Sunday, 20 October 2019
'තරුවක් වන සිහිනය මට තරමක් දුරයි'

'තරුවක් වන සිහිනය මට තරමක් දුරයි'

මොකද මේ කඨෝර නිළි රැජින කියන්නේ?

මං මුලින්ම සම්බන්ධ වුණු හඳගමගේ ‘දුන්හිඳ අද්දර’ ටෙලි නාට්‍යයේ සිට මේ දක්වා මා රඟපෑ සියලූම කෘතීන් බොහෝ විට සමාජයේ රළු යථාර්ථයන් නිරූපණය කළ කලාකෘතීන්. එම යුගයේ බිහි වුණේ එක්තරා විදියකට වෙනස් සිනමාවක්. තරුණ කැරලි දෙකකට පසු හා සිවිල් යුද්ධයකුත් පසුබිමෙන් තියෙද්දී එවැනි රළු සමාජ යථාර්ථයන් පිළිබිඹු වන සිනමාවක් තමයි ඒ කාලේ තරුණයන් අතින් බිහි වුණේ. කෙසේ වුණත් මාගේ මුල්ම සිනමා රංගනය වූ අසෝක හඳගමගේ ‘සඳ දඩයම’ චිත‍්‍රපටයේ මා කළේ වෙනස්ම විදියේ චරිතයක්.

එහෙත් අවාසනාවකට එය තිරගත වූයේ නැහැ. ඉන් පසු මා රඟපෑ ‘මේ මගේ සඳයි’, ‘බොරදිය පොකුණ’, ‘සුළඟ එනු පිණිස’ වැනි චිත‍්‍රපට යම්කිසි කටුක සමාජ යථාර්ථයන් නිරූපිත චිත‍්‍රපට. මං හිතන්නේ මා සම්බන්ධ වූ චිත‍්‍රපට හැම එකකම මට නිරූපණය කරන්නට ලැබුණේ සමාජය විසින් පීඩනයට පත් කරවනු ලැබූ කාන්තාවගේ චරිතය, ඒ කියන්නේ සාමාන්‍ය ගැහැනිය.

මං හිතන්නේ මගේ රූපය, හැඟීම්, දැනීම් සියල්ල එම සාමාන්‍ය ගැහැනිය හා සමපාතයි. ඒ නිසා වෙන්න ඇති මට දිගින් දිගටම කටුක යථාර්ථයන් සහිත කාන්තා චරිතම නිරුපණය කරන්නට ලැබුණේ. අනික් කාරණාව තමයි මා රඟපෑ බොහෝ සිනමා කෘති ප‍්‍රදර්ශනය වුණේ සෑහෙන කල් ගිහින්. මට විවිධාකාර චරිත ලැබීමට තිබුණු අවස්ථාව ඒ නිසාත් ගිලිහෙන්න ඇති.

ඔබ සම්බන්ධ වූ බොහෝ සිනමා කෘතීන් වාරණයට ලක් වුණා. නැතිනම් විවිධ හේතු මත තිරගත වීම ප‍්‍රමාද වුණා හෝ ලංකාවේ තිරගත වුණේම නැහැ. ‘පියාඹන මාළුවෝ’ චිත‍්‍රපටයට රංගනයෙන් දායක වීම නිසා ඔබට හතරවෙනි තට්ටුවට පවා යන්නට සිදු වුණා. මෙම සමාජ දේශපාලන යථාර්ථයන් රංගන ශිල්පිනියක විදියට ඔබේ වෘත්තීයමයභාවයට බලපෑවේ කොහොමද?

මා රඟපෑ චිත‍්‍රපටවල චරිත තරමටම එම චිත‍්‍රපටවල රඟපෑමෙන් පසු මුහුණදීමට සිදුවූ සමාජ දේශපාලන තත්ත්වයන්ද ඉතාම කටුකයි. එහෙත් මට කවදාවත්ම මගේ වෘත්තීය මයභාවය පිළිබඳ කලකිරීමක් ඇති වී නැහැ. ලංකාවේ මා රඟපෑ බොහෝ චිත‍්‍රපට වාරණයට ලක්වීම හෝ විවිධ හේතුන් මත ප‍්‍රදර්ශනය ප‍්‍රමාද වීම සිදුවුණත්, එම බොහෝ චිත‍්‍රපටි විදේශීය රටවල ඇගයීමට, කතාබහට ලක් වුණා. ඒ නිසාම ලංකාවේ විකල්ප ධාරාවේ සිනමාව තුළ සහ ඒ පිරිස් අතර මාගේ රංගනය පිළිබඳ කතාබහ, ඇගයීම් සිදුවුණා. අනෙක් අතින් ගත්තාම මා සිනමාවේ පමණක් රැඳී සිටින අයෙක් නෙමෙයි. මා වේදිකා රංගන ශිල්පිනියක් ලෙස වගේම අධ්‍යක්ෂකවරියක් ලෙසත් සහ නාට්‍ය හා රංග කලා පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරියක් ලෙසත් වැඩ කරනවා.

මා නිතරම කලාව හා සම්බන්ධ විවිධ ක්ෂේ්ත‍්‍ර සමග වැඩකරන නිසා රංගන ශිල්පිනියක් ලෙස මුහුණ පෑමට සිදුවන අභියෝගත් මාගේ වෘත්තියේම කොටසක් ලෙස සැලකුවා. ඒ සඳහා විවිධාකාරයේ මැදිහත්වීම්, පෙනී සිටීම් සිදුකිරීමත් එහිම කොටසක් ලෙස තමයි මට හැමදාම දැනුණේ.

කෙසේ වුවත් මා රඟපෑ චරිත ඇගයීමට ලක්වීම ඇතැම් සමාජ දේශපාලන කාරණා මත වළක්වනු ලැබුවා. උදාහරණයකට විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ එනු පිණිස’ චිත‍්‍රපටයට සම්මාන දෙන්න එපා කියලා සරසවි සම්මාන උළෙලේ ජූරියට ඉහළින් බලපෑම් එල්ල වුණා. එහෙත් එම වසරේ එම සම්මාන උළෙල නියෝජනය කළ ජූරිය කෙසේ හෝ මට හොඳම සහාය නිළියට හිමි සම්මානය ලබා දෙන්නට කටයුතු කළා. එහෙත් මා ‘සුළඟ එනු පිණිස’ චිත‍්‍රපටයේ රඟපෑවෙ ප‍්‍රධාන චරිතය. ඒ වගේම මෑතකදී මා රඟපෑ ‘මවුස්’ කියන චිත‍්‍රපටයේ චරිතයට එම වසරේ සම්මාන උළෙලවලදී විශාල අසාධාරණයකට ලක් වුණා කියලා මට හිතෙනවා. බොහෝ විට යම් යම් හේතු මත මාගේ රංගනය ඇගයීම දැනුවත්වම වළකනු ලැබුවා.

එලෙස ඔබගේ රංගනයට හිමි ඇගයීම ඇතැම් සම්මාන උළෙලවල වළකනු ලැබුයේ ඇයි?

මං හිතන්නේ මා විකල්ප ධාරාවේ සිනමාව වැඩිපුර නියෝජනය කිරීමම සම්මාන උළෙලවල මාගේ කුසලතා මඟහැර යාමට එක් හේතුවක් වෙන්න ඇති. අනිත් එක ලංකාවේ සම්මාන උළෙලවල ඇගයීමට වගේම වැඩි අවධානයක් ලැබෙන්නේ ප‍්‍රධාන ධාරාවේ චිත‍්‍රපට සහ තරු ගුණය සහිත නළු නිළියන්ට.

මා බොහෝ විට දායක වුණේ විකල්ප ධාරාවේ යම් කිසි වෙනස් චින්තනයක් සහිත අධ්‍යක්ෂකවරුන්ගේ සිනමා කෘතීන්වලට. ඔවුන්ගේ එම විකල්ප ධාරාවේ සිනමාවක් ලංකාවේ තිබුණේ නැත්නම් මා කවදාවත් සිනමා නිළියක් නොවන්නට ඉඩ තිබුණා. අනෙක මා මගේ ජීවන දැක්ම හා සමපාත සිනමාවක් නියෝජනය කිරීමට හැමවිටම කැමැත්තක් දක්වනවා. මා සම්බන්ධ වන සෑම සිනමා නිර්මාණයකදීම සමාජය තුළ ඉන් ඇති කළ හැකි වෙනස්කම පිළිබඳ මා ඉතාම සවිඥානිකයි. කෙනෙකුට තර්ක කළ හැකියි රංගන ශිල්පිනියකට ඕනෑම චරිතයක් කළ හැකි විය යුතුයි කියලා. එහෙත් මා මාගේ රංගනය තුළින් ඊට වැඩි සමාජ දේශපාලන කාර්යයක නියැලෙන්නට කැමතියි.

මට හැකි නම් සමාජයේ දැක්ම යම් කිසි කුඩාම තැනකින් හෝ වෙනස්කමකට ලක් කරන්න ඒ වෙනුවෙන් දායක වෙන්න මං කැමතියි. රඟපෑම තරම්ම මා ගුරු වෘත්තියටත් කැමති වීමට හේතුව ඒ තුළිනුත් එක් පුද්ගලයකුගේ හෝ ජිවිතයේ යම් කිසි ඉදිරි පියවරක් තැබීමට දායක වීමට ලැබීමම තමයි.

සත්‍යජිත් මාඉටිපේගේ ‘බොරදිය පොකුණ’ චිත‍්‍රපටය අවුරුදු දොළහක වාරණයකට හා තවත් විවිධ හේතුන් මත ප‍්‍රදර්ශනය ප‍්‍රමාද වී, ගිය වසරේදී තිරගත වුණා. එහි ඔබ රඟපෑ ගෝතමීගේ චරිතය පසුගියදා පැවති දෙරණ සිනමා උළෙලේ වගේම සාර්ක් අන්තර් ජාතික චිත‍්‍රපට උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. දෙරණ සිනමා උළෙලේදී ඔබ ලද ඒ ඇගයීම ගැන ඔබ කතා කළේ යම් කිසි උදාසීනකමකින්. ඒ ඇයි?

ඇත්තටම එම සම්මාන උළෙලේ මා ලද සම්මානය මට එතරම් දැනුණේ නැහැ. මොකද මේ රට තුළම එම චිත‍්‍රපටයට වූ අසාධාරණකම් කියා නිම කරන්න බැහැ. අනික මා එම චරිතය රඟපෑවෙ මීට දශකයකටත් පෙර, මාගේ තරුණ අවධියේදී. මේ වෙනකොට අපි වයසෙන් මුහුකුරා ගිහින්. එම චිත‍්‍රපටයට ලැබිය යුතුව තිබූ නිසි ගෞරවය රාජ්‍යය විසින් උදුරා ගනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් මට තියෙන්නේ හරිම කලකිරීමක්. ඒ නිසා වෙන්න ඇති දෙරණ සිනමා උළෙලේ මට ලැබුණු සම්මානය මට එතරම් උත්කර්ෂවත් ලෙස නොදැනෙන්න ඇත්තේ.

එහෙත් සාර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේදී මාගේ චරිතය ඇගයීමට ලක්වීම ගැන මට ඇත්තටම සතුටක් තියෙනවා. මොකද වෙනත් රටවල් තුනක සිනමා අධ්‍යක්ෂකවරු තුන් දෙනෙකුගෙන් හෙබි සිනමා ජූරියක් විසින් ආසියාවේ තවත් හොඳ සිනමා කෘතීන් අතරින් බොරදිය පොකුණේ මා රඟපෑ චරිතයට හොඳම නිළියට හිමි සම්මානය ලැබීම තරමක ආස්්වාදයක් ගෙන දුන්නා. එම ජූරියේ සභාපති විසින් මාගේ චරිතය හඳුන්වා දී තිබුණේ එක චරිතයක් තුළ මා චරිත පහක් නිරුපණය කිරීමට සමත් වී තිබූ බව කියමිනුයි. අනෙක එම චිත‍්‍රපටය තුළ මා නිරූපණය කළ චරිතයේ ඇති සියුම් තැන් සංස්කෘතික වෙනස්කම්වලින් තොරව එම විදේශීය ජූරිය විසින් අවබෝධ කරගැනීම හා ඔවුන් එය විඳීම මට ඉතාම සතුටට කාරණයක් වුණා.

ඔබගේ කලා ජිවිතයට සෝමලතා සුබසිංහ මහත්මියගේ බලපෑම කොයි වගේද?

සෝමලතා සුබසිංහ මහත්මියගේ දුවක වීම නිසා තමයි මේ ක්ෂේත‍්‍රයට ප‍්‍රවිෂ්ට වීමට සහ මෙවැනි විකල්ප ධාරාවේ හොඳ සිනමා කෘතීන්වලට දායක වීමට මට අවස්ථාව හිමි වන්නේ. අම්මා හැම වෙලාවේම මට කිව්වේ මට නිළියක් වීමට උවමනා නම් එම විෂය සම්බන්ධයෙන් යා හැකි උපරිම දුර මා යා යුතු බවයි. ඊට පල්ලෙහා කිසිම දෙයක් අම්මා භාර ගන්න ලෑස්ති වුණේ නැහැ. අම්මා හැමවෙලාවෙම උත්සාහ කළා ලෝකයේ කලා භාවිතාවන් සහ රංගන විධික‍්‍රම ඉගෙන ගැනීමට අත්හදා බැලීමට මා යොමු කරන්න. ඇය කවදාවත් මා ලද සම්මානවලින් සෑහීමකට පත්වීමට හෝ ඉන් ඔළුව උදුම්මා ගන්න ඉඩ දුන්නේ නැහැ. මා මරා සාද් වේදිකා නාට්‍යයේ රඟපෑ චරිතයට ලද සම්මානයෙන් පසු, ධවල භීෂණ නාට්‍යයේ රගපෑ චරිතයටත් මට සම්මානයක් ලැබෙන්න යන බවට නාට්‍ය උළෙලට පෙර විවිධ කටකතා තිබුණා.

මට මතකයි ඔය කාලේදී අම්මා මට කතා කරලා කිව්වා, මට ඒ සම්මානය ලැබුණත් ලැබෙන්නේ මගේ වේදිකාව උඩදී තිබෙන පෞරුෂයට සහ මාගේ කටහෙ`ඞ් ඇති සුවිශේෂීතාව නිසා මිසක්, මාගේ රංගනයේ ඇති සූක්ෂ්මකමකට නෙමෙයි කියලා. ඒ අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන උළෙලට මා ධවල භීෂණ නාට්‍යයේ කළ චරිතය නිර්දේශ වී තිබියදී ඇය මා රැගෙන ගියා ලෝකයේ නාට්‍ය පෙන්වන්න. ඇමෙරිකාවේ බ්‍රෝඞ්වේ, එංගලන්තයේ වෙස්ට් එන්ඞ්, ප‍්‍රංශයේ, ජර්මනියේ ප‍්‍රධාන නාට්‍ය උළෙල හැම එකකටම මාව එක්කගෙන ගියා නාට්‍ය පෙන්වන්න. ඔය අතරේදී රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය සම්මානයත් මට ලැබුණා, ඒත් ඒක ගන්න යන්න මම ලංකාවේ හිටියේ නැහැ.

සිනමා නිළියක් කියන දේ එක්කම බැඳී තිබෙන අදහසක් තමයි රූපය. චිත‍්‍රපට නිළියක වෙන්න නම් ලස්සන වෙන්න ඕනෑ, ආකර්ෂණීය වෙන්න ඕනෑ කියන අධිපති අදහසට ඔබ තරමක අභියෝගයක්. එහෙත් ඒ නිසාම ඔබට ඔබගේ රංගන හැකියාව විකල්ප සිනමාව තුළ පමණක් සීමා කරන්න සිද්ධ වෙනවා. මේ ගැන කතා කළොත්?

ඇත්තටම මම සිනමා නිළියක වෙන්න සිහින දැකපු කෙනෙක් නෙමෙයි. ඒ කාලේ අපේ ගෙදර බොහොම දැවැන්ත සිනමා අධ්‍යක්ෂකවරු ආවා ගියා. ඔවුන් බොහෝ දෙනෙක් මගේ මවගේ යහළුවන්. හිතවතුන්. ඔවුන් අතර ඇතිවුණු සමහර සංවාදවලදී මට තේරුණා මං වගේ කෙනෙකුට සිනමා නිළියක් වෙන්න ටිකක් අමාරු බව. රඟපෑමට යොමුවුණත් ප‍්‍රධාන චරිත ලැබෙයි කියන එක ගැන කිසිම බලාපොරොත්තුවක් ඒ කතා බස් තුළ තිබුණේ නැහැ. ඒකට ප‍්‍රධාන හේතුව විදියට තිබුණේ මගේ රූපය සහ පැහැය.
කෙසේ හෝ මාව සිනමාවට මෙන්ම රූපවාහිනි තිරයට රැගෙන ඒමේ ගෞරවය හිමිවෙන්නේ අසෝක හඳගමට. කැමරාව ඉදිරියේ මට කළ හැකි දේ පිළිබඳව යම්කිසි විශ්වාසයක් ඕනෑම කෙනෙකු තුළ ඇති වුණේ මා ඔහුගේ ‘දුන්හිඳ අද්දර’ ටෙලි නාට්‍යයේ සහ ‘සඳ දඩයම’ චිත‍්‍රපටයේ කළ රංගනයෙන්. කොහොම වුණත් මා මගේ පවුල් පසුබිමින්ම ආකර්ෂණය වන්නේ ලංකාවේ විකල්ප ධාරාවේ එන සිනමාවට හෝ ඒ ආශ‍්‍රයෙන් එන කලා භාවිතාවන්ට. ඒ නිසා ප‍්‍රධාන ධාරාවේ සිනමා තරුවක් වන සිහිනය මට තරමක් දුරින් තිබෙන දෙයක්.

ඔබ මෙතක් රඟපෑ චිත‍්‍රපට අතුරින් ඔබ එතෙක් රංගනය පිළිබඳ විශ්වාස කළ දේ අභියෝගයට ලක් කරමින් ඔබට නැවතත් රංගනය පිළිබඳව සිතීමට ඉඩක් සෑදු සිනමා නිර්මාණ මොනවාද?

මා රඟපෑ බොහෝ චිත‍්‍රපට මා විසින් බාරගනු ලැබුවෙම එම චිත‍්‍රපට තුළ තිබූ අභියෝගාත්මකභාවය නිසාම තමයි.
මා මුලින්ම රඟපෑ අසෝක හඳගමගේ ‘සඳ දඩයම’ චිත‍්‍රපටයේ චරිතය මට ඉතාම අභියෝගාත්මක චරිතයක් වුණා. එම චිත‍්‍රපටය රූගත කිරීමට පෙර මාසයක් පමණ කාලයක් වේදිකා නාට්‍යයක් මෙන් අපි පුහුණුවීම් කළා. රූගත කිරීමට යෑමේදී එය තරමක අභියෝගයක් වුණා අප පෙර කළ පුහුණුවීම් රූගත කිරීමේදී බල නොපාන ආකාරයෙන් චරිත තුළ ඇති ස්වභාවිකත්වය රඳවා ගැනීමට. අනික අසෝක හඳගමත් ලෙහෙසියෙන් සමාවක් දෙන අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි.

ඊගාවට මා කළ චරිත අතුරින් වඩාත්ම අභියෝගාත්මක චරිතය මා කළේ ‘බොරදිය පොකුණ’ චිත‍්‍රපටයේ. ඒක තනිකරම වෙනත් කෙනෙකුගේ ජිවිතයක් මගේ ආත්මය තුළින් පිළිබිඹු කිරීමක් වගේ දෙයක්. එම චරිතය මඟදී බාධා නොවී පවත්වාගෙන ඉතාම දුෂ්කර කාර්යයක් වුණා. ඇත්තටම ඒ චරිතය රඟපෑමේදී මං ගෝතමී තරමටම දුක් වින්දා. සත්‍යජිත් මාගේ හොඳ මිතුරෙක් වගේම ඔහු තරම් මාගේ රංගනය අභියෝගයට ලක් කළ අධ්‍යක්ෂකවරයෙක් නැති තරම්.

බොරදිය පොකුණ චරිතය තරමටම මට අභියෝගාත්මක චරිතයක් මා ඊට පසුව රඟපෑවේ ඩෙනිස් පෙරේරාගේ ‘ත‍්‍රී විල් ඩයරිස්’ චිත‍්‍රපටයේ. එතරම් යථාර්ථවාදී චිත‍්‍රපටයක් මට මාගේ රංගන ජීවිතයේදී හමුවී නැහැ.
මීට අමතරව මා මෙතෙක් කළ චරිත සියල්ලක්ම මා ඉතාම රසවිඳි චරිත. සහ ඒ සියල්ලකටම මා එක ලෙස කැමතියි.

අනුරාධා කෝදාගොඩ

(රාවය)