, ඇයගේ මෙතෙක් පළ නොවුණු ගී පද රචනා ඇතුළත් ‘මල් වරුසා’ ගේය පද සංග‍්‍රහය ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙස එහිදී එළිදක්වන්නට නියමිතය. මේ සංලාපයට ආසන්නතම නිමිත්ත එකී සහෘද කතිකාවයි.

මෙවැනි සුන්දර ගී පබඳින්නට හැකියාවක් තිබුණු ඔබ ඉන් එහාට සෞන්දර්යාත්මක, භාව ප‍්‍රකාශන මාධ්‍යයක් විදියට ගීතය එක්ක ගනුදෙනු කරල නැහැ. ඔබේ භාවිතය තුළ ගීතයත් එක් සමාජ වැඩක් විදියට නේද පෙනී සිටින්නෙ?

‘‘ගීත, කවි හෝ වෙනත් ලියවිලි වුණත් මම නිකම්ම ලිව්වෙ නැහැ. යම්කිසි දැක්මක්, අරමුණක් ඇතිවයි ලිව්වේ. රජරට ගුවන් විදුලියේ ඉන්න මුල් කාලෙ ලියවුණු ගීතවල යම් සෞන්දර්යාත්මක ගනුදෙනුවක් තිබුණා. රජරට සේවයෙ නිර්මාණාත්මක කටයුතුවලට වැඩි ඉඩක්, නිදහසක් ලැබුණා. ඒ බොහෝ ගීතවලට මම ඇසු, දුටු, අත්වින්ද මිනිසුන්ගේ ජීවන අත්දැකීම්, සමාජ ප‍්‍රශ්න තේමා වුණා. ඒක ඉබේමයි සිද්දවුණේ.

නමුත් කොළඹට ආවට පස්සෙ මම ක්ෂේත‍්‍ර ගණනාවක වැඩ කළා. ඉඳහිට ගීත ලියවුණත් ඒවා නිර්මාණ විදියට එළිදක්වන්න ගායක ගායිකාවන් හමුවෙලා කතා කරන්නවත්, බාර දෙන්නවත් ඉඩක් ලැබුණෙ නැහැ. ඒ අඛණ්ඩ ගනුදෙනුව නැතිව සංගීත ක්ෂේත‍්‍රයෙ ඉදිරියට යන්න අමාරුයි. ලියවුණු ගීත ගණනාවක්ම තියෙනවා ගායනා නොකළ. ඉදිරියට පළවෙන්නට නියමිත ගීත පොතට ඒව ඇතුළත්. මගේ ගීතයට සිදුවුණෙත් අනිත් නිර්මාණ කටයුතුවලට සිදුවුණු දේම තමයි. සමාජ දේශපාලන වැඩ එක්ක ගීතය වෙනුවෙන් යොදවන්න කාලය නැතිවුණා.”

ඔබ ගැහැනියක්, හුදෙකලාවම ජීවිත ගමන යන. සමාජ දේශපාලන භුමිකාවක ක‍්‍රියාකාරීව වැඩ කරන තනි ගැහැනියකට මුහුණ දෙන්න සිදුවන අභියෝග මොනවද? ඔබ ඒ අභියෝග ජයගත්තා යැයි සිතනවද?

‘‘මම හිතන්නෙ තනිවම ජීවත්වීම මගේ වැඩවලට පහසුවක් වුණා කියලයි. ඒක මට අභියෝගයක් නෙවෙයි. වඩා නිදහස්ව වැඩ කරන්න, සමාජ දේශපාලන වැඩවලට සම්පූර්ණ කාලය වැය කරන්න මට ඒක පහසුවක් වුණා. සමාජයේ අදහසක් තියෙනවා තනි ගැහැනියක් විදියට මේ වගේ ක්ෂේත‍්‍රයක වැඩ කරද්දි ලොකු ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා කියල. මං ආව ගමන දිහා ආපහු හැරිල බලද්දි මට හිතෙනවා මම වැඩබිමට ආවෙ යම් හැකියාවක්, දැක්මක් සහිතව නිසා මට කිසිම දෙයක් අභියෝගයක් වුණේ නැහැ කියල. විශේෂයෙන් මානව අයිතිවාසිකම්, ජනවාර්ගික අයිතීන්, කාන්තා අයිතීන්, මාධ්‍ය නිදහස, අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේ ක්ෂේත‍්‍රවල තමයි මම මාධ්‍ය හසුරුවල තියෙන්නෙ. ක‍්‍රියාකාරිනියක් විදියට වැඩ කරල තියෙන්නෙත් ඒ ක්ෂේත‍්‍රවල. තනියෙන් හිඳීම තුළ මට පැය විසිහතරම වුණත් වැඩ කරන්න නිදහස තිබුණා. පවුල් බැඳීමක් තිබුණෙත් නැහැනෙ. ? දවල් නැතිව මේ විදියට වැඩ කරන තනි ගැහැනියක් ගැන සමාජයේ විවිධ අදහස් තියෙන්න පුලූවන්. මං ගැනත් එහෙම හිතන්න ඇති. මම ගණන් ගත්තෙ නැහැ. මට ඒවා අදාළ වුණේ නැහැ. හොයල බැලූවෙ නැහැ. ඒ නිසාම මට යම් බලයක් ගොඩනැගෙන්නත් ඇති.

රජ රට සේවයෙ වැඩ කරමින් ඉද්දිත් මට හොඳ මිත‍්‍ර සම්බන්ධතා තිබුණා. අදත් ලොකු ප‍්‍රශ්නයක්නෙ මේ තරුණ පිරිසට තියෙන, මාධ්‍ය ක්ෂේත‍්‍රයෙ වෙන්න පුලූවන් වෙනත් සමාජ කණ්ඩායම් තුළ වෙන්න පුළුවන් යහපත් සම්බන්ධතා හමුනොවන එක. විශේෂයෙන් කාන්තාවක් වීම නිසා බලපාන ප‍්‍රශ්න තියෙනවා. දේශපාලනිකව පාවිච්චි කිරීම, ලිංගික බලපෑම් වගේ ගැටලූ. එවැනි දේවල් ඉස්සරත් තිබුණා. මේ තරම් දියුණු සමාජෙක අද වුණත් තියෙනවා. නමුත් මට එවැනි බලපෑම් ආවෙ නැහැ. මම යම් හැකියාවක් එක්ක, දැක්මක් එක්ක වැඩ කරමින් හිටි නිසා වෙන්න ඇති. එවැනි නරක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුනොවුණු එක මට දැන් හරි පුදුමයි. සමානත්වයෙන් සලකන හරිම සමීප මිත‍්‍ර සම්බන්ධතා මට එදත් තිබුණා. මම හිතින් පොහොසත් පුංචි කාලෙ ඉඳන්ම. මට මා ගැන විශ්වාසයක් තිබුණා. මම මාව පහළට දා ගත්තෙ නෑ කවදාවත්. මම ගැහැනියක් කියල මම මට වෙනස්කම් කරගත්තෙ නැහැ. මම කරන දේවල් එක්ක මම කෙළින් හිටියා. ලිවීමෙදි වුණත්, වැඩවලදි වුණත් දක්ෂතාවයෙන්, කැපවීමෙන් මම ඉදිරියෙන් හිටියා. ගමේදි ගෙදරදි වුණත් ස්වාධීනව, නිදහස්ව හිතුවා, වැඩ කළා. ඒ නිසාම මට තනි ගැහැනියක් විදියට ජීවත් වීම අභියෝගයක් වුණේ නැහැ.’’

ළමා වියත්, යොවුන් වියත් අනුරාධපුරයෙ ගත කරලා ඔබ තාරුණ්‍යයෙදි කොළඹට සේන්දු වෙනවා. මේ විදියට ගමෙන් නගරයට සංක‍්‍රමණය වීම අද ඔබට දැනෙන්නෙ කොහොමද?

‘‘මට නගරයට එන්න සිද්දවෙන්නෙ මාධ්‍යවේදිනියක් විදියට. රජරට සේවයෙ 79 ඉඳල 86 දක්වා පිටපත් රචිකාවියක්, නිර්මාණ ශිල්පිනියක් විදියට මම පුලූවන් උපරිමයෙන් මිනිසුන්ගෙ ප‍්‍රශ්නවලට සංවේදීවෙමින් වැඩ කළා. ඒ වැඩ කරන කාලයෙ මම සමාජ වැඩවලත් උන්නා. පාසල් ජීවිතයෙදිත් සාහිත්‍ය කලා කටයුතුවල වගේම ක‍්‍රීඩාවෙදිත් මම ක‍්‍රියාකාරී ශිෂ්‍යාවක්. ගමේ සමිති සමාගම්වලටත් සම්බන්ධ වෙලා ක‍්‍රියාකාරීව කටයුතු කළා. ඒ කාගෙන්වත් අත්දැකීම් ලබලවත්, කවුරුවත් ඉල්ලීම් කරලවත් නෙවෙයි. ඒ විදියට හිතන්න පොළඹවන වටපිටාවක් තිබුණෙත් නැහැනෙ. මානව හිමිකම් සංවිධාන මොනවත්ම නොතිබුණු කාලෙක එහෙම වැඩ කළේ මිනිසුන්ගෙ ප‍්‍රශ්න මට දැනුණු නිසා. මම ඒවට සංවේදි වුණ නිසා. එහෙම වැඩ කරමින් ඉද්දි ‘විවරණ’ සඟරාව පටන් ගන්නකොට එහි සංස්කාරක මණ්ඩලයට මට ආරාධනාවක් ලැබුණා.

ඒ වෙනකොට කොළඹ එන්න මට අදහසක් තිබුණෙ නැහැ. දවස් හතම රජරට සේවයට යමින් හොඳ ජවයකින් වැඩ කරමින් උන්නු කාලයක්. මට ගමේ ඉන්නම ඕන කියල ලොකු හැඟීමක් තිබුණෙත් නැහැ. ඉන්න තැන මට ප‍්‍රශ්නයක් නෙවෙයි. කරන වැඩෙයි වැදගත් වුණේ. ගමේ සුන්දරත්වය ගැන බොහෝ අය වර්ණනා කළත් මට එහෙම හැඟීමක් තිබුණෙත් නැහැ. මං උන්නෙ වියළි ගමක. පාරිසරික සුන්දරත්වයක් දකින්න තිබුණෙ නැහැ. ස්වාධීන පුද්ගලයෙක් විදියට ජීවත් වීමේ අවශ්‍යතාවයි, වැඩ කිරීමේ උවමනාවයි විතරයි මට තිබුණෙ. ඒක කරන්න ගම ද, නගරය ද කියල හිතුවෙ නැහැ. කොළඹට ඇවිත් බෝඩිමක ගෙවුණු මුල් මාස කිහිපය දරන්න හරිම අසීරු වුණා. කොහොමවුණත් ගමේ හිටියෙ හරිම නිදහස් පරිසරයකනෙ. කොළඹ ආවම හැම පැත්තෙන්ම බිල්ඩින්. අහස දකින්න නෑ. බෝඩිං කෑම වුණත් හරිම අමාරුයි. මට දැනුණෙ සිරගත වුණා වගේ හැඟීමක්.

පළවෙනි මාසෙ වැඩ කරල නිවාඩු අරන් කෝච්චියෙ ගමට යද්දි, පැතිරුණු නිල් අහස දකිද්දි මට හරි නිදහස් හැඟීමක් දැනුණා අද වගේ මතකයි. කාලයක් යද්දි මම මේ ජීවිතේට පුරුදු වුණා. විවරණ සඟරාවට අමතරව වෙනත් වැඩවලටත් සම්බන්ධ වුණා. ගමෙන් නගරයට සංක‍්‍රමණය වීම තුළ භෞතිකව සිරගත වීමක් වගේ දැනුණත් ක‍්‍රමයෙන් වැඩවල යෙදෙද්දි ඒ හැඟීම සාමාන්‍යකරණය වෙලා, ඉන්පස්සෙ වැඩ තමයි මගෙ ජීවිතේ වුණේ.’’

සමාජ දේශපාලන ක‍්‍රියාකාරිනියක ලෙස ඉස්මතු වීම නිසා ඔබ තුළ සිටි ලේඛිකාව අකාලයේ මියැදුණා කියල මට හිතෙනවා. ඒ නිර්මාණශීලී, මානව හිතවාදී ලේඛිකාව අතරමඟ අත්හැරීම පිළිබඳව කතා කරමුද?

‘‘මං කළ වැඩත් එක්ක මං හිතපු දේවල් ලියන්න බැරි වුණා. ඒක ඇත්ත. මගේ ජීවිත අත්දැකීම් පරාසය, මගේ හැකියාවන් දන්න අය මාව උනන්දු කළා, පෙළඹෙව්වා වැඩ අඩු කරල ලියන්න කියලා. නමුත් මට ලියන්න බැරිවුණා. මගේ වෙනස ඒක තමයි. සමහරු සමාජ ප‍්‍රශ්න, මානව ප‍්‍රශ්න හැමදේම පැත්තක තියල, ඒවාට ක‍්‍රියාකාරීව දායක නොවී ගෙදරට වෙලා නිර්මාණකරණයේ යෙදෙනවා. මට එහෙම බැහැ. මම හැමවෙලේම රටේ වෙන දේවල් එක්ක සංවේදි වෙනවා. මානව අයිතීන්, කාන්තා ප‍්‍රශ්න, මාධ්‍ය අයිතීන්, ජනවාර්ගික ගැටලූව වගේ කාරණා එක්ක මිනිසාගේ ජීවත්වීමට අහිතකර තත්වයන් මතුවෙද්දි මට නිහඬව ඉන්න බෑ. යුක්තිය වගේ පත්තරයක වැඩ කරද්දිත් ‘පත්තරයකට වඩා වැඩි යමක්’ කියන එක තමයි අපේ තේමාව වුණේ්. පත්තර කලාවෙන් ඔබ්බට ගිහින් අපි පත්තරය තුළිනුත් ක‍්‍රියාකාරීව වැඩකළා. සමාජ ව්‍යාපාර හැදුවා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හැදුවා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භයේ සිට අද දක්වා අඛණ්ඩවම ඉන්න ක‍්‍රියාකාරී සාමාජිකාව මම. සාමාජිකයත් මම. තනතුරුත් දරල තියෙනවා. දැනටත් කැඳවුම්කාරිනිය විදියට වැඩ කරනවා. යුතුකමක්, වගකීමක් විදියට හිතල සමාජය වෙනුවෙන් වැඩ කරද්දි මගේ නිර්මාණ කටයුතු යටපත් වුණා. ඉඳහිට සාහිත්‍ය කලා නිර්මාණ රස විඳින්න අවස්ථාවක් ලැබුණම මගේ ඇතුළෙ ඉන්න සාහිත්‍යකාමී ගැහැනිය මතුවෙනවා. මටත් මෙහෙම දේවල් ලියන්න පුලූවන්නෙ, මේ අත්දැකීම් මටත් තියෙනවනෙ කියල හිතෙනවා. නමුත් ලියන්න වෙලාව නැහැ. ඒ දේවල් කරගන්න බැරි වුණා කියල දුක් වෙලා වැඩකුත් නැහැ. කරන්න බැරි වුණ බොහෝ දේවල් තියෙනවා.’’

ඔබ මාධ්‍යවේදිනියක්, සමාජ දේශපාලන ක‍්‍රියාකාරිනියක් විදියට දන්නා හඳුනන සහෘද පිරිසෙන් බහුතරයක් ඔබේ සාහිත්‍ය කලා කටයුතු ගැන දන්නෙ නැහැ. ඒ සීතා රංජනී නම් වන සාහිත්‍යවේදිනිය සිදු කළ නිර්මාණ කාර්යයන් ගැන සිහිපත් කරනවනම්?

මගේ ආරම්භය කවිය. පාසල් වියේ මම ලියූ කවියකට අනුරාධපුර දිස්ත‍්‍රික්කෙන් පළමු තැන ලැබුණා. මම කවිය එක්ක බැඳෙන්නෙ එතැනදි. 1972 දි කවියට පළමු සම්මානය ලැබුණෙ. රජරට සේවයෙ ඉද්දි ගුවන්විදුලි නාට්‍ය පිටපත්, ගී රචනා ගොඩක් ලියවුණා. ළමා නාට්‍ය, ගීත නාටක, විචිත‍්‍රාංග, කාන්තා වැඩසටහන් විශාල ප‍්‍රමාණයක් රචනා කළා. මේ හැම නිර්මාණයකම පිටපතක් මා ළඟත් තිබුණා. 88-89 භීෂණ කාලෙ මං කොළඹ ජනවාර්ගික අයිතීන්, මානව අයිතීන් වෙනුවෙන් වැඩ කරමින් උන්නා. ගෙදර අය බයවෙලා කිසිම ඇහිල්ලක්, බැලිලක් නැතිව මගේ සියලූම දේවල් ගිනි තියල තිබුණා. ඒ දවස්වල දුරකථන පහසුකම් තිබුණෙත් නැහැ. මගේ නිර්මාණ ජීවිතයේ මුල් අවදියෙ කළ සියලූ වැඩ ගිනි දෙවියාට බිලි වුණේ එහෙමයි. මගේ උනන්දුවක් නැතිකම නිසාත් සමහර නිර්මාණ නැතිවුණා. දැන් ඉන්න ගෙදරට ගං වතුර දාලත් සමහර නිර්මාණ විසිකරන්න සිද්දවුණා. රජරට සේවයෙ ප‍්‍රදර්ශනයකට තියන්න ළමා ගී, කවි, ගුවන්විදුලි නාට්‍ය වගේ අත්පිටපත් පහක් විතර කරල තිබුණා, ඒ ටික මම කොළඹ එද්දි අරන් ආව නිසා ආරක්ෂා වුණා.

හැත්තැ ගණන්වල ලියමින් උන්නට 93 දි තමයි මගේ පළමු පොත පලවෙන්නෙ. ඒ පළමු කවි පොත ‘කතා කරන ගිනිදළු’. 86 ඉඳන් 93 දක්වා සමාජ දේශපාලන වටපිටාව ඇසුරු කරගෙන, ඝාතන සංස්කෘතියට විරුද්ධව ලියවුණු කවි. ඒකත් සමාජ වැඩක්. මගේ වැඩවලම පිළිබිඹුවක්. ‘කතා කරන ගිනිදළු’ කවිය රිචර්ඞ් ද සොයිසාගෙ ආදාහනයෙන් පස්සෙ කොළඹ කනත්තෙ ඉඳල ඒ අහසට නැගෙන ගිනි දළු දිහා බලන් ඉඳල ගෙදර ඇවිත් ලිව්ව කවිය. සංකලන කියල සංස්කෘතික සඟරාවක් කළා ජනවාර්ගික අර්බුදය පදනම් කරගත්ත. ඒකෙ සංස්කාරිකා සටහන කියල මං හැමවෙලේම ලිව්වෙ කවියක්. ඒ කවි තමයි මේ පොතට ඇතුළත් වුණේ.

එයට සමාන්තරව තව කවි පොතක් කළා ‘දෝංකාරය - යුදබිමෙන් උපන් කවි’ කියල. ඒක දෙමළ කවි කිවිඳියන්ගෙ කවිවල පරිවර්තනයක්. මම ඒක කරන්නෙත් මගේ වැඩවල කොටසක් විදියට. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සිංහල ජනතාව දැනුවත් කරන්න, සංවේදී කරන්න සංකලන සඟරාවේ පළ කළ කවි එකතුවක්. දෙමළ කවි කිවිඳියන්ගේ නිර්මාණ හොයාගෙන භාෂාව ගැන දන්නා අයගෙන් උදව් අරගෙන බොහොම අමාරුවෙන් පරිවර්තනය කරගත් කවි තමයි මේ කෘතියට ඇතුළ් වුණේ. ‘යක්කු’ කියන කෙටිකතා පොත එන්නෙත් එහෙම.

98 දි මං අසනීප වෙනවා. පැහැදැලිවම කියනවනම් පිලිකාවකට ගොදුරු වෙනවා. අදට වඩා දරන්න හරිම අමාරු කාලයක්. ඒ බරපතලම අභියෝගයට මං මුහුණ දුන්න විදිය තමයි ‘තිත්ත කවියකට පෙරවදනක්’ කියන ආඛ්‍යාන කාව්‍යය. එදා කිමියෝ තෙරපි කරල මං හොඳටම අමාරුවෙන් උන්නෙ. ගෙදරත් තනියෙන්. ‘දැන් ඉතින් ඇති’ කියන හැඟීමෙන් තමයි එදා රැුයේ මං ඇඳේ වැතිරුණේ. ඒත් එක්කම මට හිතුණා මේ විදියට උන්නොත් මට ආයෙ නැගිටින්න බැරි වෙයි කියල. මං ඉක්මණින් නැගිට්ටා. ලියනව කියල හිතාගෙන මේසෙ ළඟ වාඩි වුණා. කොලයක්, පෑනක් ගත්තා. ඒ මහා වැස්සක් කඩාවැටුණු රාත‍්‍රියක්. මගෙන් ලියවුණේ කවියක්. මා තුළ ඉන්න කිවිඳිය, සමාජ ක‍්‍රියාකාරිනිය ඔක්කොම අවදිවෙලා ඒ කාව්‍යාඛ්‍යානය ලියන්න මාව පෙළඹෙව්වා.

රජ රට සේවයට ලියූ ගුවන් විදුලි නාට්‍ය එකතු කරල ‘බැරි බර’ නමින් කෘතියක් කළා. යුක්තිය පුවත්පතට ලියූ කතාවක් තමයි ‘රාමන්’. එය දෙමළ ගරිල්ලා භටයකුගේ කතාවක්. ‘තංගම්මා’ කියල ළමා ගී පොතක් කළා. සාම ක‍්‍රියාවලියට දරුවන් සංවේදී කිරීමේ අදහසින් ලියවුණූ ගීත එකතුවක්. ‘තංගම්මා එක්කල’ කියන ගීතය ලියවුණේ රජරට සේවයෙ ඉද්දි. ඒ ගීතය ජනප‍්‍රිය වුණා. ගොඩක් වැඩවලදි භාවිතා වුණා. පොත නම්වුණෙත් ඒ ගීතය අනුව.

මාධ්‍යයට අදාළව කළ සමීක්ෂණයක් ඇසුරු කරගෙන ‘අදහස් ඝාතනයේ ගොදුරු’ කියල කෘතියක් කළා. ඒක සාහිත්‍ය කෘතියක් නෙවෙයි. සුනාමියට පසුව කාන්තාවන් මුහුණ දුන් අභියෝග පිළිබඳව ‘සුනාමි කාන්තාවෝ’ කියල කෘතියක් කළා. මීට අමතරව සමාජ, මාධ්‍ය කටයුතුවලදි කළ පර්යේෂණ තියෙනවා, තීරු ලිපි එකතුවක් තියෙනවා. තවම කෘති විදියට පළ කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. මීළඟට පළවෙන්නෙ සැප්තැම්බර් 06 වෙනිදා එළිදක්වන මගේ ගීත ඇතුළත් ‘මල් වරුසා’ ගීත පොත.’’

‘තිත්ත කවියකට පෙරවදනක්’ කාව්‍යාඛ්‍යානය ඔබ ලියන්නෙ ජීවිතයේ බරපතල කඩඉමකදි. දැන් ආයෙමත් ඔබ එවැනිම අභියෝගයකට මුහුණ දී සිටිනවා. මහා ධෛර්යයකින් ඔබ මේ සියල්ල දරාගන්නවා. ඒ ධෛර්යවන්ත ගැහැනිය උපදින්නෙ කොහොමද?

ඒක තමයි, මීට කළින් කළ ගුවන් විදුලි වැඩසටහනකදි ඩබ්.ජයසිරිත් ඔය ප‍්‍රශ්නය ඇහුවා ‘ඔයාට මේ ශක්තිය එන්නෙ කොහෙන්ද?’කියල. මගෙන් ගොඩක් අය අහනවා ඒක. මම ‘තිත්ත කවියකට පෙරවදනක්’ ලියනවා මගේ ජීවිතේ අමාරුම අවස්ථාවක. එදා මාව බලන්න එන අයගෙ ඇස්වල මාව මැරෙයි කියන බය මම දකිනවා. නමුත් මම ඒ මරණය බාරගන්න ලෑස්ති වුණේ නැහැ. මේ සමාජය වෙනුවෙන් තවදුරටත් වැඩ කරන්න ඕන කියන හැඟීම මට දැනුණා. මේ සමාජයෙ සිදුවුණ දේවල්, සිද්දවෙන දේවල් මම ඒ කාව්‍යාඛ්‍යානයෙන් කියනවා, ඒ දේවල්වලට ප‍්‍රතිචාර දක්වන්න ජීවිතය එක්ක මං ඉන්න ඕන කියන හැඟීම තමයි එය ලියද්දි මට ප‍්‍රබලව දැනුණෙ. මුල්වරට අසනීප වෙලා දැන් අවුරුදු 18 ක්. එදා ප‍්‍රතිකාර නිමවීමත් එක්ක මම විවේක ගත්තෙ නැහැ. බොහොම අවිවේකී වැඩ රැුල්ලක උන්නා. මානසික සහනයක් තිබුණෙ නැහැ. අපිට එහෙම ඉන්නත් බැහැ. සමාජ ක‍්‍රියාකාරීන් විදියට සහ සමාජ ගැටලූවලට සංවේදී කෙනෙක් විදියට අහක බලාගෙන ඉන්න බැහැ. ඒ ප‍්‍රශ්න සම්බන්ධයෙන් අපි කම්පනය වෙනවා. ඒවට විරුද්ධව සටන් කරනවා. ලියනවා. වැඩ කරනවා. පහුගිය කාලය තුළම අපි ගොඩක් මර්දනයන් එක්කනෙ ජීවත් වුණේ. ඒවත් එක්ක ලොකු ආතතියකින් වැඩ කළේ. කළින් අසනීපයම ඊටත් වඩා බරපතල විදියට දැන් මාව හොයාගෙන ඇවිත් තියෙනවා.

එදා මං අසනීප කාලය තුළ කාව්‍යාඛ්‍යානය ලිව්වා. අද සන්නිවේදනයේ දියුණුවත් එක්ක අසනීප වුණා කියල පැත්තකට වෙලා නිදහස්ව ලියන්න අවස්ථාවක් නැහැ. කම්පියුටර් එකත් එක්ක අදටත් මං වැඩවල යෙදිලා ඉන්නෙ. මේ සැරේ අසනීප වෙලා රෝහල්ගත වුණාමත් මම ලැප්ටොප් එක අරන් ගිහින් මාධ්‍ය නිවේදන නිකුත් කළා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනිය විදියට. එදාට වඩා අද මාධ්‍යවේදීන්ට නිදහසක් තියෙනව තමයි. නමුත් මේ ආණ්ඩුව වුණත් අත්තනෝමතික විදියට වැඩ කරන අවස්ථාවලදි අපට නිහඬව ඉන්න බෑ. ප‍්‍රතිචාර දක්වන්න වෙනවා. එදාට වඩා අද හොඳයි කියල හිතල නිහඬව උන්නොත් තත්වය බරපතල වේවි. ඒ වගේම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රති සංවිධාන කටයුතු, ප‍්‍රතිපත්ති සම්බන්ධයෙනුත් අපි යම් වැඩකොටසක් කරමින් ඉන්නවා. මේ සියලූ කටයුතු එක්ක මට මේ සැරේ අසනීප වුණයි කියල විවේකයෙන් ඉන්න ඉඩක් ලැබුණෙ නැහැ. ඒ නිසාම නිර්මාණ කාර්යයක් සිදුවුණෙත් නැහැ. මේ වසරත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වගකීම ඉටුකරල ඉදිරියෙදි නිදහස් වෙන්න ලැබේවි. සමාජ වැඩවලින් අයින් වෙනවා කියල ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ. ජීවිතය මට තව කාලයක් ලබා දුන්නොත් මම නිර්මාණ කාර්යයේ මට මගහැරුණු අවස්ථා යම්තරමකින් හරි පුරවන්න බලාපොරොත්තු වෙනවා. මගේ ජීවිතේ හරස්කඩක්, මගේ ජීවිතයේ අත්දැකීම් ලියන්න බලාපොරොත්තු වෙනවා. බලමු මට ජීවිතය තව ටිකක් කාලය දුන්නොත්.

මේ අවස්ථාවෙදි ඔබ විශේෂයෙන් සිහිපත් කරන්නට කැමති යමක් තියෙනවද?

මට පවුල් බැඳීම් නැහැ. මගේ සහෝදර සහෝදරියන් උණත් ඉන්නෙ අනුරාධපුරයෙ. එයාලට නිතරම මාව බලන්න එන්න විදියක් නැහැ. කළින් අසනීප අවස්ථාවෙදි වගේම ඊටත් වඩා මේ මොහොතෙ මගේ ළඟින් ඉන්නෙ මගේ මිතුරු මිතුරියො. කාලයක් මා එක්ක වැඩ කළ අය වගේම වැඩවලදි මා එක්ක නොසිටියත්, මාව තේරුම්ගත්ත සමීප පිරිසක් මගේ ළඟින් ඉන්නවා. ඒ මං කරන වැඩ අගය කරලා, මගේ ජීවිතයට සංවේදී වෙලා මාව ජීවත්කරවන්න වෙහෙස දරන පිරිසක්්. මේ මිත‍්‍ර සම්බන්ධතා මට ලොකු ශක්තියක්. තනිකඩ ගැහැනියක් වුණත් මං තනිවෙලා නැහැ කියල දැනෙනවා. මං සමාජයට යමක් දුන්න නම්, සමාජය වෙනුවෙන් යමක් කළා නම් එය කොහෙන් හෝ පෙරළා මට ලැබෙනව. වැඩ කළා මිස අපි සල්ලි හම්බ කළේ නැහැනෙ. සමාජය වෙනුවෙන් කළ දේවලට පෙරළා මට ලැබෙන මේ ආදරය, ශක්තිය තමයි මා ඉතිරි කළ ධනය.’’

සීතා රංජනී සමඟ කළ සංවාදය නිමාවේ දී මසිත රැව් දුන් රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ ගී පද කිහිපයක් ඔබ හමුවේ තබන්නට සිත් වෙයි.

‘‘ලොව දුන්නු දේවල් අද අපට හෙට ලොවට පෙරළා දිය යුතුයි.
ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි.’’

සංවාද සටහන - තරුරසී ප‍්‍රනාන්දු
(lankanewsweb)

Last modified on Tuesday, 30 August 2016 11:52