Friday, 13 December 2019
ගුඞ් එඩිටර් නෙවර් ස්ලීප් - සිතුම් සමරජීව

ගුඞ් එඩිටර් නෙවර් ස්ලීප් - සිතුම් සමරජීව Featured

චිත‍්‍රපටයකට හෝ රූප සමග බිහිවන එවැනි නිර්මාණයකට අදාළ දර්ශන කතාන්තරයක් ලෙස පෙළ ගැස්වීමත් කලාවක්. පේ‍්‍රක්ෂකයා ඉදිරියේ රටාවකට ගලා යන කතාන්තරයකට සංස්කාරක නැත්නම් එඩිටර් කියන පුද්ගලයාගෙන් ලැබෙන දායකත්වය මොන වගේ ද?

නිර්මාණයක අවසාන ප‍්‍රතිඵලය මුලින්ම දකින්නේ එඩිටර් කෙනෙක්. මුලින්ම නිර්මාණයේ පිටපතක් එඩිටර් කෙනෙක්ට ලැබෙනවා නම් ඒ පිළිබදව ඔහුට පෙර සිටම අවබෝධයක් ලැබෙනවා. මම හිතන්නේ එඩිටින් කියන්නේ පිටපත අනුව එඩිටර් අවබෝධ කරගත් දේත් ඩිරෙක්ටර් අවබෝධ කරගත් දේත් යන සියල්ල සංකලනයෙන් නිර්මාණය පිළිවෙළට සකස් කරමින් යෑම. ඒත් ලංකාවේ සමහර අවස්ථාවල නිර්මාණ සිදුකරන්නේ පිටපතක් නොමැතිවයි.

එඩිටින් ඇතුළේ කළ හැක්කක් සහ නොකළ හැක්කක් තියනවා. අවසානයේ එඩිට් එකට එන්න තමයි ලංකාවේ ගොඩක් වෙලාවට පුරුදුවෙලා තියෙන්නේ. සමහර දේ එහෙම අවසානයේ එඩිට් එක ඇතුළේ කරන්න බැහැ. මුලින්ම ඩිරෙක්ටර්, එඩිටර්, සිනමටෝග‍්‍රැෆර්, ආර්ට් ඩිරෙක්ටර්, මියුසිෂන් යන සියලූදෙනා එකතු වෙලා නිර්මාණයක් කරන්න කලින් හඳුනාගෙන කතාවෙලා නිර්මාණයක් සිදුකරනවා නම් හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්.

අනෙක් දේ හැම වෙලාවෙම එඩිටර්ගේ කාර්යය නිවැරදිව සිදුකිරීම මගින් නළු නිළියන්ටත් සාධාරණයක් ඉටුකළ යුතුයි. ඔවුන්ගෙන් ගන්න පුළුවන් හොඳම රඟදැක්වීම් ගත යුතුයි. ඒ වගේම අධ්‍යක්ෂට සාධාරණය කළ යුතුයි. මියුසික් කරන කෙනාටත් අවශ්‍ය ඉඩ හා කාලය සාදා දිය යුතුයි. සිනමටෝග‍්‍රැෆර්ට සාධාරණයක් වෙන්න නම් අවශ්‍ය හොදම දර්ශන යොදා ගත යුතුයි. ඒ වගේම ආලෝකකරණය, ෆෝකසින් වගේ දේ සඳහාත් හොඳම දේ යොදා ගත යුතුයි.

පිටපතක් මොන ආකාරයෙන් පටිගත කරගෙන ආවත් ඒ ඒ අවස්ථාවන්වල පේ‍්‍රක්ෂකයන්ට දැනිය යුතු රසයන් හරියටම අත්හදා බැලෙන රූපමය දැනීම ලබන්නේ සංස්කරණයේදී. කතාන්දර පොතක කතාව කියනවාට වඩා රූපයෙන් පෙන්වීම වෙනස් නේ. ඒ නිසා තමයි සමහර අය පොතක කතාවක් චිත‍්‍රපටයකට ගෙනාවාම පොත තරම් ඒක ලස්සන නෑ කියලා කියන්නේ. ඒ පොතේ දැනුණ හැඟීම චිත‍්‍රපටයකට ගන්න නම්, තිබෙන රූප ටික එකතු කරලා ඒ දේ නිර්මාණය කරන්න ඕනෑ සංස්කරණයේ දීයි. එක හැඟීමක් කෝණ කීපයකින් පටිගත කරලා තිබුණත් ඒ ඒ අවස්ථාවට උචිත මොකක්ද කියන එක තීරණය වෙන්නේ සංස්කරණයේදීයි. අනික් දේ තමයි එඩිටර් කෙනෙක් වුණාම නම්‍යශීලී විය යුතුයි. අනිත් පුද්ගලයන්ගේ මතයට ගරු කරලා වැඩ කරන්න ඕනෑ.

එඩිටර් කෙනෙක් විදියට ඔබ කලාවත් එක්ක සම්බන්ධවීම සිදුවන්නේ කොහොමද?

මම උසස්පෙළින් පසුව රජයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටියා. මට චිත‍්‍ර ඇඳීමේ හැකියාවත් තිබුණා. එහෙම ඉන්න කාලයේ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සංස්කරණය පිළිබඳව පාඨමාලාවට ඉල්ලූම් කරන්න හිතුණා. ඒ වෙද්දී එච්චර ෆිල්ම්ස් බලලාවත් තිබුණේ නෑ. සම්මුඛ පරීක්ෂණයට ෆිල්ම්ස් ගැන අහන නිසා ෆිල්ම්ස් බලන්න පටන් ගත්ත ගමන් මේ වෙන කොට සෑහෙන ප‍්‍රමාණයක් ෆිල්ම්ස් බලලා තියනවා. පාඨමාලාව කරද්දී මට තේරුණා මට දෙයක් කරන්න පුළුවන් සහ දැනෙන බව. ඒ කාලේදී මට ‘කොයින්ස්’ ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී සවුන්ඞ් ඩිසයිනින් සඳහා සම්මානයක් ලැබුණා. ඊට පස්සේ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ එඩිටින්වලින් විශිෂ්ටම ශිෂ්‍යයා බවට මම පත්වුණා. ඒ නිසා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ මට ඉගැන්වීමේ අවස්ථාව ලැබුණා.

මේ වන විට මම කිසිම මාධ්‍ය ආයතනයකවත් වෙනත් ආයතනයකවත් ස්ථිරව වැඩ කර නැහැ. පටන් ගත් දවසේ ඉඳන් ෆ‍්‍රීලාන්ස් තමයි වැඩ කරන්නේ. මේ ක්ෂේත‍්‍රයේ ඉන්න බොහෝ දෙනා ආයතනගත වෙලා පසුව එළියට ඇවිත් වැඩ කරනවා හෝ කලින් එළියේ වැඩ කරලා දැන් ආයතනගත වෙලා වැඩ කරන්නේ. මට අවස්ථාව ලැබුණා මුල සිටම ෆ‍්‍රීලාන්ස් වැඩ කරන්න. ෆ‍්‍රීලාන්ස් වැඩ කරනවා කියන්නේ එක් අතකට අවදානමක්. ෆ‍්‍රීලාන්ස් වැඩකරන එඩිටර් කෙනෙක් අනිවාර්යෙන්ම ඒ සම්බන්ධයෙන් යාවත්කාලීන විය යුතුයි. මොකද ක්ෂේත‍්‍රයේ රැඳී ඉන්න නම් මේ මොහොතේ අලූත් වෙන දේ තුළ අපි වැඩ කළ යුතුයි. ලංකාවේ භාවිත වන ලෝකේ තියන හොඳම කැමරාවලින් කරන පටිගතකිරීම් එඩිට් කරන්න ෆ‍්‍රීලාන්ස් එඩිටර් කෙනෙක් විදියට මට අවස්ථාව ලැබී තියනවා. ඒවා එකකට එකක් වෙනස්.

ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂවරයාගේ උසාවිය නිහඬයි කියන වාර්තා චිත‍්‍රපටයේ ලංකාවේ පිටපත සංස්කරණය කිරීමේ අවස්ථාව මට ලැබුණා. චිත‍්‍රපට අධ්‍යක්ෂ ප‍්‍රසන්න විතානගේ, කැමරා අධ්‍යක්ෂ එම්.ඞී. මහින්දපාල, සහය අධ්‍යක්ෂ දමින්ද මඩවල යන අය බලා ඉඳිද්දී සංස්කරණය කළ දවස ජීවිතේ අමතක නොවෙන අවස්ථාවක් වුණා. ක්ෂේත‍්‍රයේ ඉහළම තලයේ සිටින අය ළඟ ඉඳන් වැඩ කරද්දී දැනුණේ පුදුම හැඟීමක්.

මම හිතන්නේ ඒක බොහොම දුර්ලභ සහ කෙනෙක් ජීවිතයේ ලබන ඉතා වටිනාම අත්දැකීමක් කියලා. පසුව කුලරුවන් ගමගේගේ මගපෙන්වීමෙන් මගේ පළමු චිත‍්‍රපටය ලෙස ෆ‍්‍රැන්ජිපානි සමග සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා.
ෆ‍්‍රැන්ජිපානි කියන්නේ සමකාමී චිත‍්‍රපටයක්. සදාචාරය, සංස්කෘතිය පිළිබඳව වැඩියෙන් කතාකරන ලංකාව වැනි රටක එවන් තේමාවක් අනිවාර්යෙන්ම ආන්දෝලනාත්මකයි. ඔබේ කලා ජීවිතයේ ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස එවන් නිර්මාණයකට දායකවීමට සිතුණේ ඇයි?

මම හිතන්නේ හොඳ නිර්මාණ කළ අය මේ මහ පොළොවේ පය ගහලා හිටපු මිනිස්සු. අද වෙද්දී අපි අතරෙ ඉන්න අයගෙන් කීදෙනාද පංච දාලා තියෙන්නේ, ටීක් බෝල ගහලා තියෙන්නේ, ඕමි ගහලා තියෙන්නේ, බූරුවා ගහලා තියෙන්නේ. කීදෙනාටද සරුංගලයක් හදන්න පුළුවන්, වෙසක් කූඩුවක් හදන්න පුළුවන්. ඒවා කළා කියලා එඩිටර් කෙනෙක් වෙන්න පුළුවන් කියන දේ නෙමෙයි මම කියන්නේ. නමුත් මගේ ජීවිතේ මම ජීවත් වුණු පසුබිම තුළ මම ඒ සියලූ දේ අත්විඳලා තියනවා. මිනිස්සු දැනෙන එහෙම සමාජෙකින් ඇවිත් මෙවැනි චිත‍්‍රපටයක් කරන්න ලැබුණ එක ගැන මම සතුටුයි. ඒ විදියේ අවදානමක් මට ගන්න පුළුවන් වුණු එක ගැනත් සතුටුයි.

සමකාමී හැඟීම කියන දේ කොහොමද පේ‍්‍රක්ෂකයා අතරට ගෙනෙන්නේ, ඒක මිනිස්සු විහිළුවට ලක් කරාවිද, මොන වගේ දෙයක් සිද්ධ වේවිද කියන ගැටලූ කීපයක් තිබුණා. ඒත් මම ඒ වගේම කල්පනා කළා. වෙනස් විදියකින් එළියට ආවොත් වෙනස් ගමනක් යන්න පුළුවන් කියලා. අනික් දේ සමකාමී චිත‍්‍රපටයක් අනිවාර්යෙන් කතාබහට ලක්වෙනවානේ. මගේ පළමු චිත‍්‍රපටය නිසා මම ඒ වෙනුවෙන් ලොකු කැපවීමක් කළා. අඩු මුදලකට වැඩි වෙහෙසක් යෙදෙවුවා.

විදෙස් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලංකාව තුළ නිර්මාණය කළ මෙම සමකාමී චිත‍්‍රපටය ගැන ලැබෙන ප‍්‍රතිචාර මොනවගේද?

විසාකේස චන්ද්‍රසේකරම් කියන්නේ වෙනස් පුද්ගලයෙක්. ඉතින් ඒ පුද්ගලයා එක්ක දවස් හතළිහකට ආසන්න කාලයක් මම එකට වැඩ කළා. නම්‍යශීලී සහ හොඳ දැනුමක් අවබෝධයක් තිබෙන පුද්ගලයෙක්.
ඔහු විදේශිකයෙක් සහ විදේශිකයෙකු සමග විවාහ වී සිටියත් ඔහුගේ පිටපත සහ කතාව තුළ තිබෙන්නේ පිටිසර ගමක්. ලංකාවේ හෝ ලෝකයේ නිෂ්පාදනය වුණු සමකාමී චිත‍්‍රපටවල බොහෝ විට දකින්න ලැබෙන්නේ බටහිර සමාජ වටපිටාවක්. එහෙත් ෆ‍්‍රැන්ජිපානි චිත‍්‍රපටය කතා කරන්නේ පිටිසර ගමක ඉඳන්, පන්සලත් සමග හැදෙන ළමයි ගැන. පළවෙනිම ප‍්‍රතිචාරය, ලංකාව තුළ වෙනස් නිර්මාණයක් කළාම කොහොමත් එය කතාබහට ලක්වෙනවා. ඊළඟට තහනම් කියලා හිතන දේ කරලා ඉස්මතු වෙන්න කැමති පිරිස, ලංකාවේ එහෙම තහනම් දෙයක් වෙනුවෙන් සිදුකළ කාර්යයට ලැබෙන ඇගැයීමත් ඉහළයි.
මේ තරම් ගැඹුරින් සමකාමීබව ගැන කතා කරන චිත‍්‍රපටයක් ලංකාවේ නිපදවෙන්නේ ප‍්‍රථම වතාවට. ඒ තුළ මිනිසුන්ට දැනෙන දේ ගැඹුරින් කතා කරනවා. ලංකාවේ චිත‍්‍රපට ගැන හොයන සහ චිත‍්‍රපට නරඹන පිරිසක් ඉන්නවා. ඒ අය කතාබහට ලක්වන නිර්මාණ නරඹන්න කැමතියි. කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලේ ෆ‍්‍රැන්ජිපානි හවුස් ෆුල්. ක්ෂේත‍්‍රයේ සිටින සහ කැමති පිරිසගෙන් මේ සඳහා ලැබෙන ප‍්‍රතිචාර හොඳයි. නමුත් ඉන් පිටත සිටින අය මේක කොහොම භාරගනීවිද සහ කොහොම ප‍්‍රතිචාර දක්වාවි ද කියන්න බැහැ.

ෆ‍්‍රැන්ජිපානි යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ නිර්මාණය වූ චිත‍්‍රපටයක් ලෙසයි එහි අධ්‍යක්ෂවරයා හඳුන්වන්නේ. මේ චිත‍්‍රපටය පිළිබඳ ඔබේ පෞද්ගලික අදහස දැනගන්න කැමතියි.

පෞද්ගලිකව මම මේ චිත‍්‍රපටයට කැමතියි. මොකද එහි ගැමි පරිසරයක් තුළ කතා කරන දේ සහ කැමති පුද්ගලයන් පිරිසක් සමග එවන් තේමාවක වැඩ කිරීමට ලැබීම ගැන සතුටුයි. ලංකාව ඇතුළේ සමකාමී කෙටි චිත‍්‍රපට සෑහෙන ප‍්‍රමාණයක් බිහිවෙනවා. නමුත් ෆ‍්‍රැන්ජිපානි තුළ මේ ගැන කතා වෙන්නේ ඒ වගේ කාෂ්ඨක තැනකින් නෙමෙයි. හරිම සරල තැන්වලින්. අපි කවදාවත් සමකාමී අය තුළින් දකින්න උත්සාහ නොකරන සරල දේ, ඒ වගේම ලස්සන දේ මේ තුළ තිබෙනවා.

ලෝකයේ සිනමාව වෙනුවෙන් භාවිත වන තාක්ෂණය මොහොතින් මොහොත අලූත් වෙනවා. ලංකාව තුළ සංස්කාරකගේ කාර්යභාරයට තාක්ෂණයේ බලපෑම සිදුවන්නේ කොහොමද?

එඩිටින් කියන්නේ කලාවක්නේ. කරන සොෆ්ට්වෙයාර් එක ඕනෑ කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. නමුත් රූප ගළපන්න, කතාන්දරයක් කියන්න හැමෝටම බැහැ. ඒක කතාවේ වර්ගය සහ ස්වරූපය අනුවත් වෙනස් වෙනවා. එඩිට් කරන සොෆ්ට්වෙයා එක වැදගත් නෑ. නිර්මාණයක අවසාන ප‍්‍රතිඵලයට එඩිටර්ගේ දායකත්වය ලැබෙන්න නම් ඔහු ළඟ කලාව තියෙන්න ඕනෑ කියලායි මම හිතන්නේ.

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි
(රාවය)

Last modified on Friday, 29 July 2016 17:38