Sunday, 26 September 2021
'විශ්වවිද්‍යාලවල නිදහස් මතධාරීන්ට පොදු තර්ජනයක් තියෙනවා'

'විශ්වවිද්‍යාලවල නිදහස් මතධාරීන්ට පොදු තර්ජනයක් තියෙනවා' Featured

ආචාර්ය ත්‍යාගරාජා වරදාස් ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශය කොළඹ විශ්වවිද්‍යාලය

යාපනය සරසවියේ පසුගියදා සිදුවූ ගැටුම පිළිබඳ උණුසුම තවම පහවී නැත. එකී ගැටුම හරහා දේශපාලන වාසි ගැනීමට තැත් කරන්නෝ ද බහුලව සිටිති. යාපනයේ ගැටුම සහ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති ගැටලු සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයන අංශයේ ආචාර්ය ත්‍යාගරාජා වරදාස් සමඟ කළ සාකච්ඡාවකි.

 යාපනය විශ්වවිද්‍යාලයේ පසුගියදා සිදුවූ සිදුවීම ගැන ‍ඔබේ අදහස් කිවුවොත්,

දකුණේ සිංහල කෙනෙකුට උතුරේ ගිහිල්ලා නිදහසේ අධ්‍යාපනය ලබාගන්න බැරි විදිහට ද මේ සංහිදියාව ඇති කරන්නේ කියලා අද ඇතැම් පිරිස් ප්‍රශ්න කරනවා. දකුණේ ක්‍රියාත්මක වෙන ඇතැම් ජාතිවාදී කොටස්වලට මේ සිද්ධිය තමන්ගේ අහිමිවුණු අභිලාෂයන් ඉටුකර ගැනීමට හොඳ අවස්ථාවක් වුණා. නමුත් දකුණේ ජීවත්වන මධ්‍යස්ථ ප්‍රජාව මෙය දකින්නේ උතුර සම්බන්ධයෙන් මෙතෙක් පැවැති රජයන් හා පවතින රජය අනුගමනය කරපු ප්‍රතිපත්තිවල තියෙන දුර්වලතාවයන් හා සීමාවන්වල විධාරණයක් ලෙසයි.

විශ්වවිද්‍යාලයක සිදුවූ දෙයක් නිසා සමහරුන්ට විශ්වවිද්‍යාලයේ නිදහස් අවකාශය කොතරම් දුරට නිදහස් ද කියන ප්‍රශ්නයත් මතු වෙනවා.

ඇතැම් අය පේරාදෙණිය වළේ කෞෂල්‍යා ප්‍රනාන්දුගේ නාට්‍ය සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය එක්කත් මේක සංසන්දනය කරනවා. පොදුවේ ගත්තම උතුරේ වගේම දකුණේ විශ්වවිද්‍යාලවලත් නිදහස් මත දැරීමට ඇති නිදහසට බරපතළ තර්ජන තියෙනවා. විවිධ කණ්ඩායම්වලට නිදහසේ හැසිරීමට ඇති අවකාශය විවිධ හේතුන් නිසා සීමාවෙලා. දකුණේ මේ තත්ත්වයට බලපාන්නේ වෙනත් මතවාදයක්.

උතුරේ මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ ජාතිවාදී මතවාදයක් නිසයි. ඒ කණ්ඩායම් මේ ප්‍රශ්නය දකින්නේ තමන්ගේ වුවමනාවන් අනුවයි. දකුණේ ජාතිවාදි පිරිස්වලට තමන්ගේ අරමුණු ඉටුකරගන්න මෙය හොඳ ඉල්ලමක් කියලා මම කිවුවේ ඒකයි. ඒ වගේම සංහිඳියාව ඇති කරන්නට කටයුතු කරන පිරිස්වලට මෙය හොඳ අනතුරු ඇගවීමක්. මේක නිවැරැදි කරන්නේ කොහොමද කියලා නැවත සිතා බලන්න ඕන.

මෙය සංහිදියාවට හොඳ අනතුරු ඇගවීමක් කියල කිවුවේ ඇයි?

සංහිදියාව නැහැ කියන්නෙත් නැත්නම් සංහිදියාවට පත් කරන මාර්ගවල අඩුපාඩුවක් තියෙනවා කියලත් යම් කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි සංහිදියාව ඇති කරන්න උත්සාහයක් අරන් නෑ කියල කියන්න බෑ. ඒ සංහිදියාව ක්‍රියාවට නගද්දි ආමන්ත්‍රණය නොවූ කොටසක් ලෙස මේ ගැටුමට සම්බන්ධ පිරිස හඳුන්වන්නත් පුළුවන්.

මේ ගැටුමට මුල්වෙන්නේ විශ්වවිද්‍යාල සිසුන්; සංහිදියාව ඇති කිරීමේ උත්සහය තුළ මේ පිරිසට තවම ආමන්ත්‍රණය නොවුණා කියන්නේ ඒ ක්‍රියාදාමයේ දුර්වලතාවයක් නේද?

කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. සංහිදියාව ඇති කරන ක්‍රියාදාමය මම අසුබවාදීව නෙමෙයි. හැමවිටම බලන්නේ අපේක්ෂා සහිත ප්‍රවේශයකින්. තරුණ ප්‍රජාව තුළ තියෙන හැඟීම්වලට කොහොමද ආමන්ත්‍රණය කරන්නේ කියන එක විශාල අභියෝගයක් වෙලා. මේ අභියෝගයට වැඩියෙන්ම මුහුණ දෙන්නේ සංහිදියාව වෙනුවෙන් කැපවන සිවිල් සමාජයයි. සිවිල් සමාජය ක්‍රියාත්මක කරන උතුර දකුණ යා කරන තරුණ හුවමාරු වැඩසටහන් තියෙනවා. නමුත් ඒ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය තීරණය වන්නේ හුදකලාව නොවෙයි ඔවුන් ජීවත්වන පරිසරය සමඟයි. ඒ වැඩසටහන්වලින් සංහිදියාව ඇති කරන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවානම් ඒක මුළාවක් බව දැන් පෙනෙනවා.

කුමන පදනමක සිටද එවැනි ප්‍රකාශයක් කරන්නේ,

අපි කියමුකෝ උතුරේ තරුණයෙක් ඔය වගේ වැඩසටහනකට සම්බන්ධවෙලා දකුණේ සිංහල තරුණ ප්‍රජාව සමඟ ක්‍රියාකාරකම්වල යෙදිලා දකුණේ සිරි නරඹලා නැවත තමන්ගේ ගම්බිම් බලා යනවා කියලා. නමුත් ඒ තරුණයාගේ තාත්තා ධීවරයෙක් නම් පරම්පරා ගාණක් ගමේ ලෙල්ලමෙන් මුහුදු ගිහිල්ලා ජීවත් වූ ලෙල්ලම අද ඔවුන්ට අහිමි වෙලා නම්, එය තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයේ නම්, තමන්ගේ මුල් ඉඩම් තවම හිමිවෙලා නැත්නම්; එවැනි අයෙක් කොච්චර උතුර දකුණ යා කරන වැඩසටහන්වලට සම්බන්ධ වුණත් ඔහුගේ ජීවිතය වටා නොවිසුදුණු ප්‍රශ්න රාශියක් තියෙනවා. එවැනි අයව සමනය කරන්න ඔය වැඩසටහන්වලින් විතරක් බෑ.

ඔබ කියන්නේ උතුරේ ජනතාවගේ මූලික ප්‍රශ්න තවම විසඳිලා නෑ කියන එකද?

එහෙම කියන්නත් පුළුවන්. හැබැයි ඔවුන් තවම ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව ලෙස ජාතික ප්‍රශ්නය සමඟ සිටීම නිසා වෙනත් අවශ්‍යතා ගැන හඬ නැගීමක් නැති තරම්. නමුත් සාමාන්‍ය ජන ජීවිතයේ ඔවුන්ට විසඳා ගත යුතු ගැටලු රාශියක් තියෙන බව පිළිගත යුතුයි.

සිංහල හා දෙමල ජනතාව අතර සංහිදියාවට ඇති බාධක ලෙස ඔබ දකින්නේ මොනවාද?

මෙරට මහ ජාතිය ලෙස සිංහල ජනතාව තමන් උසස් යැයි සිතා සැමවිටම කටයුතු කිරීම මෙයට එක හේතුවක්. මේ නිසාම දෙමළ ජනතාව නිරන්තරයෙන්ම සිංහල ජනතාව තමන්ව පාලනය කරන්නට හා තමන්ව යටත් කර ගන්නට යනවා යන සැකය පදනම් කරගෙන කටයුතු කිරීම එකට බද්ධ වෙච්ච අනෙක් හේතුව. රටක ජාතීන් කොපමණ හිටියත් ඒ සැමටම තම රටේ දී සම තැන ලැබෙනවා නම් මේ ගැටලුව නෑ. එකෙක් අනෙකාට ඇති අයිතියට ගරු නොකිරීම, අනෙකාට ඇති අයිතිය පිළිගැනීමට දක්වන අකමැත්ත යන කාරණා මේ සඳහා බලපානවා. යුද්ධය නිමාවුණු පසුවත් යුද්ධයෙන් බැට කෑ උතුරේ ජනතාව බලාපොරොත්තු වූ කාරණා ඉටු නොවීමත් මේ සඳහා ඇති බාධකයක්.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු උතුරේ ජනතාවගේ බිදුණු බලාපොරොත්තු පැහැදිලි කළොත්?

යුද්ධයෙන් පස්සේ යාපනය ප්‍රධාන උතුරු පළාත සිංහලකරණය වුණා. උතුරේ ගම්වලට ඓතිහාසික තොරතුරු පදනම් කරගෙන සිංහල නම් දුන්න පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රදේශ සිංහල බෞද්ධකරණය වුණා. කන්දරෝඩි කදුරුගොඩ විහාරය කියල නම් කළා. මුලතිව් මුලදීප කියල නම් කළා. උතුරේ ජනතාව යුද්ධයෙන් පස්සේ බලාපොරොත්තු වුණේ මේවා නොවෙයි.

යුද්ධය එපා කියපු ජනතාව ඉල්ලුවේ මේවා නොවෙයි. යම් කිසි විදියකින් පරාජිත මානසිකත්වයකින් ඉන්න ජන කොට්ඨාසයකට මේ වගේ දේවල් දකින කොට ඔවුන්ගේ ළංවීමක් ගැන හිතන්න බෑ. ඔවුන් තව තවත් දුරස් වුණා. අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය වෙන්න තිබුණේ යුද්ධය අවසන් වූ පළමු වසර පහ තුළ දෙමළ ජනතාවට වඩාත් දකුණ සමඟ ළංකිරීම නැත්නම් සුහද කිරීමයි. නමුත් අවාසනාවකට සිදුවුණේ වඩ වඩාත් දුරස් වීමයි. 2015 දී මේ වෙනස සිදු කළා කියල එක වසරකින් වසර 5ක් - 6ක් තිස්සේ අත්දැකීම් හා හුරුවුණු ගති සිරිත් වෙනස් කිරීම අසීරුයි.

යාපනය විශ්වවිද්‍යාලයේ ජාතිය පදනම් කරගෙන ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වීමත් මේ වැනි ගැටලුවලට හේතුවක් නේද?

මේ රටේ වෙනත් විශ්වවිද්‍යාලවලත් ජාතිය පදනම් කරගත් ශිෂ්‍ය සංගම් තියෙනවා. නමුත් වෙනස්. ඒ විශ්වවිද්‍යාල පාලනය කරන්නේ ජාතිය පදනම් කරගෙන ගොඩනැඟූ ශිෂ්‍ය සංගම් නොවෙයි. නමුත් යාපනය විශ්වවිද්‍යාලයේ තීරණය කිරීමේ බලය හිමිවෙලා තියෙන්නේ දෙමළ ශිෂ්‍ය ප්‍රජාවට. ඒ නිසා එහි දෙමළ ශිෂ්‍ය සංගමය බලවත් වෙලා. ඒ නිසා දෙමළ සංස්කෘතියට අනුවයි එහිබලය ගොඩනැගිලා තියෙන්නේ.

යාපනයේ විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ගේ නිදහසට බාධා ඇතිවුණා. ලංකාවේ අනෙක් විශ්වවිද්‍යාල තුළ බහුතර සිංහල සිසුන් සමඟ දෙමළ සිසුන්ට කිසිදු බාධාවකින් තොරව අධ්‍යාපනය ලබන්න අවකාශ හිමිව ඇති බව සමහරු කියනවා නේද?

මම කලින් කිවුව වගේම යාපනය හැරුණුකොට අනෙක් සෑම විශ්වවිද්‍යාලයකම පරියාය තීරණය කරන්නේ ජාතිය පදනම් කරන් ශිෂ්‍ය සංගම් නොවෙයි. හැබැයි එහෙම වුණා කියල දෙමළ සිසුන්ට ගැටලු නෑ කියල මම කියන්නේ නෑ.

දෙමළ සිසුන්ට අනෙක් විශ්වවිද්‍යාල තුළ ඔවුන් දෙමළ වීම නිසා බලපාන ගැටලු වාර්තා වෙලා තියෙනවාද?

පසුගිය කාලයේ සබරගමු විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන්ට පහර දීමක් සිදුවුණා. නමුත් මේ සිදුවීම මාධ්‍යවල කතා බහට ලක්වුණේ නෑ. සෑම විටම මෙවැනි සිද්ධීන් උලුප්පන්නේ ජාතිවාදී කොටස්. නමුත් සිංහල ජාතිවාදී කොටස්වලට දෙමළ සිසුන්ට පහරදීම සිදුවුණා කියන එක දේශපාලනික වශයෙන් වාසි සහගත සිදුවීමක් නොවෙයි.

යාපනය විශ්වවිද්‍යාලයේ පහර කෑමට ලක්වන්නේ සිංහල සුළුතර සිසුන් නේද?

මේ පහර කෑමට ලක් වූ පිරිස යාපනය විශ්වවිද්‍යාල තුළ සුළුතරය වුණාට රටක් ලෙස ගත්තම ඔවුන් නියෝජනය කරන්නේ රටේ බහුතරය. ඒ නිසා ඔවුන් යාපනය විශ්වවිද්‍යාලයේදී වරප්‍රසාද ලත් සුළුතරයක්. වරප්‍රසාද නොලත් සුළුතරයකට පහරදීමට වඩා වරප්‍රසාදලත් සුළුතරයකට පහරදීමේදී සමස්ත සමාජය දක්වන ප්‍රතිචාරය වැඩියි. විවිධ කණ්ඩායම් තමන්ගේ වුවමනාවන් සඳහා මෙය භාවිත කරනවා. ඒ නිසා මාධ්‍ය තුළිනුත් මේ සඳහා වැඩි ප්‍රචාරයක් ලැබුණා.

බහුතර සිංහල මාධ්‍ය මේ ගැටුම වාර්තා කළාට වඩා වෙනස් ආකාරයට Tamil Net වෙවබ් අඩවිය මෙය ලෝකය පුරා ගෙනිච්චා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මම කලින් කිවවුවා වගේම විවිධ පිරිස් තමන්ගේ විවිධ වුවමනාවන් සඳහා මෙවැනි සිද්ධි භාවිත කරනවා. Tamil Net වෙබ් අඩවිය හා ගාර්ඩිනියා පුවත්පතේ ඔය සිද්ධිය තරමක් වෙනස් ලෙස වාර්තා වී තිබුණේ එහි ප්‍රතිඵලයක් විදිහටයි. රටේ සිංහල මාධ්‍ය පළ කරන ප්‍රවෘත්තිවලට වඩා වේගයෙන් මෙවැනි ප්‍රවෘත්ති ලෝකය පුරා ව්‍යාප්ත වන බව මම පිළිගන්නවා.

ඔබ දකින ආකාරයට ඉදිරියේදී විශ්වවිද්‍යාල තුළ මෙවැනි ක්‍රියා සිදු නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

යාපනය විශ්වවිද්‍යාලයේ සහජීවනය ඇති කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග රටේ සමස්ත විශ්වවිද්‍යාලවල ඇති කළ යුතු ක්‍රියාමාර්ගවලට වඩා වෙනස්. ඒ නිසා යාපනය විශ්වවිද්‍යාලයේ සහජීවනය ඇති කරන්නට රාජ්‍ය ප්‍රතිපත්තීන් සමඟ සම්බන්ධ විය යුතුයි.

පොදුවේ ගත්තම විශ්වවිද්‍යාල සිසුන් අතර පෝෂණය කළ යුත්තේ මොනවගේ අදහස්ද,

ලංකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ පළමු හා එකම පහරදීම මෙය ලෙස සිතා කටයුතු කළ අයත් සිටියා. තමන් දරන දේශපාලන මතය වෙනුවෙන් හෝ වෙනත් ප්‍රතිපත්ති වෙනුවෙන් විශ්වවිද්‍යාලවල ගැටුම් කොයිතරම් හටගෙන තියෙනවාද? කොයි තරම් පහරදීම් සිදුවෙලා තියෙනවාද? හැම තැනකදීම සිදුවන පොදු කරුණ තමයි බලය වැඩි පිරිස බලය අඩු පිරිස පාලනය කිරීමට පෙළඹීම.

මේ සිද්ධියේ තියෙන්නේ මම බලවත් කියා ඔබ මට ගරු කළ යුතුයි කියන මතයේ සිට කටයුතු කිරීම. මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මධ්‍යස්ථ අදහස් පෝෂණය කිරීම ඉතාමත් වැදගත්. බෙදා වෙන් කරන අදහස් පැතිරෙන්න පැතිරෙන්න සංහිදියා ක්‍රියාදාමය අසීරු වෙනවා. සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගේම සහයෝගය වගේම සිවිල් සමාජයේ සහයෝගයත් මීට අවශ්‍යයි. ඒ නිසා සමස්ත රට වැසියාගේ මතය මේසඳහා හැඩ ගන්වන මධ්‍යස්ථ මතධාරී පිරිසක් දායක විය යුතුයි.

භාෂාව නිසා ඇතිවෙන සංනිවේදන ගැටලුවත් මෙවැනි ගැටලුවලට හේතුවක් නේද?

භාෂාව නොදැන සිටීමත් ගැටලුවක්; හැබැයි මම විශ්වාස කරන්නේ භාෂාවට වඩා රටේ ජනතාව එකිනෙකා අවබෝධ කොට ගැනීමයි වැදගත්. දැන් රාජ්‍ය සේවකයන්ට භාෂා පුහුණු පාඨමාලා ආරම්භ කරලා තියෙනවා. හැබැයි මෙහි සත්‍ය අරමුණ එකිනෙක ජාතීන් අතර සුහදතාවය ඇති කිරීමවත් එකිනෙකා තේරුම් ගැනීමවත් නොවෙයි. උසස්වීම් ලබා ගැනීම, වැටුප් වර්ධක ලබා ගැනීම වැනි කාරණා. මූලික අරමුණ වෙනත් අරමුණකට විතැන් වෙලා. කෙනෙකුගේ සංස්කෘතිය තේරුම් ගන්න භාෂාව වැදගත්. ඒත් භාෂාව දැන ගැනීමෙන් පමණක් එම සංස්කෘතිය ගැන වැටහීමක් ලැබෙනවා කියා සිතන්න බැහැ. අප හැම විටම ඉලක්ක කරන්න ඕනේ භාෂා දැන ගැනීමට වඩා අදාළ පුද්ගලයන්ගේ සංස්කෘතික හර පද්ධතීන් තේරුම් ගැනීමටයි.

පබුදු සපුතන්ත්‍රි

ඡායාරූප - චින්තක

(දිනමිණ)