Sunday, 17 November 2019
'සිනමා කර්මාන්තය ඇතුලේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා'

'සිනමා කර්මාන්තය ඇතුලේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා' Featured

ඇතැම් සිනමා නිර්මාණ සිනමා ශාලාවල ප්‍රදර්ශනයට පැමිණීමට පෙරම බොහෝ අයගේ කතාබහට ලක් වෙනවා. ඒ වගේම විචාරක ප්‍රසාදයට පාත්‍ර වෙනවා. දැකලා පුරුදු කෙනෙක් සිනමා පටය අහලා පුරුදු නමක් වී තිබෙන්නෙත් බොහෝ පිරිස් අතර කතා බහට ලක් වූ නිසා වන්නට ඇති. පසුගියදා එම නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන මලිත් හෑගොඩ සහ තිරපිටපත රචනා කළ භූපති නලින් සමග රිවිර අප කළ සාකච්ජාවකි මේ.

Dekalapurudu

තවම මෙරට ප්‍රේක්ෂකාගාරයට ප්‍රදර්ශනය නොකළත් බොහෝ අය මේ සිනමා නිර්මාණය ගැන කතාබහ කරනවා. ප්‍රදර්ශනයටත් පෙරම ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

මලිත් : ලංකාවේ ප්‍රදර්ශනය නොකළත් ලන්ඩන් සිනමා උළෙල, කැනඩාවේ මොන්ට්‍රියල් උළෙල, ඇමෙරිකාවේ සියැටෙල් ආසියානු සිනමා උලෙළ සහ ඉන්දුනීසියාවේ ජෝර්ග්ජා නෙට්පැක් අන්තර්ජාතික සිනමා උළෙලවල් නියෝජනය කළ නිසා ඒ රටවලදී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට හැකි වුණා. ඒ අවස්ථාවලදී හොඳ ප්‍රතිචාරත් හිමි වුණා. විශේෂයෙන්ම කියන්න ඕන ලන්ඩන් සිනමා උළෙලේදී ලාංකිකයන් බොහෝ පිරිසක් "දැකලා පුරුදු කෙනෙක්" බලන්න පැමිණියා. ලංකාවේ මධ්‍යම පාන්තික පවුලක් ඇතුලේ ඇතිවන ගැටුමක් සිනමාපටයේ තේමාව වන හින්දාමදෝ ඔවුන්ගෙන් ලැබුණේ බලාපොරොත්තු වුණාටත් වැඩි ප්‍රතිචාරයක්. මොකද මේ නිර්මාණයේ කතා තේමාව බොහෝ අයට පෞද්ගලිකව පවා අත්දකින්න ලැබෙන දෙයක් කියා අපි විශ්වාස කරනවා.

කුටුම්භය සම්බන්ධ වූ කතා වස්තුවක් ඔබ පිටපත රචනා කිරීමේදී යොදා ගන්නවා. පොදු තේමාවක් නමුත් ඒ තුළ වූ සංකීර්ණ තැනකින් ගැටුම අල්ලාගන්න බලපෑ විශේෂ හේතුවක් තිබුනාද? පෞද්ගලික අත්දැකීමක් වැනි යමක් ?

භූපති : කලා නිර්මාණයේදී පෞද්ගලික හෝ පොදු යැයි කියා වෙන් කිරීමක් සිදු කරන්න බැහැ ඇත්තටම. මොකද මලිත්ටත් මටත් විවාහය සම්බන්ධ අත්දැකීම් නැහැ. මෙය සමාජයේ හැසිරීමෙන් ලබාගත් අත්දැකීමක ප්‍රතිඵලයක්. අපගේ පරම්පරාවට පෙර පරම්පරාවත් අපගේ පරම්පරාවත් අතර ලොකු වෙනසක් අපි දකිනවා. විශේෂයෙන්ම අපට පෙර පරම්පරාව ප්‍රේම කරපු විදිහ,විවාහ ජීවිත ගත කරපු විදිහ අප අසා දැක තිබෙනවා. නමුත් වර්තමානයට එනකොට කුටුම්භය බරපතළ පරිවර්තනයකට ලක් වුවත් තවමත් කුටුම්භයේ බාහිර රාමුව ඉතිරි වෙලා තිබෙනවා. මදය දිය වෙච්ච රාමුව විතරක් ඉතිරි වෙච්ච කුටුම්භයක් අපි සිනමාපටයේ ආඛ්‍යානය විදිහට යොදා ගන්නවා. එය අප ලැබූ සමාජීය අත්දැකීමක්.

නූතන භාවිතාවන් සමග කුටුම්භයේ ගැටීමක් මේ තුළ සාකච්ජා වෙනවා නේද ?

භූපති : මේ ගැටීම හුදෙක් තාක්ෂණය නිසාම සිදුවන දෙයක් නෙමෙයි. නමුත් තාක්ෂණය භාවිතාවෙන් මේ ගැටුම භාහිරට පේන්න ගන්නවා. නූතන භාවිතාව ඇතුළේදී අපි අපිටම පාස්වර්ඩ් දාගෙන පටු තැනක හිර වෙලා ඉන්නවා. ඒ ගැටුම අපි සිනමාපටයෙන් එළියට දානවා.

බිමල් ජයකොඩිගේ සහ සමාධි ලක්සිරිගේ රංගනය සම්බන්ධව බොහෝ අය ප්‍රශංසාත්මකව කතා කළා. ඔවුන් චරිතයට අනුගත වූ ආකාරය ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද ?

මලිත් : තිර පිටපතේදී චරිත නිර්මාණය කරන්නෙත් සමාධි කියන රංගන ශිල්පිනියව ඊට ආදේශ කරගෙන. ඊට පෙර මා ඇයත් සමග වේදිකා නාට්‍යයක සහ ක්ෂේත්‍රයේ තවත් කටයුතු සමග එකට වැඩ කරලා තිබෙනවා. ඒ හැඳිනගැනීමත් සමග මේ චරිතය නිර්මාණය වන්නේ ඇයටම කිව්වොත් නිවැරදියි. ඊට පස්සේ තමයි අපි බිමල්ව අනෙක් චරිතයට තෝරා ගත්තේ. අනෙක් කාරණාව අපි නළු නිළියන් සමග ඉතා ගැඹුරෙන් මේ කතා තේමාව ගැන බොහෝ කාලයක් කතාබහ කළා. පිටපතේ අන්තර්ගතය ගැන කතා කරමින් ඒ ඒ චරිතවල හැඩයන් මතුකරන්න අපි ලොකු උත්සාහයක් ගත්තා.

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වන එම්.ඩී මහින්දපාල මහතා තමයි ඔබලාගේ නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂවරයා. ඔහු පිළිබඳවත් යමක් කියන්න ඇති ?

භුපති : ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔහුගේ කාර්යභාරය ගැන අපිට වෙනම හිතන්නවත් අවශ්‍ය වුණේ නැහැ. වසර ගණනාවක් අපි ඔහුගේ ශිෂ්‍යයන් විදිහටත් වර්තමානයේ යහළුවන් විදිහටත් ඉතා කුළුපගව ඇසුරු කළත් නිර්මාණය ඇතුළේදී ඔහු අපිත් එක්ක හොඳින් ගැටුණා.

මලිත් : ඔහු ඉතා පිළිවෙලට වැඩ කරන පුද්ගලයෙක්. කැමරා අධ්‍යක්ෂණයේදීත් එහෙමයි. දීර්ග කාලයක් පෞද්ගලිකව ඔහුව දැන හැඳිනගෙන සිටීම චිත්‍රපටය කිරීමේදී පහසුවක් වුණා. නිතරම අපත් සමග තර්ක විතර්ක කරමින් නිර්මාණය ඇතුලේ සක්‍රීය දායකත්වයක් දැක්වූවා. විශේෂ කාරණාව වෙන්නේ මේ තමයි ඔහුගේ ප්‍රථම ඩිජිටල් වෘතාන්ත සිනමාපටය. කෙසේ හෝ අවසානය දක්වා ඔහු අප සමග සිටිමින් සියයට සීයක් නිර්මාණයට දායක වුණා.

අධ්‍යක්ෂණය සහ තිර රචනය කියන්නේ වෙනම භූමිකා දෙකක්. ඔබ දෙපළ ගැටලුවකින් තොරව මේ නිර්මාණය ගොඩනැගුවද? ගැටුම් තුළින් මෙය ගොඩ නැගුවද ?

භූපති : ඇත්තටම මේක ඇතුළෙ තිබුණේ ගැටුම්ම විතරයි. අපි හැම වෙලාවේම මේ සම්බන්ධව ගැටුණා. මෙය ගැටීමක් සමග බිහි වූ නිර්මාණයක්.
මලිත් : අපි දෙන්නා ලෝක දෙකක්. ඒත් අපි දෙන්නා සිනමාවට දක්වන සම්බන්ධය එකක්. සිනමාව සම්බන්ධ අපේ අරමුණ එකක්. නිර්මාණය ඇතුළේ අපේ ගැටුම පෞද්ගලික ගැටුමක් නොවෙයි. එය හුදෙක් නිර්මාණ කාර්යයේදී පමණක් සිදු වූ ගැටුමක්.

දැකලා පුරුදු කෙනෙක් ලබාපු සම්මාන ගැන කතා කළොත් ?

මලිත් : පසුගියදා අවසන් වුණු දෙරණ සිනමා සම්මාන උළෙලේදී Most Promising Director සම්මානය මට හිමි වුණා. යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයක් හිමි වුණා. අන්තර්ජාතික සිනමා උළෙලවල් වූ මොන්ට්‍රියල් ලෝක උළෙලේදීත් ඉන්දුනීසියාවේ ජෝර්ග්ජා නෙට්පැක් උළෙලේ සම්මාන සඳහා නිර්දේශිත නාම අතරට පැමිණීමටත් "දැකලා පුරුදු කෙනෙක්" සමත්වීම සතුටක්.

දැකලා පුරුදු කෙනෙක් මෙරට ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන්නේ කවදාද ?

භූපති : ලංකාවේ සිනමාව අර්බුදයකට ගිහින් තිබෙන වකවානුවක තමයි අපට මේ නිර්මාණය පෙන්වන්න වෙලා තිබෙන්නේ. ලංකාවේ චිත්‍රපට තිර කාලයේ ප්‍රශ්නයක් තිබෙනවා. චිත්‍රපට තිරකාලය වැඩි කරනවා නම් අලුත් නිර්මාණකරුවන්ටත් එයින් යහපතක් සිදු වේවි. අනෙක් කාරණාව සිනමා කර්මාන්තය ඇතුලේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. එයත් කර්මාන්තය බිඳ වැටීමට හේතුවක් වෙලා.

මලිත් : දැනටමත් අපි මේ නිර්මාණය අවසන් කරලා අවුරුදු දෙකක් වෙලා. තවමත් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යාම අවිනිශ්චිත වෙලා තිබෙනවා. ප්‍රදර්ශනය කිරීමේ අවසරය ලැබී දැන් බොහෝ කල්. අපිට පසුකාලීනව චිත්‍රපට නිෂ්පාදනය කළ අයගේ චිත්‍රපට ප්‍රදර්ශනය වුණා. ලංකාවේ චිත්‍රපට බෙදාහරින්නේ අදාළ මණ්ඩලවල වෙළඳපොළ තර්කනය මත මිසක් යම් ස්ථාවර වැඩපිළිවෙලක් අනුව නොවෙයි. ඒ නිසා අපි මේ වෙලාවේ පීඩනයකට ලක්වෙලා ඉන්නවා. නමුත් අපි උපරිම උත්සාහ කරනවා හැකි ඉක්මනින් මේ නිර්මාණය ප්‍රේක්ෂකයන් අතරට රැගෙන එන්න.

අවසන් වශයෙන් ස්තූති කිරීමට හෝ සඳහන් කිරීමට අවශ්‍ය අය සිටිනවද ?

මලිත් : නිෂ්පාදන අංශයෙන් සහාය දැක්වූ ලාල් හෑගොඩ, රසංග දිසානායක, මොහොමඩ් ඇඩම්ලි, නදීරා ඇඩම්ලි යන මහත්ම මහත්මීන්ටත් නන් අයුරුන් සහාය දැක්වූ සියලුම දෙනාටත් ස්තූතිවන්ත විය යුතුයි.

සාකච්ජා කළේ : අයේෂ් ඩිෂාන් ලියනගේ

(රිවිර - ජුනි 10 සිකුරාදා පළවූ ලිපිය ඇසුරෙනි)

 

Last modified on Monday, 13 June 2016 07:48