Sunday, 22 September 2019
ජවිපෙ ඉන්නේ පට්ට මෝඩයෝ -රවි කරුණානායක

ජවිපෙ ඉන්නේ පට්ට මෝඩයෝ -රවි කරුණානායක Featured

ලස්සන නමක් තියෙද්දි ඇයි වෙන නමකින් දේශපාලනයට ආවේ?

ඒ කිව්වේ..?රවීන්ද්‍ර කියන්නෙ නැතිව රවි කිව්ව එකද?

Ravi 4ඔවු ඔබට ලස්සන නමක් තියෙනවා නේ?

දිග නම් ටිකක් අමාරුයි. ඒ නිසා රවි කරුණානායක කියලා පාවිච්චි කළා.

රටේ ලොකු පුටුවට යද්දි ජාතිය ආගම බලපානවා?

නෑ මම දේශපාලනයට ආවේ අහම්බෙන්. ඒ අවස්ථාව මම මගේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න යොදා ගත්තා.

අවුරුදු කීයෙදිද දේශපාලනයට ආවේ?

පාර්ලිමේන්තුවට ආවේ අවුරුදු 30 දී. දේශපාලනයට ආවේ අවුරුදු 20 ඉඳලා.

ඔබ ඇතුලත්මුදලිගේ ගෝලයෙක්ද?

ඔව්.

දැන් කිව්වොත් ඔබට වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරන්න පුළුවන්ද?

මම 1994 ඉඳලා හැම අවුරුද්දෙම වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කරන්න බැරි අය තමයි චෝදනා කරන්නේ.

යූඇන්පී ය ඇතුළේ පන්ති පරතරයක් තියෙනවා. පක්ෂයේ ඉහළට එන්නත් පන්ති පරතරය බලපානවා නේද?

නෑ. එජාපයේ එහෙම පන්ති පරතරයක් නැහැ. සිත් තුළ තමයි එහෙම බාධක තියෙන්නේ. හැබැයි පක්ෂය බොහොම විවෘතයි.

අදහසක් තියෙනවාද කවදාහරි පක්ෂ නායකයෙක් වෙන්න?

මට හිතෙන්නේ රනිල් වික්‍රමසිංහ ඉදිරි අනාගතය බොහොම සාර්ථකව කරගෙන යනවා.

ඉතිහාසයේ පළමු වතාවට මුදල් අමාත්‍යාංශයට බැංකු ටික අහිමි වෙනවා?

ඒක අගමැතිතුමාගේ තීන්දුවක්. අපි ඒක බාධාවක් කියලා සලකන්නේ නැතිව කටයුතු කරගෙන යනවා. ප්‍රශ්නයක් නෑනේ... මොකද අපට තියෙන්නේ කණ්ඩායම් ස්වරූපයේ ප්‍රතිපත්තියක්.Ravi 1

මුදල් අමාත්‍යාංශය කියන්නේ රටක හදවත. බැංකු නැති එක හානියක් නෙමෙයිද?

එහෙම අවශ්‍ය නැහැ. අපි ආදායම් හොයන තැන් ඔක්කොම එකට තියෙන එක හොඳයි. හැබැයි එහෙම නැති වුණා කියලා බාධාවක් නැහැ. මම හිතන විදියට මෑත ඉතිහාසයේ කිසිම මුදල් ඇමැතිවරයෙක් මේ තරම් බාධා මතින් ඇවිල්ලා මේ තරම් පොරොන්දු ඉටු කරලා නෑ. අපේ දවස් සියයේ වැඩපිළිවෙළේ 97%ක් අපි ක්‍රියාත්මක කළා. ඒවා එදාට විතරක් නෙමෙයි අදටත් වලංගුයි. රාජපක්ෂ පන්සලෙන් පන්සලට ගිහින් රගපෑවට අපි ගත්ත ආර්ථීකය එදාට වැඩිය අද ජීවන වියදම අඩුයි. ඊටත් වැඩිය අඩු කරන්න අපි කැමැතියි. නමුත් කැමැත්ත සහ ප්‍රායෝගිකව කළ හැකි දේ වෙනස්.

සමාජ ජාලා වෙබ් අඩවි ඇතුලේ ඔබව සෑහෙන්න විවේචනය වෙනවා නේද?

ඔව් ඉතිං වළං හෝදන කෙනාගේ අතින්නේ වළං බි‍දෙන්නේ. සමහරු උපක්‍රමශීලීව වැඩපිළිවෙළ ගෙනියනවා.

දින සීයේ අයවැයේදී රොබින් හුඩ් වුණු ඔබ දෙවැනි අයවැයේදී වැට් මෑන් වුණා. දැන් බැට් මෑන් ඇයි මේ?

ඕවා එහොම තමයි. අපි ප්‍රජාතන්ත්‍රවාදීව මේවා එකට භාරගන්න අවශ්‍යයි. ඔක්කොම හොඳ කියන්නත් බැහැනේ.

සමාජජාල මාධ්‍යයෙන් පිටවෙන්නේ මුලින් කියපු දේවල්වල නොගැලපීම් නෙමෙයිද?

නැහැනේ. වැට් මෑන් බැට් මෑන් වුණා කියලා කියන්නේ යම් විදියකින් විශ්ම ක්‍රියාවක් කරනවා කියන එක. බැට් මෑන් කරන්න බැරි දේවල්නේ කරන්නේ. අන්න එහෙමයි මම ඒක තේරුම් ගත්තේ.

වැට් මෑන් කියලා හඳුන්වාදීමෙන් එළියට එන්නේ වැට් එකට තියෙන සැබෑ ජනතා විරෝධය නෙමෙයිද?

ඉතිං වැට් එකට බනින්න අවශ්‍ය නම් කරුණාකරලා රාජපක්ෂට බනින්න. මෙච්චර හෙණගහන ආර්ථීකයක් භාරදිලා කිසිම බයක් නැතිව රුපියල් සීයේ ව්‍යාපෘතියට ලක්ෂයක් කියලා අන්තිමට ඒ ණය තමයි මේ ජනතාව ගෙවන්නේ.

මහින්දව අයින් කරලා වෙනසකට ගියේ මේ ටික කරන්නද?

අයින් කළා කියලා සේරම ඉවත් වුණේ නෑ. දායාදය අපිට දීලා එහෙම යන්න බෑ. සාමාන්‍ය විදියට දුවන්න තිබුණ අපි අද බරක් උස්සගෙන දුවනවා.

හදවත් සැත්කමට, ෆාමසියෙන් ගන්න බෙහෙත් ටිකට, හැම එකටම වැට් වදිනවා. වැට් එකේ සීමාව මොකක්ද?

Ravi 2ඉතිං අවශ්‍ය නැත්නම් වැට් ගහන තැන්වලට යන්න එපා. මේක මේ ගෙවන්න හැකියාව තිබෙන අය ගෙවන එකක්. අද 50%ක් ඉන්නේ රුපියල් 250ට වඩා අඩුවෙන් හොයන යුගයක්.  මේ අයට රස්සා දෙන්න ඕනේ, කන්න බොන්න දෙන්න ඕනේ. ඉතිං ආදායමක් තියෙන අයට මේකට ගෙවන්න පුළුවන්. එහෙම නැතිව නැති මිනිස්සුන්ගෙන් ගන්න බැහැනේ. අපි ගිහිල්ලා පික්පොකට් ගහන්නේ නැහැ.

ලංකාවේ මධ්‍යම පන්තිය නිර්මාණය කරලද ඉන්නේ?

ඔව්. අපි තමයි ඒ මධ්‍යම පන්තිය හැදුවේ. 72-77 කාලේ සම්පූර්ණයෙන්ම මධ්‍යම පන්තිය නැති කරලා තිබුණේ. ඒ ආරම්භ කරපු සමාජය තමයි කිසියම් පීඩනයකට ලක්වෙලා කියලා හිතන්නේ. ඒත්  මම හිතන විදියට දැන් තියෙන තත්ත්වය තමයි, කාටවත් රස්තියාදු වෙන්න ඕනේ නෑ. පගා ගෙවන්න ඕන නෑ. තිබුණ පීඩනයන් අඩු කරගෙන යන ගමනක් අපි යන්නේ.

ඇත්තටම ඔය දේ වෙනවද?

වෙන්නැත්නම් මට කියන්න කොහෙද එහෙම වෙන්නේ නැත්තේ කියලා.

ඔබ ඉදිරිපත් කළේ වෙන කාගෙවත් අයවැයක් කියලා වරක් කියනවා. ඇත්තටමඑ ඒක ඔබේ අයවැයක් නෙමෙයිද?

මගේ තමයි. මං ඉදිරිපත් කළේ වෙන කාගෙවත් අයවැයක් නෙමෙයිනේ

නමුත් ඔබ කිව්වා මේක රනිල්ගේ අයවැයක් කියලා?

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.

අසාධාරණ ලෙස බදු අය කරන්න එපා කියලා ජනාධිපතිතුමා කියලා තියෙද්දිත් බදු ගහන්නේ එතුමට රිද්දන්නද?

ජනාධිපතියි අගමැතියි කියන දේවල් තමයි අපි කරන්නේ. ඊට අභිබවා යන්න පුළුවන්ද අපිට? කියන දේ සහ ක්‍රියාත්මකවන දේ අතර ඇතිවන ඒකමතිකතාවෙන් තමයි මේ ගමන යන්නේ. මේක අපි පත්කරපු ජනාධිපතිවරයෙක් සහ අපි පත්කරපු අගමැති වරයෙක්ගේ සහයෝගයෙන් රට පාලනය කරන්න ලැබුණ හොඳම අවස්ථාව. මේ අවස්ථාවට බාධා කරන්නේ නැතිව, මේ ආණ්ඩුවට හෙණ ගහන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැතිව කටයුතු කරන්න කියලයි මට කියන්න තියෙන්නේ.

විවේචන කරන වැඩි දෙනා ඇගිල්ල දිගු කරන්නේ ඔබට. ඇයි මේ?

ඒකනේ ඔය විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ලා අනාගත්තේ. ඇගිල්ල දික් කළා. අන්තිමට විශ්වාසභංග යෝජනාව විශ්වාසයක් බවට පත්වුණා.Ravi 5

ඇයි මේ ඔක්කොම චෝදනා රවීට විතරක්?

පල තියෙන ගහටලූනේ ගල් වදින්නේ. ඒවට අපි සූදානම්. මහින්ද රාජපක්ෂගේ කාලෙත් අපිට ගැහුවේ. අපි නැවෙන්නේ නැහැ. කරන වැඩේ ජනතාව වෙනුවෙන් සද්භාවයෙන් කරනවා.

කවදාහරි ආණ්ඩුව පෙරළුණොත්, ඔක්කොම චෝදනා ඔබේ කරපිටින් යයි නේද?

ඒක වෙන්නේ නැහැ. වුණා කියලා ගැටලූවකුත් නැහැ. එහෙම වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. අපි වංචා කරලත් නැහැ.

දේශපාලනය කියන්නේ හොඳ බිස්නස් එකක් නේද?

යම් අයට එහෙම හිතෙනවා ඇති. එහෙම කරන අයත් ඉන්නවා. දේශපාලනය බිස්නස් එකක් කරනොගත්ත අපිටත් ඒ ලේබලය අලවන එක අසාධාරණයි.
දේශපාලනය බිස්නස් එකක් කරගන්න අදහසක්වත් නෑ?

කවදාකවත් එහෙම කරන්නෙත් නෑ. එහෙම කරන්න අවශ්‍යත් නෑ.

මෑතකදී සීනි ගෝනියක සගවලා තිබුණ කුඩු වගයක් ඇල්ලූවා. ඒ කියන්නේ තවමත් කුඩු බිස්නස් වෙනවා?

රාජපක්ෂ කාලේ එන ආනයන තමයි ඔය හොර හොරාට එන්නේ. දැන් නිල බලයෙන් ඕවා ගෙන්වන්නේ නැහැ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවල වාර්තා වුණේ එක එක ගණන් හිලව්. ඇත්තම ගාණ කීයද?

මිලියන 250යි. ඒ කියන්නේ කිලෝ 90යි.

රාජපක්ෂ ගොඩට දාලා ඇග බේරගන්න එක ආණ්ඩුවේ හැටියක් නේද?

ඉතිං ඒකනේ ඇත්ත. ඒ ආණ්ඩුවේ මහින්ද, ගෝඨාභය, චමල්, බැසිල් නැත්නම් මේ රට පාලනය කළේ වෙන කවුද? ඒවා ගැන ඇමැතිවරයෙක්ටවත් කතා කරන්න හැකියාවක් තිබුණේ නෑ. එකම එක්කෙනාටයි ඒ හැකියාව තිබුණේ. ඒ තමයි මෛත්‍රීපාල සිරිසේන.

ඒත් හැම එකටම මහින්ද රාජපක්ෂගේ වැඩ කියලා ඇග බේරගන්නේ ඇයි?

Ravikarunanayaka1 600px 03 08 16ඒකේ ඇත්තක් තියෙනවා. අපේ ණය බරතාව 2015 ජනවාරි මාසයේ ගන්නකොට බිලියන 1784යි. අද මේක 9800යි. මේ විදියට පස් ගුණයකින් වැඩි වුණේ එයා හින්දා තමයි. සාමාන්‍යයෙන් පාරක් හදන්න ඩොලර් බිලියන 10ක් යනවා නම් ඒ වියදම බිලියන 25ක් වුණා. කවුද ඒකට වගකියන්නේ? අපි හුළගට බැණලා වැඩක් නැහැනේ. නමක් කියන්න ඕනේ. තාජුඩීන්ගේ සිද්ධිය වුණත් කලක් යනවා එළිවෙන්න. අපි බල්ලගේ වැඩේ බූරුවා කරන්නේ නැහැ. උසාවියේ වැඩේ උසාවිය කරනවා. පොලිසියේ වැඩේ පොලිසිය කරනවා.

දේශපාලනඥයන්ට එන චෝදනා වර්ග දෙකයි. එකක් ගෑනු ප්‍රශ්න. අනික සල්ලි ප්‍රශ්න. මං හිතන්නේ ඔබට තියෙන්නේ සල්ලි ප්‍රශ්න?

මට කියන්න මම එක සතයක් වංචා කරලා තියෙන්නේ කොහෙද කියලා. ඉහළ නිලතල දරනකොට ඔය වගේ චෝදනා එනවා. මට සතොස හොරා කිව්වා. දැන් පේනවානේ හොරා කවුද කියලා. මිලියන 500ක් ආයෙත් ගෙවන්නවෙලා තියෙනවා. මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි හොරකම නතර කරන එක. ඒ තරම් හොරු ඉන්නවා. හොරකම නවත්වන්න යන ගමනට බාධාවන් එනවා මිසෙක ඒකට කිසි උදව්වක් ලැබෙන්නේ නැහැ.

හොරකම පටන්ගත්තේ යූඇන්පීය නෙමෙයිද?

නෑ..

ලංකාවේ දේශපාලනය බිස්නස් එකක් කළේ යූඇන්පීය නෙමෙයිද?

යූඇන්පීය තමයි මේ රටේ ආර්ථීකය හැදුවේ. ඒකත් එක්ක වැරදි ක්‍රියා වෙන්න පුළුවන්. එතනදි සමස්තයක් ලෙස යූඇන්පීයට බැණලා වැඩක් නැහැ.
කොයි ආණ්ඩුවත් බලයට ආවම කලින් ආණ්ඩුවට බණිනවා?

සම්ප්‍රදායිකව එහෙම බනිනවා. හැබැයි නම් කරලා කියන්නේ නැහැනේ. අපිට කරන චෝදනා එකක්වත් එලියට ඇවිල්ලා කරන්නේ නැහැනේ. ඔක්කොම පාර්ලිමේන්තුව ඇතුළේ වරප්‍රසාද රැකගෙන කියන්නේ. එළියෙදි කිව්ව නම් උසාවි යනවා. එහෙම උසාවි ගිහින් මම නඩු 4ක් දිනලා තියෙනවා.

අනුර කුමාර පාර්ලිමේන්තුවෙන් පිටතදී කිව්වා රවි කරුණානායක නිසා ලංකාවට ලක්ෂ 47000ක් පාඩු වුණා කියලා

නෑ. නෑ. එයා ඒක එළියෙදි කිව්වේ නෑ. ඇතුළේ කියපු එක එළියට ප්‍රකාශ කළා.

නෑ . ඒ වීඩියෝවේ තිබුණේ පාර්ලිමේන්තුවෙන් පිටතදී කරන ප්‍රකාශයක්

එයා ඒ චෝදනාව කළේ පාර්ලිමේන්තුවෙදි. එයාට කොන්දක් නෑ. ජවිපෙ ඉන්නේ පට්ට හොරු ටිකක්. යුනියන් එකේ කට්ටිය තමයි ඕක කළේ.ravi6

ඒගොල්ලන්ට ලැබෙන වරප්‍රසාද අඩුවුණා කියලා හරි පගාව අඩුවුණා කියලා හරි තමයි ඕක කළේ. මම ඕවා තුට්ටුවකට ගණන් ගන්නේ නෑ. මම බලන්නේ ජනතාවගේ ආදායම වැඩි කරන්න. නිලධාරීන්ට දෙන සල්ලි ප්‍රමාණය ජනතාවට ලැබෙන විදියට අපි කටයුතු කළා. ඔය ප්‍රාඩෝ ටික නිසා ලක්ෂ 25ක් රජයට වැඩිවුණා. මම දැම්ම දඩයක් නිසා දඩය අඩු වුණා කියලා ආදායම අඩුවුණාලූ. රේගුවේ වැඩ කරන තරුණ තරුණියන්ව මම මේ වෙලාවේ අගය කරනවා. ජ්‍යෙෂ්ඨයන්ව අගය කරනවා. ඕනම තැනක කළු බැටලූවො ඉන්නවා. එයාලා තමයි විකෘති කරන්නේ. ජනාධිපති ළගට ගියා. අන්තිමට මොකක්ද කියන්න පුළුවන් වුණේ?

ඒ වීඩියෝ එකේ මෙහෙම තියෙනවා..

ඔච්චර වෙලාව නාස්ති කරන්න එපා ඔය කියන හාදයා ගැන.

මට හිතුණා මේක පාර්ලිමේන්තුවෙන් පිටතදිත් කියන්න. එහෙම කියලයි අනුර ඒ කතාව කියන්නේ. දැක්කෙ නැද්ද ඇමැතිතුමා ඒ වීඩියෝ එක?
නෑ.. මම දැක්කෙ නෑ.

ඒ කියන්නේ අනුර කුමාර කියන දේවල් වැඩක් නැද්ද?

තුට්ටු දෙකකට ගණන්ගන්නේ නෑ. ඔය නිකන් අපි එක්ක හිනා වෙවී ඉන්නවා. උදේට බනිනවා. එයාගේ දේශපාලනෙත් කරන්න එපැයි.
පාතාලය එක්ක සම්බන්ධතා පවත්වනවද?

කවුද? අනුර කුමාරද?

නෑ ඔබ ?

මට මොකටද? මට ඕනතරම් දේශපාලනඥයෝ ඉන්නවා. ඕනතරම් ආධාරකරුවෝ ඉන්නවා. පාතාලය කියන්නේ වෙනම ලෝකයක්. අපි ඒ ලෝකයේ නැහැ.

සාමාන්‍යයෙන් දේශපාලනයට පාතාල සම්බන්ධතා තිබෙනවා?

ඒ සාමාන්‍ය දේශපාලනයනේ. මම කරන්නේ අසාමාන්‍ය දේශපාලනය.

ඡන්ද කාලේ ඒ වගේ සිදුවීමක් නිසා තුන්දෙනෙක් ඝාතනය වුණා?

අපිට හානි කරන්න කටයුතු කළා. ඒක චරිත ඝාතනයක් විතරක් නෙමෙයි සැබෑ ඝාතනයකට තිබුණ වුවමනාව.

විශ්වාසභංගය ජයග්‍රහණය කරලා එළියට එද්දි පන්දාහේ කොළවලින් මාලයක් දානවා නේද?

ravi7මම දන්නේ නෑ. මම ගෙදර යන එකේ ඕවා බලන්නේ නැහැනේ. මොන මාලයක්ද මගේ බෙල්ලට වැටුණේ කියලා මම බලන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ කැමැත්ත අනුව දාලා තියෙනවා.

එහෙම මාලයක් දැම්මේ නෑ?

ඔයානේ කියන්නේ. මං දන්නේ නෑ. ඒ වෙලාවේ රෑ නිසා පේන්නෙත් නෑ. එකක් නෙමෙයි සීයක් විතර දැම්මානේ.

ඉස්කෝලේ ගියේ රෝයල්?

ශාන්ත තෝමස් කනිශ්ඨ විද්‍යාලයට සහ රෝයල් එකට

යූඇන්පීය ඇතුළේ රෝයල් බල කඳවුරක් තියෙනවා නේද?

ඒක ඉතිං පාසලේ දක්ෂතාව නිසා ලැබුණ දෙයක්. ඒකට පාසලට බැණලා වැඩක් නැහැනේ. අනිත් පාසල් රාජකීය මට්ටමට ගේන්න අපි කටයුතු කරනවා. කලෙන් කාලෙට ඕක වෙනස් වෙනවා. එක කාලෙක ඔය බලය තිබුණේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට.

මීළග අගමැති වීමේ සුදුසුකම ඔබට තිබෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

මම හිතන එකට වැඩිය අනිත් අය අපි ගැන හිතන එකනේ වැදගත්. අපේ අදහස වෙන්න පුළුවන්. නමුත් ඉතිං අපේ පක්ෂයේ නායකතුමා සහ පක්ෂයේ තීරණය බලන්න අවශ්‍යයි. අපි හිතුවට වැඩක් නැහැ. මම හිතන විදියට අපිට හොඳ අගමැති කෙනෙක් ඉන්නවා. හොඳ නායකයෙක් ඉන්නවා. එතුමට තව අවුරුදු 20ක් 25ක් රට පාලනය කිරීමේ හැකියාව තියෙනවා.

මම කිව්වොත් ඊළගට එන්නෙත් වික්‍රමසිංහ පරපුරේ කෙනෙක් කියලා?

වික්‍රමසිංහට පරපුරක් නැහැ. ඔය කියන්නේ කවුරු ගැනද? ඒකනේ මට රකින්න පරපුරක් නැහැ කියන්නේ.

ඔබට මාධ්‍ය ආයතනයක් තියෙනවද?Ravi 7

නෑ.

ඉරුදින පත්තරේ ඔබේ නේද?

නෑ මගේ නෙමෙයි.

ඔබේ අයවැය ප්‍රකාශය කීප වතාවක්ම සංශෝධනය කරන්න සිදුවුණා. කවුද මේක ඇතුළේ බලපෑම් කරන කණ්ඩායම?

එහෙම තමයි. ඕනම නම්‍යශීලී ආණ්ඩුවක් ජනතාවගේ  ඉල්ලීම්වලට ඇහුම්කන් දෙනවා. ඒක බාධාවක් නෙමෙයි.

ඇයි එහෙනම් වැට් සම්බන්ධ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන්නේ?

හැම එකටම ඇහුම්කන් දෙනවා. ඊට පස්සේ මූලිකත්වය දියයුතු දේවල්වලට මූලිකත්වය දෙනවා. පඩිගෙවන්නේ නැතුව, සෞඛ්‍යයට වියදම් කරන්නේ නැතිව, ඉස්කෝල වලට වියදම් කරන්නේ නැතිව, රාජපක්ෂ ගත්ත ණය ගෙවන්නේ නැතිව ආණ්ඩු කරන්න පුළුවන්ද?

ආණ්ඩුවේ මූලික ආදායම් මාර්ගය බදු ආදායමද?

නැත්නම්. ඔව්

ඔබතුමන්ලා ගැහුවේ වක්‍ර බදු. ඒ නිසා පීඩාවට පත්වුණේ සාමාන්‍ය ජනතාව?

කොහොමත් ගෙවන්නේ ජනතාව තමයි. එක්කෙනෙක් ගෙව්වත් සීයක් ගෙව්වත් ලක්ෂයක් ගෙව්වත් ජනතාව තමයි. අපිත් ඒ ජනතාව. බදු ගහනවා වගේම අපිත් බදු ගෙවීමේ කොටස්කරුවෝ. ඔබ කියනදේ හරි. ඒත් එතැනට එන්න තව කල් යනවා.

ඒ කියන්නේ රටේ මූලික ආදායම බදු?

ආදායම හොයන ක්‍රම හතරයිනේ තියෙන්නේ. ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව සහ වෙනත් ලියාපදිංචි කළ ව්‍යාපෘති. ඒක මේ රටේ විතරක් නෙමෙයි. කොයි රටෙත් එහෙමයි.

රටේ නිෂ්පාදනය වැඩි කරන්න අදහසක් නැද්ද?

ඒක තමයි අපි කරගෙන යන්නේ. රටේ දළ දෙශීය නිෂ්පාදන වර්ධන වේගය පළමු කාර්තුවේදී 5.6ක් කළා.

මහින්දගෙන් ආණ්ඩුව ගන්නකොට රටේ ආර්ථීක වර්ධන වේගය කීයද?

කලින් පුම්බලනේ තිබුණේ. හරියට ගණන් හැදුවම 4.2 යි.

දැන්?

5.6 ක්

මහ බැංකු බැඳුම්කර වංචාව දෙවැනි වතාවටත් සිදුවුණා කියලා මාධ්‍ය වාර්තා කළා?

Ravi 8මම දන්නේ නෑ. පත්තරවල නිකන් ඔහේ ලියනවා. මොකක්ද කොහෙද කාගෙද කියලා කියන්නේ නැහැ.

එහෙම වංචාවක් වුණේ නෑ?

මම දන්න විදියට නෑ.

ඔබතුමාට අදාළ ආයතනයක් නේද?

නෑ. මට අදාළ නෑ.

මහ බැංකු නිලධාරියා පත්කිරීම සම්බන්ධයෙන් ගැටලූවක් තියෙනවා?

ඒක ජනාධිපතියි අගමැතියි කතාකරනවා.

ඔබත් ඒ වෙනුවෙන් බලපෑමක් කරනවාද?

මම පොඩි නට් එකක්නේ.

විෂයභාර ඇමැතිවරයා විදියට වගකීමක් තියෙනවා නේද?

ඔව්. වගකීමක් තියෙනවා. නමුත් මේ පත්කිරීම් කරන්න ඕනේ ජනාධිපතිතුමා සහ අගමැතිවරයා. ඔවුන් මාව දැනුවත් කරාවි.

යූඇන්පීයේ කුණුටික අදින්නේ ඔබද?

අපිට වැඩිය කුණු නෑ. හැබැයි අදින්න තියෙන කුණු ඇදලා ඉවර කළාට පස්සේ ඒක ඉවරයි.

ඒකේ ප්‍රතිඵලත් ඔබට තනිවම භුක්ති විඳින්න වෙයි නේද?

ප්‍රතිලාභයක් නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිහානියක් නම් තමයි ගැටලූව.

මම කියන්නේ ප්‍රතිහානිය ගැන?

මම හිතන්නේ නෑ. පක්ෂය සීඝ්‍ර සංවර්ධනයකට රට ගෙනියනවා. ඒකේ ප්‍රතිලාභයක් මිසක් ප්‍රති හානියක් නැහැ.

ත්‍රීවීලර් ගෙන්නලා සිදුවුණ හානිය අපි දැක්කා. ඒකෙම ඊළග පියවර විදියටද මේ පොඩි වාහනයක් ගේන්න හදන්නේ?

රෝද තුනට වඩා රෝද හතර හොඳයිනේ. ඒක රෝද තුනේ ගාණටම ගෙන්වන්න පුළුවන් නම් කොච්චර හොඳයිද?Ravi 9

රටකට වාහනයක් ගෙන්වද්දි දෙතුන්පාරක් හිතන්න ඕනේ නේද?

එච්චර හිතන්න ඕනේ නෑ. හිතන්න ගිහින් තමයි තවමත් ගල් යුගයේ ඉන්නේ. අපි නිර්මාණශීලීව ඉදිරියට යන්න අවශ්‍යයි.

ඒ කියන්නේ වාහනයක් ගෙන්වද්දි රටට හිතකරයිද නැද්ද කියලා හිතන්න ඕනෙත් නැද්ද?

නෑ. ඔහොම කලබල වෙන්න අවශ්‍ය නෑ. රෝද තුන වෙනුවට රෝද හතර එන එක කොයිතරම් හොඳයිද.

අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලය දික් කිරීම සාධාරණයිද?

මම හිතන්නේ ඔහු වැඩක් කරලා තිඛෙනවා. ඔහුට අසාධාරණ ලෙස චෝදනා කරනවා. ඒ චෝදනා මම පිළිගන්නේ නැහැ. කියනවා හොරකමක් වුණා කියලා. ඒත් ඒ කොහෙදිද? මොනවාද කිසි දෙයක් කියන්නේ නැහැ.

ඉතිං මහින්ද හොරා කියන එකත් ඒ වගේ වෙන්න බැරිද?

මහින්ද රාජපක්ෂගේ ඔක්කොම හොරකම් අල්ලලා තියෙනවා. එයාගේ සූරියවැව මිලියන 1100, මිලියන 4500යි. පාර බිලියන 90 නෙමෙයි බිලියන 220යි. හම්බන්තොට 86 යි කියපු එක 219යි.

එහෙනම් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි?

අපේ ආණ්ඩුව බල්ලගේ වැඩේ බූරුවා කරන්නේ නැහැ. ඒවට අදාළ ආයතන තියෙනවා.

අයවැය හොඳයි කියන්නත් කැම්පේන් කළේ ඇයි?

සමහර වෙලාවට මාධ්‍යම කියනවා දැනුවත් කරලා මදි කියලා. මෙතන කිසිම මුදලක් වියදම් කරන්නේ නැතිව තමයි ඒ දේවල් කළේ.

ඇඩ්වර්ටයිසින් ඒජන්සිවලට සල්ලි ගෙව්වේ නෑ?

ගෙව්වෙ නෑ කියන්න බෑ. අපි කිසියම් දැනුවත් කිරීමක් සිදුකළේ.

ඡන්දෙ කාලෙත් වැඩියෙන්ම වියදම් කළේ ඔබ නේද?

Ravi 9ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි මට එහෙම කිසිම අවශ්‍යතාවක් තිබුණේ නෑ. මම හිටියේ ජනතාව එක්ක. මම ඊයේ පෙරේදා ආපු කෙනෙක් නෙමෙයි.

මනාප පොරයක් තිබුණේ නෑ?

තියෙන්න ඇති. මට දැනුණේ නෑ.

ජීවන වියදම අඩුයි කිව්වට දරාගන්න බැරි ජීවන වියදමකින් ජනතාව පීඩා විඳිනවා?

අද දරාගන්න බැරිනම් ඒ කාලේ කොහොමටවත් දරාගන්න බෑ. මොනවද ඔය කියන වියදම්?

දෙහි ගෙඩියේ අමුමිරිස් කරලේ ඉඳලා ගණන් ගිහින්?

ඔබ දවසට දෙහි ගෙඩි කීයක් පාව්ච්චි කරනවද? අමු මිරිස් කරල් කීයක් පාවිච්චි කරනවද? අපි පෙට්‍රල් අඩු කළා මාළු ටින් අඩු කළා. ගැස් අඩු කළා. පිටි අඩු කළා. ඕවා කියන්නේ නැහැනේ.

මම කියන්නේ රටේ පහළ ස්ථරය ගැන

ඔබ හරි ලස්සනට කියනවා මිරිස් කරල් ගැන. මිරිස් පැයෙන් පැයට කනවද? පොඩි කෑල්ලක් දවසකට ඇති. ඉතිං අන්තිම රුපියල් දෙක තුනක වෙනසක්.
ඒ කියන්නේ අමු මිරිස් රුපියල් 1000ක් වුණාට කමක් නෑ?

අපි අණ්ඩුව ගනිද්දිත් අමු මිරිස් 1000යි.

දැනුත් 1000යි නේ?

ඒක තමයි අපි නිෂ්පාදන වැඩිකරන්න යන්නේ.

ආණ්ඩුව ගන්නිද්දි පොහොර මිටිය 1250යි. දැන් 2500 ගාණක්?

කවුද ගෙවන්නේ? ඔබතුමා නිකන් අංක ගණිතයෙන් කියන්නේ. ගොවියෝ ගෙවනවද?

මිනිස්සුන්ගේ සල්ලි නෙමෙයිද ඒ යන්නේ?

නැතුව.. මගේ සල්ලිද? ඔබෙත් මගෙත් සල්ලි තමයි.ජනතාවගේ බදු සල්ලි. සීමිත සම්පත් අසීමිත වුවමනාවන් වෙනුවෙන් යළිත් ඛෙදාහරිනවා. නමුත් එදා බිලියන 48ක් අරන් ඒකෙනුත් 50%ක් ගියා සාක්කුවලට. අද යන්නේ ගොවියට. ගොවියා ඒක දන්නවා. ඒ වෙනස හොඳ නැද්ද?
විදේශ ණය ගන්නකොට කොමිස් එකක් ලැඛෙනවද?

කොයි ණයද? මම හිත්න්නේ ඔවා ද්වේශසහගතව කියන දේවල්. එහෙම ගන්න අය ඇති. මම මාධ්‍යයටත් කියන්න කැමතියි. මේකට හෙණ ගහන්නේ නැතිව පොඩි අලෝකයක් පත්තු කරන්න.

(HE.lk - සංවාදය : ප්‍රගීත් මානියංගම)

ඡායාරූප - රොෂාන් චතුරංග

Last modified on Wednesday, 03 August 2016 16:15