Friday, 13 December 2019
'නිවන් යන්නත් සල්ලි ගෙවලා යන්න ලෑස්ති පිරිසක් අද ඉන්නවා'

'නිවන් යන්නත් සල්ලි ගෙවලා යන්න ලෑස්ති පිරිසක් අද ඉන්නවා'

පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙල අවස්ථාවේ දී අගමැතිතුමනි කලාව කන්නද? වැනි අපූරු පුවරු ඉදිරිපත් කරමින් කලාකරුවන් නිර්මාණාත්මක ලෙස විරෝධයක් පෑවා. කලාවෙන් සමාජයකට සිදුකරන බලපෑමත් කලාව ලංකාව තුළ ක්‍රියාකාරීවන ස්වභාවයත් ප්‍රවීණ කලාකාරුවකු ලෙස ඔබ දකින්නේ කොහොමද?

මම හිතන්නේ ඕනෑම රටක කලාව යොදා ගැනෙන්නේ ඒ රටේ ජීවන සංස්කෘතියත් සමග බද්ධ වෙලා. කලා සංස්කෘතිය කියන්නේ ජීවන සංස්කෘතියේ එක අංගයක්. ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන සංස්කෘතිය ගොඩනැගිලා තිබෙන හා එය පරිණාමය වී තිබෙන ආකාරය බැලුවාම ලෝකයේ වෙනත් රටවල එය පරිණාමය වූ ආකාරයට ම සිදුවී නැති බව සිතෙනවා. මොකද තවමත් අපේ සමාජය පැරණි වැඩවසම් ආකල්ප මත වටිනාකම් ගොනුවුණු සමාජයක්. මේ පැරණි වැඩවසම් සමාජයේ තිබෙන ලක්ෂණ සමග කලාවේ පැවැත්මක් නැහැ. උදාහරණයක් ලෙස අපේ රටේ තදින් කුලභේදය තිබුණා. එයම තමයි කලාව තුළත් දකින්නට ලැබෙන්නේ. මෙම වැඩවසම් චින්තනයෙන් යුතු මිනිසුන් සහිත පාලනයක් තුළ කලාකරුවකුට හිමි තැන ලැබෙන්නේ නෑ. ඒ අයව රකින ක්‍රමයක් නෑ.

උඩින් පල්ලෙන් කරන දේ මිස සමාජයේ හරයාත්මක දෙයක් ලෙස කලාව භාවිත වෙන්නේ නැහැ. ලංකාවේ කලාවේ තැන අරන් තියෙන්නේ ආගම. බුද්ධාගම හෝ වෙනත් ආගම්වල පිරිස් තමයි කලාකාරයන් වෙනුවෙන් අද පෙනී සිටින්නේ. ඒ නිසා හැම තැනදීම පෙරහැරට නැට්ටුවෝ යොදා ගැනීම වැනි දේ තමයි කලාව කියලා ඒ අය හඳුන්වන්නේ. එතැනින් මිදිලා යන්න කලාවට නිදහසක් නැහැ. මොකද මිනිස්සු ආධාර කරන්නේ පන්සල්වලට හා පල්ලිවලට. කලාව වෙනුවෙන් කලාකරුවෙක් වෙනුවෙන් මිනිස්සු පරිත්‍යාග කරනවා දැකලා නෑ. අහන්න ලැබිලා නෑ.

වෙනත් රටවල ඒක එහෙම නෙමෙයි. ලෝකයේ අනෙක් රටවල් වුණත් ආගම්වලින් අන්ධ භක්තියෙන් සිටි යුගයක් තිබුණා. ඒ නමුත් ඒ රටවල යම් සමාජ පරිණාමයක් සිද්ධවුණා. පුනර්ජීවනයෙන් මිනිසුන්ගේ සිතුවිලි වෙනස්වීමක් සිද්ධ වුණා. එහි ප්‍රතිඵලය ලෙස කාර්මික විප්ලවය ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කුලභේදය වැනි දේ නැතිවී ඉඩම් හිමි ධනපතීන්ගේ බලය නැති වුණා. සමාජයේ කිසිවකු තවත් අයකුට ඉහළින් යා නොහැකි ලෙස සමපාත වුණා. ඒ අනුව කලාකරුවන්ට විශාල ඉඩක් හිමිවුණා.

පල්ලියට දින ගණනක් නොපැමිණියොත් ඒ අයගේ මළමිනිය පල්ලියේ භූමදාන කරන්න දුන්නේ නෑ. පසුව වෙනත් ස්ථානවල භූමදානයෙන් හෝ දැවීම මගින් පල්ලිය සමග තිබුණු බන්ධනය නැතිවුණා. යුරෝපයේ හෝ වෙනත් රටවලට ගිය අවස්ථාවල පෙනෙනවා ඒ රටවල පල්ලිවලට මිනිස්සු එන්නේ නෑ. ඒත් මිනිස්සු කලාව වෙනුවෙන් කලා සංගම් පිහිටුවලා, සංස්කෘතික ආයතන පිහිටුවලා ආගමේ ස්ථානය කලාව බවට පත් වී තිබෙනවා. කලාව තමයි අද ඒ මිනිස්සුන්ව මෙහෙයවන්නේ. කලාවත් එක්ක වෙනමම සංස්කෘතියක් ගොඩනැගී තිබෙනවා. අපේ රටේ නාට්‍යයක් නරඹන්න හරියාකාර නාට්‍ය ශාලාවක් නැහැ. සිනමාවට හරියාකාර සිනමාශාලාවක් නැහැ. ඒත් අර සමාජවල කලාවේ විශාල ප්‍රබෝධයකින් මිනිසුන්ව අල්ලාගෙන තිබෙනවා. අද ආගම වෙනුවට ඒ රටවල භාවිත වෙන්නේ කලාවයි.

ලංකාව තුළ කලාව හා කලාකරුවා වෙනුවෙන් රාජ්‍යය දක්වන දායකත්වය පිළිබඳ සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. කලාව හා රාජ්‍යය අතර පවතින මේ විරසකය මොකක්ද?

නෙළුම් පොකුණ වැනි ස්ථානයක සාමාන්‍ය කලාකරුවකුට කවදාවත් නාට්‍යයක් පෙන්වන්න බැහැ නේ. ඒ සඳහා අධික මුදලක් ගෙවිය යුතුයි. ඒ තාක්ෂණය අද වේලෙනවා. ඒවා අද ප්‍රයෝජනයට ගන්නේ ව්‍යාපාරිකයෝ. එසේ නොමැති නම් රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන දේ සඳහා එය යොදා ගන්නවා. සාමාන්‍ය කලාකරුවාට එතැනට පය තබන්න බැහැ. මේ රටේ කලාව පිළිබඳ අධිපතිවාදය සහ කලාකරුවා අතර තිබෙන සම්බන්ධය ඒක තමයි.

වීදි නාට්‍ය කිරීමට සහ ශාලාවෙන් පිටතට නාට්‍ය ගෙනයෑම සදහා විකල්ප යෝජනා ඇති වෙනවා. ඒ පමණින් එය සිදුවන්නේ නැහැ. ලෝකය ගමන් කළ ගමන් මගක් තියනවා. ඒ ගමන් මගේ යන්න සූදානම් නැත්නම් අපි යන්නේ ආපස්සට. ආපස්සට යෑම ඒතරම් හොඳයි කියලා මම නම් හිතන්නේ නැහැ. පුළුවන් තරම් නූතනත්වයට යා යුතුයි.

අපේ රටේ දේශපාල නඥයන් කලාකරුවන් ඉහළට ගන්න කැමති නැහැ. කලාකරුවන් ඉහළට ආවාම දැනට තිබෙන සමාජ ස්ථර සම්පූර්ණයෙන් ම වෙනස්වීමට ලක්වන බව ඒ අය දන්නවා. මිනිසුන් ඒ හරහා හිතන්න පටන්ගෙන ස්වාධීන පුද්ගලයන් බවට පත්වෙනවා. දැනට ලංකාවේ වෙලා තියෙන්නේ මිනිස්සු හිතන පතන එක වෙනස් කරන්න ඉඩදෙන්නේ නැති එකයි. ක්‍රමානුකූලව වැඩවසම් ආධිපත්‍යය නැවත අපේ රටවල උඩට ඇවිත් තිබෙන බව අපට පෙනෙනවා. සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් වූ අවස්ථාවේ සිට එම තත්ත්වය වර්ධනය වෙලා දැන් නැවතත් යෑමට උත්සාහ කරන්නේ පැරණි රජ ආකල්පයටයි.

බෞද්ධයන් වුවත් අප පිළිගත යුතුයි, බෞද්ධ දර්ශනය කියන දේ නෙමෙයි අද මිනිස්සු අතර පැතිරිලා තියෙන්නේ භක්ති පූජා කියන දේ. මහා භක්ති පූජාවලින් මිනිස්සු අන්ධ වෙලා. මිනිස්සු දන්නේ නෑ කොහේද යන්නේ කියලා. නිවන් යන්නත් සල්ලි ගෙවලා යන්න ලෑස්ති පිරිසක් අද ඉන්නවා. එහෙම සමාජයක මොකද්ද කලාව කරන්නේ. නාට්‍ය උළෙලක් පවත්වාගෙන යන්න බැරිවුණා කියන්නේ ඒ සමාජයේ විශාල කඩාවැටීමක්. කලාවට හිමි ස්ථානය පිළිබඳ එය සංකේතයක්. ඒ සඳහා වූ තීරණ ගැනීමට මේ වන විට අපට හැකිවිය යුතුයි. කලාව පිළිබඳ, සංස්කෘතිය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය මොකද්ද කියන දේ තිබිය යුතුයි. ඒත් එහෙම එකක් නැහැ.

ලංකාව තුළ බොහෝ විට සංස්කෘතික අංශය වර්ගීකරණය කිරීමට පුරුදු වී තිබෙන්නේ ඉතිහාසය, පුරාවිද්‍යාව හා නටබුන් පිළිබඳ අංශයක් ලෙසයි.

සංස්කෘතිය කියන දේ නිරන්තරවම වෙනස්වන දෙයක්. සංස්කෘතිය හැදෙන්නේ ඓතිහාසික වශයෙන් ගෙන ආ සාරයන් නූතනත්වයත් සමග ගොනුවීමට හැකි නම් පමණයි. ලංකාවේ ඓතිහාසික මූලයන් ඒ විදියටම ආගම, ජාතිය, කුලය කියන දේ සමඟ තිබෙනවා මිසක නූතනත්වයත් සමග එකතු වෙන්න ඒ දේවලින් ඉඩදෙන්නේ නැහැ. ඒ නිසා තමයි පොඩි කලබලයක් ඇති වූ විටත් ජාති, ආගම්, කුලවාද ඇති වන්නේ.

රෝම ජාතික නාට්‍යකරුවකු වූ ප්ලෝටස්ගේ විශිෂ්ටම නාට්‍යය ලෙස සැලකෙන මිනැක්මොයි නාට්‍යය අනුවර්තනයෙන් ඔබ නිර්මාණය කරන තාරාවෝ ඉගිලෙති නාට්‍යය ප්‍රථමවරට වේදිකාගත වන්නේ 1981 වසරේදීයි. එහි ඇතුළත් සෝබාව දේ වැනි ගීත මගින් එවකට මෙරට තුළ පාලකයන් විසින් මවා දැක්වීමට උත්සාහ කළ ආර්ථික, වාණිජ විපර්යාසය උපහාසයට ලක් කරනවා. එවැනි නිර්මාණ හරහා සමාජය වෙත සිදුවන බලපෑම කුමක් ද?

රෝම නාට්‍යයක් ලංකාවේ ප්‍රථම වරට අනුවර්තනයෙන් තමයි එම නාට්‍යය නිර්මාණය වුණේ. එහි කතා කරන්නේ දූෂිත රටක් පිළිබඳව. අපි පුංචි කාලයේ අහලා තිබුණු ඉතා දූෂිත රටක් තමයි සිංගප්පූරුව. ඒ නිසා මම එය සිංගප්පූරුවේ වූ සිදුවීමක් ලෙස එහි යොදා ගත්තා. සිංගප්පූරුව පිළිබඳ අසා තිබූ යම් යම් දේ සිතින් මවාගෙන තමයි මේ නිර්මාණය සිදු කළේ. මට අවශ්‍ය කළේ සිංගප්පූරුවක් වෙනවා කියන අර්ථයෙන් එය මිනිස්සුන්ගේ ජීවිතවලට කොහොමද බලපාන්නේ කියන දේ පෙන්වා දීම. තාරාවෝ ඉගිළෙති නාට්‍යයේ තිබෙන්නේ මිනිසුන්ගේ පොදු තත්ත්වයක්. හුදු දැකීමෙන් පමණක් මිනිසුන් හඳුනාගැනීමෙන් ඇතිවිය හැකි විපාක තමයි නාට්‍යයේ මූලික තේමාව. ඒත් මම දේශපාලන ප්‍රවෘත්තියකුත් කියන්න එය යොදා ගත්තා.

1977 කාලයේ මේ රට සිංගප්පූරුවක් කරනවා කියලා දේශපාලනඥයකු දේශපාලන පොරොන්දුවක් දුන්නා. ඊට පෙර සිංගප්පූරු අගමැතිතුමා ඒ පොරොන්දුව සිංගප්පූරු ජනතාවට දුන්නා ඔහුට බලය ලැබුණොත් සිංගප්පූරුව ලංකාවක් කරනවා කියලා. ඒ උත්ප්‍රාසය තමයි මම එහිදී යොදා ගත්තේ. මොකද සිංගප්පූරු අගමැතිවරයා එහෙම ප්‍රකාශයක් කර අවුරුදු 25කට පමණ පසුව අපේ රටේ දේශපාලනඥයෙක් කියනවා ලංකාව සිංගප්පූරුවක් කරන බව. නාට්‍යයේ ගීත නිර්මාණය කළේ සම්පූර්ණයෙන්ම දේශ පාලන අර්ථයෙන්. එම නාට්‍යය අද දක්වාත් අවුරුදු 35ක් තිස්සේ සාර්ථක ලෙස වේදිකාගත වෙනවා.

ඔබ ගීත රචනයට පිවිසෙන්නේ සිංහල ගීත වංශයේ සශ්‍රීක යුගය ලෙස සැලකෙන හැත්තෑව දශකයේ. එදා බිහි වූ ගීත තුළ රසාස්වාදයට අමතරව මානව සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් ගැඹුරු දර්ශනයකුත් ගැබ්ව තිබුණා. එහෙත් අද සුලබව අසන්නට ලැබෙන්නේ නොසැලකිලිමත් ලෙස වචන ඇමිණූ පදමාලා.

අපි ගීත රචනා කරන කාලේ ලංකාවේ තිබුණේ එකම ශ්‍රව්‍ය මාධ්‍යයයි. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. අපි නිර්මාණය කළ ගීත බොහෝ විට ශ්‍රව්‍ය මාධ්‍යයෙන් අහලා එයින් සිතුවිලි පුබුදු කරගෙන ඒ ඔස්සේ හිතන්න පුළුවන් වන ආකාරයේ නිර්මාණ වුණා. ඒ ගීත ඒ කාලයේ මිනිස්සු හොදින් අහලා ඒ ගීත හොඳින් විඳීම තුළින් චිත්ත රූප මවා ගන්නවා. එදා මිනිස්සුන්ට හිතන්න මතන්න ඉඩක් තිබුණා.

හැත්තෑ හතෙන් පසුව ඇති වූ මාධ්‍ය ජාල තුළ මාධ්‍ය කියන සංකල්පය අද වනවිට නැතිවෙලා යනවා. විද්‍යුත් හෝ මුද්‍රිත හෝ ජනමාධ්‍ය කියන සංකල්පය ගිලිහිලා ගිහින් ඒ වෙනුවට ගුවන්විදුලි ව්‍යාපාර හා රූපවාහිනී ව්‍යාපාර ඇති වෙනවා. අද මේ හැම මාධ්‍යයක් ම ව්‍යාපාරික මධ්‍යස්ථාන. ඒ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය නැහැ, අර්ථයෙන් මිනිසුන් දැනුවත් කරන හෝ හිතන්න මතන්න පුරුදු වන හරවත් දේ කරන්න. අද බොහෝ මාධ්‍ය හරහා කරන්නේ මිථ්‍යාව වැපිරීම. අන්න එතැනයි ගැටලුව තියෙන්නේ. අපට ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් නෑ. මෙහෙම ජනමාධ්‍ය හැසිරෙන වෙනත් රටවල් ලෝකයේ නෑ. සමහර අවස්ථාවල අපි දකිනවා මාධ්‍යවල අපේ ගීත විකෘති කරලා තියෙනවා.

කලා නිර්මාණයක කොපිරයිට් එකක් එහෙම නැත්නම් ප්‍රකාශන අයිතිය කියන්නේ මොකක්ද?

ලෝකයේ මියුසික් සම්බන්ධව නම් ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ කොපිරයිට් එක දී තිබෙන්නේ සංගීත රචකයාට සහ ගීත රචකයාටත් එම රචනය නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන ප්‍රකාශකටත් යන තුන්දෙනාට. මුළු ලෝකයම කටයුතු කරන්නේ ඒ ආකාරයටයි. ගායකයා හෝ ගායිකාව කියන පුද්ගලයාට තිබෙන්නේ පර්ෆෝමන්ස් රයිට් හෙවත් ප්‍රාසංගික අයිතිය කියන දේ. එය වෙනම කාර්යයක්. එම නිසා ඒ දෙක ඒ අය රයිට් ලෙස භාරගෙන තිබෙන්නේ වෙන් වෙන්වයි. දැන් ලංකාවේ සිටින සමහර ගායක ගායිකාවෝ හිතන්නේ කොපිරයිට් කියන දේ ඒ අයටත් තිබෙනවා කියලායි. එතැනයි මේ අවුල ඇති වී තිබෙන්නේ. ඒ අය කැමති නැහැ ලෝකයේ තිබෙන විදියට වැඩ කරන්න. ඒ නිසා තමයි මේ අරගල කරන්නේ.

ලෝකයේ අනෙකුත් රටවල ක්‍රියාත්මක වන ප්‍රකාශන අයිතිය ලංකාවේ කලා නිර්මාණ සඳහා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තිබෙන අර්බුදයක් කුමක් ද?

අද වනතුරු නිර්මාණයකට කොපිරයිට් එකක් නැති රටක් මේක. නූතන ලෝකයේ රටවල එක්දහස් අටසිය පනස් ගණන්වල සිට එය ක්‍රියාත්මක වෙනවා. මුළු ලෝකයම යන ගමනේ අපි නොගියොත් අපි ලෝකයෙන් වෙන්වෙනවා. මේ හේතුව නිසා මේ රටේ සිටින ව්‍යාපාරිකයන්, මාධ්‍ය ආයතන අයිතිකරුවන්, හෝටල් අයිතිකරුවන්, ගුවන් සමාගම් අයිතිකරුවන් විසින් මිලියන ගණනක කොපිරයිට් එකක් අහිමි කර තිබෙනවා. එයට වගකිවයුත්තේ මේ රටේ ඒ අපයෝජනයට සම්බන්ධ වී සිටින සමහර කලාකරුවන්.

ලංකාවේ 1979 වසරේ බුද්ධිමය දේපළ පනතක් ආවා. කොපිරයිට් වෙනුවෙන් ලෝක සංවිධානයක් තියනවා. එය පුද්ගලිකව එක් රටක සිදුවන දෙයක් නොවෙයි. මේ කොපිරයිට් එක ලබා ගන්න නම් ලෝක සංවිධානයක සාමාජිකයෝ විය යුතුයි. එවිටයි එය ක්‍රියාත්මක වන්නේ. ඒත් මේ රටේ එදා සිටි කලාකරුවන්ට මෙය ග්‍රහණය කරගැනීමට අවශ්‍යතාවක් හා උවමනාවක් තිබුණේ නැහැ. මොකද පොදු මාවතකට යන්න බොහෝ දෙනා කැමති නැහැ. ඒ නිසා සිදුවුණේ කොපිරයිට් කියලා ලංකාවේ බුද්ධිමය දේපළ කාර්යාලයේ වැරදි ආයතන ලියාපදිංචි වීම. ඒවා කොපිරයිට් සමාගම් ලෙස ලියාපදිංචි වුණත් ලෝක බුද්ධිමය දේපළ සංවිධානය මේවා ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් ඒ අය ලංකාවේ විවිධ වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වූවා. ඒ හරහා මේ රටේ කලාකරුවන් පිරිසක් දැනුවත් කිරීමටත් උත්සාහ කළා. ඒත් කිසිවෙක් ඊට උනන්දුවක් දැක්වූවේ නැහැ. ඒ නිසා අද වනතුරු ලෝක බුද්ධිමය දේපළ සංවිධානය සමග එකතුවෙලා සිදුවන කොපිරයිට් සංවිධාන ඇති කරගන්න බැරි වී තිබෙනවා.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානය කියූ ආකාරයටම අපි එවැනි සංවිධානයක් පිහිටෙව්වා. එය පිහිටුවූ දවසේ සිටම, කොපිරයිට් අපයෝජනය කළ හැම බලවේගයක්ම එකමුතු ව සිටින ස්ථානයකින්, අපි නිවැරදිව සිදු කිරීමට යන දේට විශාල බාධක ඇති කළා. පසුගිය දා වාණිජ ඇමතිතුමාගේ ලේකම්තුමා මෙම ගැටලුවලට විසඳුමක් ලෙස ලෝක බුද්ධිමය දේපළ සංවිධානය පවසා තිබෙන ආකාරයටම වැඩ කිරීමට එම ආයතනවලට නියෝග කළා. දැන් එය ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම්.

ඉඳුනිල් උස්ගොඩආරච්චි

(රාවය)