Sunday, 16 June 2019
මගේ ගමන මම හිමින් යනවා

මගේ ගමන මම හිමින් යනවා Featured

ප්‍රවේගය චිත්‍රපටයෙන් මෙරට සිනමා අඹරේ තරු වරම් ලැබූ උදාරි පෙරේ‍රා විවාහක විශ්ව රූ රැජන තරගාවලිය නියෝජනය කිරීම සඳහා පසුගිය දා ශ්‍රී ලාංකේය විවාහක රූ රැජන ලෙස අභිසෙස් ලබන්නට සමත් වුණා.

කිරුළක හිමිකාරිනිය නිසා දැන් බොහොම ආඩම්බරයි වගේ ?

UdariPerera1 600px 16 08 27අනේ කිසිම ආඩම්බර කමක් නැහැ. මේ දවස් වල හුස්ම ගන්නවත් වෙලාවක් නැතුවයි ඉන්නේ.

එච්චරටම කාර්යබහුලයිද?

ඔව්. තව දවස් නවයයි මට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ විවාහක විශ්ව රූ රැජන තරගය නියෝජනය කරන්න. මේ දවස් වල ඒ තරගයේදී මං ඉදිරිපත් කරන අංග ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඒ සැළසුම් එක්ක බොහොම කාර්ය බහුලයි.

මෙවැනි තරගයක පෙර අත්දැකීම් උදාරිට තිබෙනවාද ?

නැහැ. ඇත්තටම මේ තමයි ජාත්‍යන්තර මට්ටමේ තරගයකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව.

පළමු අවස්ථාවම කිරුළ ඔබ සතු වීමේ ඒ සතුට අපි වචන වලට පෙරළමු නේද?

මුල සිටම තරගය මට ආධුනිකයි. ඒ නිසා මට සියලු දේ ඉගෙන ගන්න වුණා. අවසානේදී අති දක්ෂ තරගකාරිනියන් දස දෙනකු අභිබවා අධුනික මට කිරුළ දිනා ගැනීමට හැකී වීම ගැන ඉතාමත් සතුටුයි.

UdariPerera2 600px 16 08 27

ඒ සතුට කා සමගද මුලින්ම බෙදා ගත්තේ?

පවුලේ අය එක්කයි.

උදාරි මේ තරගයට යොමු වෙන්නේ කොහොමද?

මට හීන තිබුණා. මගේ එක හීනයක් වුණේ ගුවන් සේවිකාවක්, ඉන් පසු ව්‍යාපාරික කාන්තාවක්, ඊළඟට තිබුණේ කිරුළක් හිමි කරගන්න තිබුණා නම්.. කියන හීනය. මුල් හීන දෙක සෑබැ කරගන්න පුළුවන් වුණත් මගේ තුන්වැනි හීනේට යොමු වෙන්න වෙලාවක් නැතුව හිටියේ. ඉතින් ඒ වගේ නොසිතු වෙලාවක මේ තරගයට යන්නමයි කියලා මගේ යාළුවෝ සෑහෙන්න මට පෙරුත්ත කළා, දිරිමත් කළා. ඔවුන්ගේ කීමට තමයි අන්තිම මොහො‍තේ ගිහින් අයදුම් කළේ.

ජයග්‍රහණයට ජනප්‍රියත්වයත් ආභරණයක් වෙන්න ඇතියි?

මෙවැනි තරගයදී ප්‍රධාන වශයෙන් ජයග්‍රහණය තීරණය වෙන්නේ අපි අපේ පෞරුෂය ගොඩ නඟා ගන්න විදිහ අනුවයි. ඉතින් එවැනි තරගයකට හොඳින් මුහුණ දිය යුතුයි. ගුවන් සේවිකාවක්, ව්‍යාපාරිකාවක් සහ රංගන ශිල්පිනියක් ලෙස මට තිබු අත්දැකීම් මේ තරගාවලිය තුළ මගේ පෞරුෂය වර්ධනය කරගනිමින් හොඳින් මුහුණ දීමට මට අමතර සුදුසුකමක් වුණා. නමුත් ජනප්‍රිය වුණා කියලා මෙවැනි කිරුළක් දිනන්න බැහැ.

UdariPerera4 600px 16 08 27කිරුළ සමග උදාරීගේ ඉදිරි බලාපොරොත්තු?

මගේ රටට මට හැකි පමණින් ජාත්‍යන්තර කීර්තියක් අත් කර දීම මගේ ලොකුම බලාපොරොත්තුවයි. ඒ හැරුණාම චයිල්ඩ් සයිකලොජි ගැන හදාරන්නත් දැන් මගේ හීනයක් තියෙනවා. ඒ තුළින් මට හැකි වේවි ලංකාවේ පිඩාවට පත් වූ දරුවන් වෙනුවෙන් සේවයක් කරන්න.

ප්‍රවේගයෙන් පසු උදාරි කියන නිළිය බොහොම නිහඩයි?

ප්‍රවේගය රිලීස් වෙලා තවම වසරයි. ඒ කෙටි කාලය තුළ මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. ව්‍යාපාරිකාවක් ලෙසත් මගේ ප්‍රතිරූපය ගොඩනගා ගත්තා. වසරක් කියන්නේ ලොකු කාලයක් නෙමෙයිනේ. නමුත් දැනටමත් බෙනට් රත්නායකයන්ගේ 'නෙලා' කියන චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්නේ.. ඉතින් බොහොම පරිස්සමෙන් මගේ ගමන මම හිමින් යන්නයි බලාපොරොත්තුව.

පුංචි තිරයේ තරුවක් වෙන්න අදහසක් නැද්ද?

මම කැමැතියි. නමුත් මගේ පුතා තවම පුංචි නිසා දුර පළාත් වල ගිහින් දවස ගණන් කැප වෙන්න තරම් කාලය මිඩංගු කරන්න තවම අපහසුයි. නමුත් මේ සියල්ල සැළසුම් කර ගෙන හොඳ නිර්මාණයකදි අනිවාර්යෙන් දායක වේවි.

ටානියා මෝසස්

 

 

UdariPerera3 600px 16 08 27

Last modified on Saturday, 27 August 2016 14:39