Sunday, 20 October 2019
'උතුරේ අත්දැකීම දකුණේ සමාජයට තේරුණේ නැහැ'

'උතුරේ අත්දැකීම දකුණේ සමාජයට තේරුණේ නැහැ'

ගල්කන්දේ ධම්මානන්ද හිමි (වල්පොල ශ‍්‍රී රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධිපති) සමඟ කළ කතාබහකි.

ජාති, ආගමික, කුල ආදි අනන්‍යතා පිළිබද ඔබවහන්සේට වෙනස් දැක්මක් තියෙනවා?

වෙන අය වගෙම මාත් ඉපදෙන්නේ එක්තරා භාෂාවකට ජාතියකට අයිති වෙලා. නමුත් එහෙම ඉපදිලා ගොඩනැගෙද්දී, බුදු දහම වගේ විශිෂ්ට ආගමකින් පෝෂණය ලබද්දී ඒක ඉක්මවා යන තැනකට එන්න අපිට උදවු ලැබෙනවා. නමුත් රටේ බහුතර සාමාන්‍ය ජනතාව දිහා බලද්දී පේනවා, ඒ අයගෙන් වැඩි කොටසක් ඒ තැනට එච්චර ළං වෙලා නැති බව.
සාමාන්‍ය ජනතාවට ඔබ කියූ අනන්‍යතාවන් ඉතාම වැදගත්. ජාතිය එක්ක ආගම එක්ක කුලය එක්ක මේ අය නිතැතින් අනන්‍ය වෙනවා. මේ අනන්‍යතා අවශ්‍යතාව ඔවුන්ට ගොඩක් වෙලාවට එන්නේ ආරක්ෂාව පිළිබ`ද ප‍්‍රශ්නයත් එක්ක. තමන්ගේ ආරක්ෂාව ගැන කෙනෙක්ට බයක් තියෙනවා නම්, ඒ බයෙන් ගැලවීම ස`දහා ඔහු තමන්ට කිසියම් ආකාරයෙන් අනන්‍ය පිරිසකට ළං වෙන්න උත්සාහ ගන්නවා. උදාහරණයක් විදිහට ලංකාව ඇතුළේ මිනිස්සු ගොඩක් වෙලාවට අනන්‍ය වෙන්නේ ප‍්‍රදේශ අනුව. මම දකුණේ නම් යමෙක් එක්ක සම්මුඛ වෙද්දී මං බලනවා එයත් දකුණේ ද කියලා. ඒ වගේම පිටරටකදී නම් මං බලන්නේ එයා ලංකාවෙද කියලා.

ඇත්තටම මේ කියන බිය නැත්තම් මිනිස්සුන්ට ගොඩක් දුරට එකතුවෙන්න පුළුවන් ලොකු ප‍්‍රශ්න හදාගන්නේ නැතිව.

නමුත් මේ විදිහේ පොදු අනන්‍යතා ඒකකයක් ඇතුළේවත් මිනිස්සුන්ට සාමූහිකත්වය ගොඩනගාගන්න බෑ නේද?

ඒක ඇත්ත. ගොඩක් වෙලාවට මිනිස්සු ගැටුම්වලට යන්නේ තමන් අයිතිය කියන කණ්ඩායම රැකගන්න කියලනේ. තමන් අයිති කණ්ඩායම රැකගන්නවා කියන්නේ එක පැත්තකින් තමන් රැකෙන එක. ඔබ කිව්වා වගේ, මේ වගේ අනන්‍යතා කණ්ඩායමක් එකතු කරලා ඒ අයට විතරක් ජීවත් වෙන්න දුන්නොත් ඒ ඇතුළේ තවත් විශාල බෙදීම් ඇතිවෙනවා. ක්ෂුද්‍ර අනන්‍යතාවන් ගොඩනැගෙනවා. ඉරිසියාවන් ඇතිවෙනවා. ගැටුම් හටගන්නවා.

ගොඩක් වෙලාවට එකිනෙකාගේ දියුණුවට උදවු නොකරන, අනිකාගේ දියුණුව නොරුස්සන, සමාන අනන්‍යතාවක් සහිත කණ්ඩායම් වෙන වටයකදී වෙනත් අනන්‍යතාවක් එක්ක කණ්ඩායම් හැ`ගීමෙන් එකතු වෙනවා. ඒ නිසා මේ කියන අනන්‍යතාවන් සම්පූර්ණයෙන් මකන්න බෑ.

කොහොම වුණත්, අනන්‍යතා මත ගැටුම් සහ අවිශ්වාසයන් ඇතිවෙන්නේ ගොඩක් දුරට අර කියූ අනාරක්ෂිතබව සහ අස්ථාවරබව නිසා.

බිය අනන්‍යතාවන් මතු කරන ප‍්‍රධාන සාධකයක් වුණත්, අනන්‍යතාවන් නිර්මාණය කිරීමේත් පවත්වාගෙන යෑමේත් සියුම් කාරකයක් විදියට රටක දේශපාලන අධිකාරීත්වයන් වැඩ කරනවා?

ඒක ඇත්ත. ඕනෑම රටක සමහර කණ්ඩායම් තමන්ගේ බලය පවත්වාගෙන යන්න අනන්‍යතාවන් පාවිච්චි කරනවා. සමාජය බෙදා පාලනය කිරීමේ පහසුව ඒ අය අත්දැකීමෙන් දන්නවා. ඒ විතරක් නෙමෙයි, රටක තියෙන අස්ථාවරත්වය සහ අනාරක්ෂිත තත්ත්වයත් පාවිච්චි කරනවා.

ලොකු උදාහරණ අවශ්‍ය නෑ, ඉගනගත්තාට තමන්ගේ දරුවාට රස්සාවක් හම්බවෙයිද කියලා මිනිස්සු තුළ තියෙන සැකය ගන්න පුළුවන්. මේ ප‍්‍රශ්නයේ තියෙන්නේ අස්ථාවරත්වයක් සහ අනාරක්ෂිත බවක්. ඒ වගේ තැනක පවා අනන්‍යතා මත බෙදන්න සුදුසු පරිසරයක් තියෙනවා. ඉතින් බලය පිළිබ`ද අපේක්ෂා තියෙන අය මේ වගේ කරුණක් පවා ඉතාම හො`දින් පාවිච්චි කරනවා, එකම විදියට පීඩිත ඒ ඒ කණ්ඩායම් අතර භේදය අවුළුවන්න.

ඇත්තට ම මේවා අහම්බෙන් එන කාරණා නෙමෙයි තමයි. බලයත් එක්ක එන ඒවා. මොන අනන්‍යතා තිබුණත් මිනිස්සුන්ට සාමාන්‍ය විදියට ජීවත් වෙන්න දුන්නොත් මිනිස්සු විශාල ගැටුම්වලට යන්නේ නැතිව සාපේක්ෂ වශයෙන් හො`ද විදිහට ජීවත්වෙනවා. නමුත් මේවා බලයත් එක්ක සම්බන්ධ වෙද්දී තත්ත්වය බරපතළ වෙනවා.

අද ලංකාවේ තියෙන සමහර ප‍්‍රශ්න බලන්නකෝ. බටහිර ජාතීන් අපිට එරෙහිව කුමන්ත‍්‍රණය කරන්න බලන් ඉන්නවාය වගේ දේවල් ගොඩක් වෙලාවට බලයත් එක්ක සම්බන්ධ වුණ ප‍්‍රබන්ධ. කලින් කිව්වා වගේ විවිධ අස්ථාවර තත්ත්වයන් සහ බිය ඕනෑම රටක මිනිස්සු තුළ තියෙනවා. ඉතිං මේ වාගේ දේවල් අර විදියේ අස්ථාවර මානසිකත්වයෙන් හිටි කෙනෙකුගේ ඔළුවට දැම්මාම ඒ දේවල් සමාජයට විශාල හානියක් කරනවා. හැබැයි එහෙම වෙන්නේ ඒ විදියේ අස්ථාවර තත්ත්වයන් පිළිබ`දව ප‍්‍රාමාණික කියවීමක් නැති රටවල මිනිස්සුන්ට.

මේ කියන අනන්‍යතා සමහර වෙලාවට බාහිර සමාජය ඉක්මවා ගිහින් ඒවාට ප‍්‍රතිපාක්ෂික පදනම් සහිත ආගම් ඇතුළට පවා ඇවිත් තියෙනවා. බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් හැටියට ඒ ගැන ඔබවහන්සේට අදහසක් ඇති?

මට හිතෙන්නේ කලින් කියූ අස්ථාවර තත්ත්වයන් රට තුළ බරපතළව තියෙන එක සහ ඒවා පිළිබද විකල්ප කියවීම් නැතිකම තමයි මෙතැනදීත් බලපාන්නේ. මොකද අපේ රටේ ආගමික සංස්ථා පවා සමාජීය දේවලට ඥානනය වෙන්නේ පොදු සමාජ මතයත් එක්ක. විශේෂයෙන් ලංකාව ඇතුළේ විකල්ප කියවීම පිළිබ`ද මේ ප‍්‍රශ්නය උග‍්‍රයි.

දැන් බලන්න ඉන්දියානු නිදහස ගැන. ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කළ අය පිටත ඉන්න සතුරෙක් ගැන විතරක් නෙමෙයි කතා කළේ. කුල ප‍්‍රශ්න, ළදරු විවාහ වගේ සමාජ සංස්කෘතික දේවල් විතරක් නෙමෙයි ආර්ථික පිරිහීම් වගේ දේවල් පවා ඔවුන්ගේ අරගලයේ අරමුණු වුණා. ඇත්තටම ඉන්දියානු නිදහස් සටන හුදු සතුරෙකුට එරෙහි ව්‍යාපාරයකට වඩා පොදු නරකට එරෙහි ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයේදී ඒ අය යටත්විජිතවාදය ඇතුළේ ඉන්න හො`ද මිනිස්සු එක්ක පවා වැඩ කළා.

නමුත් අපේ සමාජ ව්‍යාපාර ගොඩනැගෙන්නේ විචාරශීලීව නෙමෙයි. ඒ වගේ තත්ත්වයක් තුළ විකල්ප කියවීමක් ගොඩනගන්න තමයි වල්පොල රාහුල හාමුදුරුවො වගේ අය කටයුතු කළේ. උන්වහන්සේ මේක පටන්ගත්තේ එක්දහස් නවසිය තිස්ගණන්වල ඉ`දලා. සත්‍යෝදය කියන පත‍්‍රිකා ලියමින් සහ ඒ පණිවිඩය අරගෙන රටේ තැන් තැන්වල යමින් නතර වෙමින් රාහුල හාමුදුරුවෝ ගෙන ගිය ඒ ව්‍යාපාරය ඉතාම ප‍්‍රබල හා ලංකා ඉතිහාසයේ වැදගත් එකක්.

මේ මගින් කුල ක‍්‍රමය තදින් විවේචනය වුණා. විශේෂයෙන් භික්ෂූන් අතර තියෙන කුල ක‍්‍රමය. බුද්ධ පූජාව වගේ බෞද්ධ චාරිත‍්‍රත් විචාරයට ලක් වුණා. නමුත් රාහුල හාමුදුරුවන් සත්‍යෝදය මගින් ගෙනෙන්න හදපු විචාරශීලී මනුෂ්‍යයා ඇත්ත වශයෙන්ම බිහිවුණේ නෑ.

ඒ විචාරශීලී මනුෂ්‍යයා බිහි නොවෙන්න හේතුව මොකද්ද?

වල්පොල රාහුල හාමුදුරුවෝ කොතරම් හොද දේවල් සමාජයට ඉදිරිපත් කළත් උන්වහන්සේ ගත් ප‍්‍රවේශයේ කිසියම් අඩුපාඩු තිබුණා කියලායි මට හිතෙන්නේ. එක පැත්තකින් රාහුල හාමුදුරුවෝ මේ තරම් ප‍්‍රබල කරුණු සමාජයට ගෙනාවත් උන්වහන්සේ ඒවා ගෙනාවේ අවුරුදු විසිගාණක් වගේ තරුණ වයසේදී.

විචාරශීලී නැතිව බුදු පිළිමයකට ආහාර පිදීම කියන කරුණ ගනිමු. ඒ දේ කරන මනුස්සයාට ඒ කටයුත්ත ඉතාම ස්විභාවිකයි. ඉතින් අපි එකපාරට ඒ වාගේ දෙයකට විවේචනයක් කළාම ඒක එයාගේ අනන්‍යතාවට විශාල හානියක් වෙනවා. එහෙමත් නැත්තම් එයා තමන්ගේ ලෝකය කියලා හදාගත් එකට ඒකෙන් බරපතළ විදියට අභියෝගයක් එල්ලවෙනවා. ඒක තමන්ට පුද්ගලිකව ආ එකක් විදියට ඔහුට දැනෙනවා. ඒ නිසා අපි මීට වඩා පුළුල් තැනකින් සාකච්ඡාව අරඹන්න ඕනෑ.

දැන් බලන්න, අපි නිදහස ලබලා අවුරුදු හැටක් වෙනවා. ඒ කාලය ඇතුළත අපි සමාජයක් හැටියට ඉස්සරහට ගිහින් තියෙනවාද. නෑනෙ. රටේ කැරලි තුනක් තිබුණා.මිනිස්සු ලක්ෂ ගාණක් මැරිලා රට ම ලේ විලක් වුණා. අපි නිදහස ලබද්දී ආර්ථිකය අතින් අපි හිටියේ ජපානයට ළ`ගින්. නමුත් අද තත්ත්වය මොකද්ද? ඒ නිසා ඒ විදිහේ පුළුල් තැනකින් සාකච්ඡාව ආරම්භ කරන්න ඕනෑ. අපේ විචාරය අපි එදිනෙදා කරන දේවලට හ`දුන්නලා දෙන්න ඕනෑ එහෙම. මිනිස්සු තමන්ගේ කියලා පවත්වාගෙන යන බරපතළ අනන්‍යතා ලොකුවට විවේචනය නොකර මිතුරු ස්වරූපයේ ප‍්‍රවේශයකට යන්න ඕනෑ. එහෙම නැතුව මිනිස්සු එක්ක සැබෑ සංවාදයකට යන්න බෑ. මොකද එතකොට ඒ අය අපි දිහා බලන්නේ තමන්ගේ සහ තම සංස්කෘතියේ සතුරෙක් විදියට. ඒ වාගේම අපේ සංවාදය තමන් සමග මිතුරු එකක්ය කියලා ඒ අය හ`දුනගන්නේ නෑ. ඇත්තටම අපි කරන්න ඕනෑ අපිරිසිදු බ`දුනට පිරිසිදු ජලය ටික ටික එකතු කරන එක. ඒකයි බුදුදහමෙන් එන අදහස.

බුදු දහමේ ඉතිහාසය ගත්තාම පේනවා එදත් බලයත් එක්ක කිසියම් ආකාරයකට ගනුදෙනවක් තිබුණා. නමුත් එදා භික්ෂූන් හිටියෙත් ආගම තිබුණේත් පාලකයන්ට වඩා උඩින්. ඒත් අද පාලකයන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් ඉටුකරන මට්ටමට ආගම් වැටිලා තියෙන ගතියක් පෙනෙන්න තියෙනවා නේද?

ඕක කිසියම් පිරිසකට විතරක් අදාළව ගන්න පුළුවන් එකක්. ලංකාවේ ඉන්න ඔක්කොම හාමුදුරුවරුන්ට ඔය චෝදනා එන්නේ නෑනේ. එහෙම කරන පිරිසුත් ඉන්නවා. ඒක ඇත්ත.

භික්ෂූන් වහන්සේ ඡුන්දයට යෑම වගේ දේවල් ගැන සමාජයේ ලොකු කතාබහක් තියෙනවා. නමුත් යමෙක් කොහේද යන්නේ කියන එක නෙමෙයි වැදගත්. ගිහින් කරන්නේ මොකද්ද කියන එක. යන කෙනාගේ අභ්‍යන්තරය කොච්චර දියුණුද කියන එක. ඒ අයගේ අභ්‍යන්තර වර්ධනය නිවැරදිව වුණේ නැත්තම් පාර්ලිමේන්තුවේ නෙමෙයි කොතැන ගියත්, පන්සලේ පල්ලියේ හරි කෝවිලේම හිටියත් සමහරවිට බොහෝම හානි සිදුකරන කෙනෙක් ඉතුරු වෙන්න පුළුවන්. ඒ අය අර වගේ තැනකට නොගිහින් හිටියොත් සමහර විට අඩුපාඩු පෙනෙන්නේ නැතිවෙන්න ඉඩ තියෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා වඩා ගැඹුරක් තියෙන, ආකල්ප අතින් දියුණු හාමුදුරු කෙනෙක් හරි වෙනත් ආගමික නායකයෙක් හරි ගොඩනගන්නේ කොහොමද කියන එකයි වැදගත්.

රටේ මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි ආගමික ආයතනවල ජීවත් වෙන පූජ්‍ය පූජක පක්ෂවල අයගේ පවා දැනුම තුළ විශාල අඩුවක් තියෙනවා. මේ ගැටලූවට රටේ මාධ්‍යත් විශාල වශයෙන් වගකියන්න ඕනෑ. මාධ්‍ය මගින් සමාජයට දෙන්නේ මොනවාද, ඔවුන් ඇත්ත තත්ත්වය සමාජගත කරනවාද කියන ගැටලූව තියෙනවා.

උදාහරණයක් විදියට යුද ජයග‍්‍රහණය කියන එක ගනිමු. මේක මාධ්‍ය මගින් සමාජගත කළේත් ජනතාව බාරගත්තෙත් කොහොමද. හුදෙක් රතිඤ්ඤා දාලා කිරිබත් කාලා සැමරිය යුතු ජයග‍්‍රහණයක් විදියට විතරයිනේ. මේ ජයග‍්‍රහණය සැමරීමට අමතරව අල්ලගත් භූමිය බලන්න යන එක, බංකර් බලන්න යන එක තමයි ජනප‍්‍රිය වුණේ. යුද්ධයෙන් ගෙවන්න වුණ මිල ගැන මාධ්‍යට අදහසක් තිබුණාද? ඒ ගැන සමාජයේ දැනුවත්මක් තිබුණාද? නෑනේ.

යුද්ධය පටන්ගන්න කාලේදී උතුරු නැගෙනහිර ජීවත් වුණු බොහෝමයක් මිනිස්සුන්ට තමන්ගේ ගම්බිම් ගෙවල් දොරවල් අතහැරලා තැන්තැන්වලට යන්න වුණා. මේ අය ගමන පටන්ගන්නේ තමන්ගේ බල්ලා පූසාත් අරගෙන, තමන්ගේ කිරි එළදෙනත් ගැටගහගෙන, ඇ`දුම්පැළ`දුම් බඩුබාහිරාදියත් කරත්තවල පුරවාගෙන. නමුත් ඒ මිනිස්සු අවුරුදු දෙකක් දෙකහමාරක් තැනින් තැනට යද්දී අන්තිමට ඉතුරුවෙන්නේ වැරහැලි වුණ ඇදුම්කැඩුම් කීපයක් තියෙන කුඩා මල්ලක් විතරයි. තමන් ආදරය කළ සතා සීපාවා නෑ. බඩු බාහිරාදිය නෑ. ඒ විතරක් නෙමෙයි බොහෝවිට තමන් මුලින් පිටවෙද්දී තමන් එක්ක ගෙදරින් පිටවුණු සමහර සාමාජිකයනුත් නෑ. අන්තිමට ඉතුරුවෙන්නේ නාලා නැති, කාලා නැති, කොණ්ඬේ පීරලා නැති වැරහැලි ඇ`දගත් පරාණ කීපයක් විතරයි. නමුත් ඒ අත්දැකීම දකුණේ සමාජයට ඒ විදියට තේරුණාද? දකුණේ සමාජයට ඒ දුක් කතාව ඒ විදියට පෙන්නුවාද? ඒත් නෑනේ.

තමන් ජීවත්වෙන ප‍්‍රදේශයක සන්නද්ධ කටයුතු වෙලා මේ විදියේ දෙයක් වුණොත් තමන්ට වෙන්නේ මොකද්ද කියලා ස්වයංපරිකල්පනයකට එන්න අපේ මිනිස්සුන්ට අවස්ථාව හදලා දුන්නේ නෑ. ඒ අත්දැකීමට මුහුණ දුන් මිනිස්සුන්ගේ ලක්ෂ ගණනක් ජීවිත කතා මාධ්‍යයට ගෙනාවෙ නෑ. ඒ අත්දැකීමට සම්බන්ධ වෙන්න දකුණේ මිනිස්සුන්ට පාලකයනුත් ජනමාධ්‍යයත් ඉඩ හදලා දුන්නේ නෑ. ආගමික නායකයන්ගේ සිතුවිලි පවා ගොඩනැගෙන්නේ මේ වටපිටාව මගින්ම නිසා ඒ අයත් ප‍්‍රමාණවත් විදියට මේකට සම්බන්ධ වුණේ නෑ.

ඇත්තට ම ඒ දේ නිවැරදිව වුණා නම් දකුණේ මිනිස්සු මේ අවස්ථාවේ කරන්නේ සැමරීම් නෙමෙයි, සුනාමිය අවස්ථාවේ ඊට මුහුණදුන් මිනිස්සුන්ට කළා වගේ උපකාර. ඒ දේ ඒ විදියට වුණේ නැති නිසා අද යුද්ධයට මුහුණදුන් ඒ මිනිස්සුත් දකුණේ අනික් මිනිස්සුත් ජීවත් වෙන්නේ වෙනස්ම යථාර්ථ දෙකක. ආගමික නායකයන් ගත්තත් ඔවුන්ගෙන් අතිබහුතරය බෙදිලා ඉන්නේත් මේ යථාර්ථ දෙක තුළම තමයි. ඒ අය වුණත් මේකේ ගැටලූව දන්නේ නෑ. ඉතින් රටේ සංහි`දියාව පිළිබ`ද අවධානය යොමුවෙලා තියෙන මේ වෙලාවේවත් අපිට මගහැරුණ ඒ දේ නිවැරදි කරගන්න පුළුවන් නම් හරි.

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර

(රාවය)