Monday, 26 August 2019
ඇය සොයන්නේ ඔහුගේ මනසේ තමා කවුද යන්නයි

ඇය සොයන්නේ ඔහුගේ මනසේ තමා කවුද යන්නයි Featured

ඇගේ ඇස අග’ ඔබ මෙතෙක් සිනමාවට ගෙන ආ අතිශය සමාජ- දේශපාලනික සංසිද්ධීන්ගෙන් හෙබි සිනමා කෘතීන්ගෙන් වෙනස් වූ සිනමා නිර්මාණයක්. ඔබ මෙතෙක් සමාජය දෙසට ඇල්ලූ කැඩපත, මෙම සිනමා කෘතියේදී ඔබ තුළටම, නැතිනම් ඔබගේ චිත්ත අභ්‍යන්තරයට ඇල්ලීමට තරම් නිර්භීත වී ඇති බවකුයි මගේ අදහස. මේ චිත‍්‍රපටයෙන් සනිටුහන් වන්නේ ඔබගේ ආත්ම ප‍්‍රකාශන සිනමාවේ ඇරඹුමද?

‘අක්ෂරය’ සිනමා කෘතියට පසුව මා නිමැවූ සිනමා කෘතින් සිනමා විචාරකයන් ඇතුළු බොහෝ දෙනා දුටුවේ, සිනමාව තුළ තැබූ ‘හඳගම ලකුණ’ මා මඟහැර යෑමක් ලෙසයි. ‘ඇගේ ඇස අග’ මා නැවත මාගේ මූලයන් වෙත ඒමක් ලෙස ඔවුන් වටහාගන්න ඉඩ තිබෙනවා. ඉන් ඔබ්බට ගොස් ඔබේ ප‍්‍රශ්නයට උත්තර දෙනවා නම්, ඔව්, මෙය අපගේ ජීවිතයට සමීප අත්දැකීමක් තමයි. මෙම චිත‍්‍රපටය පෙන්වන යථාර්ථයට අපි කවුරුත් ජීවිතේ කවදා හරි නිරාවරණය වී තිබෙනවා. මේ වනවිට මෙම චිත‍්‍රපටය නැරඹූ බොහෝ දෙනා, ගැහැනු, පිරිමි භේදයකින් තොරව දැක්වූ අදහස්වලින් මෙහි යම්කිසි කොටසක් ඔවුන්ගේ ජීවිතවලටත් අයිති බව පෙනුණු දෙයක්. ඊට මා ද ඇතුළත්. මේ අර්ථයෙන් මෙම සිනමා කෘතිය මාගේ ආත්ම ප‍්‍රකාශනයක් ලෙස දැකීමේ වරදක් නැහැ. එහෙත් මෙය අතිශය පුද්ගලික තත්ත්වයක් නොවෙයි, ලාංකික සමාජය කියවීමේදී ඉතාම පොදු තත්ත්වයක්.

මීට අමතරව, ‘ඇගේ ඇස අග’ චිත‍්‍රපටයේ කතා තේමාව මීට පෙර සිනමාවේ නැවත නැවතත් කතාවට බඳුන් වුණු විෂයක්. මාගේ චිත‍්‍රපටයේ ඇති විශේෂත්වය ඒ හරහා අප රටේ දේශපාලන ගතිකයන් තේරුම් ගැනීම සඳහා ප‍්‍රවිෂ්ටයක් ලබා දීමයි. එම නිසා මෙය මාගේ ආත්ම ප‍්‍රකාශනයක් වන අතරම, සමාජය පිළිබඳ දේශපාලන කියවීමකුත් වෙනවා.

ඔබ ඔබටම සුවිශේෂ වූ සිනමා අඛ්‍යානයක් සහ සිනමා ශෛලියක් ලාංකීය සිනමාවට හඳුන්වා දුන් සිනමාකරුවෙක්. එහෙත් ‘ඇගේ ඇස අග’ ඔබගේ නවතම සිනමා කෘතියේ මෙම සුවිශේෂීතාව වෙනුවට අප දකින්නේ හොලිවුඞ් ආකෘතියට වැඩි නැඹුරුවක් දක්වන විදියේ ආඛ්‍යාන රටාවක්.

ඔව්, මෙය එක් අතකින් හොලිවුඞ් ආකෘතියට අයත්වෙද්දී, අනික් අතින් අවමතාවාදී ලක්ෂණ ද පෙන්නුම් කරනවා. උදාහරණයකට ‘මේ මගේ සඳයි’ චිත‍්‍රපටයේ තිබූ සීමිත දර්ශන තලයකදී කැමරාව ස්ථානගත වුණේ එකම තැනක. එය මාගේ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත‍්‍රපටයේත් දකින්න පුළුවන්. එම ලක්ෂණය ‘ඇගේ ඇස අග’ චිත‍්‍රපටයේද දකින්න පුළුවන්. එහෙත් මාගේ අනෙකුත් චිත‍්‍රපටවලට වඩා මෙහි කිසියම් පරිසමාප්ත බවක් දැකිය හැකියි. එම පරිසමාප්ත බව මෙම කෘතිය තුළින් කියැවෙන සමාජ වටපිටාවට අනිවාර්යයක්.

චිත‍්‍රපටයේ කතා තේමාවට සමාන්තර කතා තේමා රැගත් විදේශීය සිනමා කෘති රැසක් තිබෙනවා. ලංකාවේ මෙම කතා තේමාවම ස්ත‍්‍රී කෝණයකින් නිර්මාණය වූ වේදිකා නාට්‍යයක් තමයි ධනංජය කරුණාරත්නගේ ‘ඇසිඞ් වැස්ස’. ඔබගේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රගන තරුණ විය ඉක්මවූ මහාචාර්යවරයා හා සමාන වූ වයසක වන කාන්තා චරිතයක් තමයි ‘ඇසිඞ් වැස්සේ’ ප‍්‍රධාන චරිතය වෙන්නේ. එහෙත් මොවුන් දෙදෙනාට අත්වන්නේ එකිනෙකට පරස්පර වූ ඉරණම් දෙකක්. ගැහැනියකගේ ආකර්ෂණය හැමවිටම ඇගේ ශරීරයට සීමාවෙද්දි, පිරිමියෙකුගේ ආකර්ෂණය ඔහු සතු සිවිල් බලය හරහා ගොඩනැගෙන්නක්.

ඔව්, ගැහැනියක් හැම විටම ස්ථානගත වන්නේ ලිංගික වස්තුවක් හැටියට. පිරිමියකු වයසින් මුහුකුරා යනවිට ඔහු සතු සිවිල් බලය වැඩිවීමත් සමග ඔහුට වැඩි ආකර්ෂණයක් ගෙනඒමක් සිදුවෙනවා. එහෙත් ගැහැනියක් වයසින් මුහුකුරා යද්දි ඇගේ ශරීරයේ ආකර්ෂණය ගිලිහී යෑමත්, ඇය වඩ වඩාත් පවුල තුළට සීමාවීමත් සිදුවෙනවා. මෙය ඉතාම සංකීර්ණ තත්ත්වයක්. එය තමයි ගැහැනියකගේ ජීවිතේ ඛේදවාචකය. චිත‍්‍රපටයේ ස්වර්ණා රඟන කාන්තා චරිතය මේ තත්ත්වය ජයගන්න හදන්නේ ඇගේ සැමියාගේ ආශාව වන විශ්වවිද්‍යාල ශිෂ්‍යාව ඔවුන්ගේ නිවසට රැුගෙන ඒමෙන්. ආශාව දුරින් තිබෙන තරමට එය ආකර්ෂණීයයි. එහෙත් එහි බාධාව ඉවත් වී තමා ඉදිරියේ අභිමුඛ වූ සැණින් එය බිඳෙනවා. වාෂ්ප වී යනවා.

ස්වර්ණා මල්ලවාරච්චි සිංහල සිනමාවේ මෙන්ම පේ‍්‍රක්ෂකාගාරයේද කලකදී ලිංගික වස්තුවයි. ඇගේ නිදහස්කාමී රංගන කෞශල්‍යය, බටහිර ආරට වැඩි නැඹුරුවක් දැක්වූ රූප ස්වභාවය එකල සිංහල සිනමාවට නැවුම් හැඩයක් එක් කළා. මේ වන විට මැදිවිය ඉක්මවූ ගැහැනියක වන ඇය, කලකට පසු නැවත සිනමාවට පැමිණෙන්නේ ඔබේ නවතම සිනමා කෘතිය හරහායි. ඔබ ඔබේ සිනමා කෘතියේ ගොඩනඟන චරිතය හා ස්වර්ණාගේ සැබෑ ජීවිතය හා පේ‍්‍රක්ෂකයන් අනන්‍ය වීම නොවැළැක්විය හැකියි. මෙහි එන අනික් ගැහැනු චරිතය රඟපාන රිතිකා කොඩිතුවක්කුද යම් කිසි තරමකට ස්වර්ණාගේ තරුණ අවදිය සිහිගන්වනසුලූ රූපකායක් සහිත දක්ෂ නවක නිළියක්. තෝරාගැනීම සිදුකිරීමේදී මේ කාරණා ගැන ඔබ කෙතරම් දැනුවත්ද?

තිරපිටපත රචනයේදී සිටම ස්වර්ණා මා මේ සඳහා තෝරාගෙන තිබුණා. ස්වර්ණා සිනමාවේ ලිංගික වස්තුවේ සිට වයසින්, අත්දැකීමෙන් හා ශරීරයෙන් මුහුකුරා ගිය ස්ත‍්‍රිය දක්වා වූ ඇගේ ජීවිතයේ සංක‍්‍රාන්ති ක්ෂේත‍්‍රය තුළ මෙන්ම ඉන් පිටතත් බොහෝ දෙනා දන්නා කාරණයක්. මෙයට කිසිවෙකු නොදන්න මැදිවියේ කාන්තාවක් යොදා ගත්තා නම් මෙම චරිතයෙන් ගම්‍ය විය යුතු අදහස එලෙසම හෙළි නොවන්නට ඉඩ තිබුණා. මෙම චරිතය සඳහා ඇයම මා යොදාගැනීම ඉතාම සවිඥානික තෝරා ගැනීමක්. මෙහි අනෙක් ගැහැනු චරිතය සඳහා සිනමාවේ හෝ ටෙලිනාට්‍ය තුළින් දැක නැති නවක නිළියක් යොදා ගැනීමෙන් මෙහි ගොඩනැඟීමට අවශ්‍ය වූ අර්ථය එලෙසම ආරක්ෂා වූ බව මං විශ්වාස කරනවා.

වූඩි ඇලන් නමැති ඇමෙරිකානු චිත‍්‍රපට අධ්‍යක්ෂකවරායාගේ ‘විකී ක්රිස්ටිනා බාසිලෝනා’ නැමැති චිත‍්‍රපටය ආදර සම්බන්ධතාවක තුලනය ඇති කරන පිටතින් පැමිණෙන තුන්වැන්නෙක් පිළිබඳව කතා කෙරෙන චිත‍්‍රපටයක්. ඔබගේ චිත‍්‍රපටයේත් මහාචාර්යවරයාගේ කුටුම්බයට පිටතින් පැමිණෙන තුන්වැන්නා කුටුම්බයෙන් පිටවී ගිය පසු ඔවුන්ට දැනෙන සාංකාව එක් තැනක නිරූපණය වෙනවා. චිත‍්‍රපටය අවසානයේදී වාහනය තුළ සිදු වන කතාබහෙන් ඔවුන් තිදෙනා අතර කලින් නොතිබුණු සාම්‍යයක් පේ‍්‍රක්ෂකයාට හැෙඟනවා. ඔබගේ සිනමා නිර්මාණයෙන් ඔබ යෝජනා කරන්නේ එවැන්නක්ද?

ඕනෑම කුටුම්බගත ජීවිතයක් කාලයක් යද්දි හරිම ඒකාකාරී ස්වභාවයක් ගන්නවා. විවාහය කියන ආකෘතිගත සංස්ථාව තුළට ඇතුළු වෙද්දීම අපට අහිමි වන, සීමා වන ජීවිතයක් තියෙනවා. මේක කිසිම කෙනෙකුට හැර යා නොහැකි සත්‍යයක්. බොහෝ විට මේ හරහා ස්ත‍්‍රීන් ආගමට වන නැඹුරුව වැඩියි. චිත‍්‍රපටයේ මෙම පිටතින් ඇතුළු වන තුන්වැන්නා නිසා එතෙක් එම පවුල තුළ පැවති ඒකාකාරී බව කැඩෙනවා. ඒ තුළ වෙනදා නොපැවති ආතතියක්, රිද්මයක් හට ගන්නවා. එතෙක් පැවති ඒකාකාරී, නිරස පැවැත්මට වඩා, මෙම තුන්වැන්නා නිසා ඇති වෙන ගැටීම රසවත්. තුන්වැන්නාගේ ආගමනයෙන් එම කුටුම්බය තුළ පිරෙන යම්කිසි දෙය, ඇගේ නික්මයෑමෙන් නැවතත් හිස් වෙනවා.

ආශාව පවතින්නේ එය සම්පූර්ණ නොවන තාක් කල් පමණයි. මේ තත්ත්වය නිසාම අද බොහොමයක් බටහිර රටවල Living Solo කියන ජීවන විලාසයට වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා. එමගින් සමාජ ක‍්‍රියාකාරී කාර්යයන් තුළ වැඩි වශයෙන් නියැලීමට ඔවුන්ට කාලය මෙන්ම මානසික නිදහසද ලැබෙනවා.

රිතිකා කොඩිතුවක්කු හරහා ඔබ ගොඩනගන ආක‍්‍රමණශීලී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවගේ චරිතය, තරමක් සුමට වූවා නම් ඇය බිහි වන ග‍්‍රාමීය පරිසරයට වඩා ගැළපේයැයි ඔබ හිතන්නේ නැද්ද?

නැහැ, මා හිතන්නේ නගරයේ ස්ත‍්‍රියට වඩා ගමෙන් පැමිණෙන ස්ත‍්‍රිය වඩා ආක‍්‍රමණශීලියි. ඇයට අත්පත් කරගත යුතු දේ බොහෝ නිසා ඇගේ හැසිරීම කිසි ලෙසකින්වත් අහිංසක නැහැ.

පන්සල තුළ සිදුවන සිදුවීම නිසා චිත‍්‍රපටයේ එතෙක් පැවති ඒකාග‍්‍රතාව බිඳෙනවා. එය තරමක් ඕලාරික අනවශ්‍ය තමාට පැහැදිලි කරන්නට ගිය, චිත‍්‍රපටයට එතරම් අවශ්‍ය නැති දර්ශනයක් ලෙසයි මට දැනුණේ.

එය මා විසින් උවමනාවෙන් කරන ලද්දක්. එතෙක් චිත‍්‍රපටයේ පැවති රිද්මය කැඞීම මා ඉතාම දැනුවත්ව කරන ලද්දක්. මට එම දර්ශනයෙන් කියන්න උවමනා කළේ එතෙක් ඔවුන්ගේ කුට්ම්බය තුළ පැවති ශිෂ්ට සම්පන්න විසඳා ගැනීම් ඔවුන්ගෙන් පිටත ලෝකයේදී සිදුවන ප‍්‍රචණ්ඩකාරී, අශිෂ්ට ස්වභාවයයි.

නිදන කාමරයේදී තම ස්වාමියා පහුරු ගාමිනුත්, ස්වාමියාගේ ආශාව තම කුටුම්බය තුළටම රැගෙන විත් ඔහුට එය අභිමුඛ කිරීමෙනුත්, පන්සල් තුළ ප‍්‍රසිද්ධියේ පහන් වැටවල් උස්සාගෙන ප‍්‍රචණ්ඩකාරීව හැසිරීමෙනුත් ස්ත‍්‍රිය සෑමවිටම සොයන්නේ තම ස්වාමියාගේ මනසේ තමන්ට සතු ස්ථානයයි.

ඔව්, ස්ත‍්‍රිය හැමවිටම සොයන්නේ ඔහුගේ මනසේ තමා කවුද, තමා කොතනද ස්ථානගත වෙන්නේ කියන දෙයයි. එය ලිංගික ඊර්ෂ්‍යාව ඉක්මවා ගිය ස්ත‍්‍රියටම අවේණික වූ ආත්ම මූලික වේදනාවක් ප‍්‍රකාශමාන වීමක්.

අනුරාධා කෝදාගොඩ