Friday, 13 December 2019
'මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සප්ත කන්‍යා' - සංගීතා

'මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සප්ත කන්‍යා' - සංගීතා

මම මුලින්ම සිනමාවට පිවිසුණේ 1991 දී රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ ඉංග්‍රීසි චිත්‍රපටයකින්. ඉංග්‍රීසි නිසාදෝ ඒ ගැන ප්‍රේක්ෂකයාට එතරම් මත කයක් නැහැ. “යසස”, “නොමියෙන මිනිස්සු” වැනි චිත්‍රපටවල රඟපා තිබුණත් ඒවා ඒ වනවිට තිරගත වී තිබුණෙත් නැහැ.

එච්. ඩී. ප්‍රේමරත්නගේ “සප්ත කන්‍යා” චිත්‍රපටය සඳහා මට ආරාධනා ලැබුණේ සෑම් පෙරේරා හරහායි. සෑම් කොණ්ඩා මෝස්තර ශිල්පියෙක්. ඔහු තමයි මා ගැන අම්මාගෙන් අසා එච්. ඩී. ප්‍රේමරත්නට කියා තිබුණේ. මට මතකයි දවසක් මාව බලන්න ප්‍රේමරත්න පැමිණිය හැටි. ඒ තමයි අපි හමුවුණු මුල් වතාව. ඔහු නිර්මාණය කළ චරිතයට මා සුදුසු යැයි සිතන්න ඇති.

ජීවිතයේ විවිධ හැල හැප්පීම්වලට ලක්වුණු, සමාජයෙන් පීඩා ලබපු, ඒ වගේම සමාජය ප්‍රතික්ෂේප කරන රැකියාවක් කරන තරුණියකටයි මම පණ දුන්නේ. ඒ වෙනකොට මට අවුරුදු 16 යි. දෙමව්පියන්ගේ ආදරය මැද්දේ කෙළිදෙලෙන් ජීවිතය ගත කරපු මට එවන් චරිතයක් රඟපාන්න හැකිවුණේ කොහොමද කියලා මටම හිතාගන්න බැහැ. නමුත් සිනමාව, එහි පරිසරය මට අලුත් අත්දැකීමක් නොවූ බව කියන්න ඕන. මගේ පියා තිමති වීරරත්න. ඔහු නිසා සිනමාවේ වටපිටාව මා හඳුනාගෙන තිබුණේ. වෘත්තීයමය නිළියක් වූ පසුව ඕනෑම චරිතයක් සඳහා සාධාරණය ඉටු කළ යුතු බව පියා මට කියා තිබුණා. ඒ නිසා චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරන්න මට හැකිවුණා.

maxresdefault 3ප්‍රශ්නවලින් හෙම්බත් වුණු කාන්තා ගැට කපන්නියකගේ චරිතයට සාධාරණය ඉෂ්ට කරන්න මට ගොඩාක්ම උදව් කළේ කමල් අද්දරආරච්චි. ප්‍රවීණ නළු ටෝනි රණසිංහත් මට චරිතය මෙහෙයවන්න බොහෝ සේ උදව් කළා.

ඒ වගේම අධ්‍යක්ෂවරයා ලෙස එච්. ඩී. ප්‍රේමරත්න ඉතා සියුම් ලෙස දීප්තිගේ චරිතය සඳහා මාව මෙහෙයවූවා. ඒ නිසයි මට නවකයෙක් ලෙස එතරම් ප්‍රතිභාවක් පෙන්වන්න පුළුවන් වුණේ.

‘සප්ත කන්‍යා’ චිත්‍රපටය කොළඹදී වගේම බේරුවල ප්‍රදේශයේදිත් රූ ගත කිරීම කළා. ඒ දවස් හරිම සුන්දරයි. මට සෙට් එකේ හිටිය හැමෝම හුරුපුරුදු මගේම අය වුණා. අපේ ගෙදර නිතර යන එන ඔවුන් මට ආගන්තුක වුණේ නැහැ. ඒ නිසා පවුලක් තුළ හිටියා වගේ හැඟීමක් මට අදටත් දැනෙනවා.

මට මතකයි ‘උන්මාද වූ ප්‍රේමාදරේ’ ගීතය සඳහා රූගත කිරීම් සිදුකළ අවස්ථාව. චිත්‍රපටය රූගත කරන නිසා කවුරුත් වගේ අපිව බලන්න ආවා. සෙනඟ පිරිලා, ලණු ඇදලා රූගත කරන කොටස වෙන් කළා. මමයි, කමලුයි ගීතය සඳහා සූදානම් වෙමින් ගලක් මත වාඩිවෙලා ඉන්නවා. රූගත කිරීම ආරම්භ වීමට පෙර ‍පොඩි ළමයි ගොඩාක් ආවා සමරු ‍පොත් අත්සන් කරගන්න. ඒ වෙනකොට මාධ්‍ය මගින් මං ගැන කතාබහ කරලා තිබුණා. තිමති වීරරත්නගේ දුව නිසා මට ප්‍රසිද්ධියකුත් තිබුණා. ඉතින් ළමයි ‍පෝලිමේ එනවා. සමරු ‍පොත් අත්සන් කරනගන්න. මටත් හරි සතුටුයි. කමල් අද්දරආරච්චි සමහරු සටහන දාලා සමරු ‍පොත මට දෙනවා. මමත් ඉතින් සංගීතා වීරරත්න කියලා හරි සතුටින් අත්සන දානවා. ‍පෝලිමේ අන්තිම හරියේදී ‍පොඩි ළමයෙක් මං ගාව නැවතිලා ඇහුවා අක්කේ, ඔයා කවුද? මං ඔයාගේ නම දන්නේ නෑනේ කියලා.

මට ‍පොළොව පලාගෙන යන්න හිතුණා. මොහොතකට පෙර මා තුළ වූ අභිමානය තත්පරයෙන් සේදී ගිය. සේරටම වඩා කමල්ගේ මූණ තමයි බලන්න බැරි වුණේ. ඔහු හිනාව තද කරගෙන මගේ දිහා බැලුවා.

“ලොකු නිළියක් කියලා නේද හිතාගෙන හිටියේ?” කියලා කමල් බිම පෙරළි පෙරළී හිනාවෙන්න පටන් ගත්තා. අදටත් ඒ සිද්ධිය මතක් වෙද්දී මට ලැජ්ජයි.
ඒ වගේම තවත් සිද්ධියක් මට ඉතා හොඳින් මතකයේ තියෙනවා මා මුහුණ පෑව දුෂ්කර අවස්ථාවක් නිසා. බණ්ඩාරවෙලදී තිබුණු රූපගත කිරීමකදී අපිව උදේ පාන්දර දෙක වෙනකොට ඇහැරවනවා. සූදානම් වෙලා පාන්දර පහ වෙනකොට දර්ශන තලයේ අපි ඉන්න ඕන. එදා මට උදේ දෙක වෙද්දී නාගන්න අවශ්‍ය වුණා මගේ කොණ්ඩේ හදන්න ඕන නිසා. එචඵඩ අධධථ එකට යද්දී උණුවතුර හීටර් එකත් වැඩ කරන්නේ නැහැ. මොනවා කරන්නද හිත‍ලේ ගැහෙමින් කෑගගහා නෑවා. හරියට අයිස් නෑවා වගේ. සේරම දුක් විඳලා, මේක්අප් දාලා පහ වෙද්දී දර්ශන තලයට ආවාම එච්. ඩී. ප්‍රේමරත්න මාව ගොඩාක් අගය කළා වෙලාවට වැඩ කරනවා කියලා. සේරම දුක් ඒ වචන කීපයෙන් මැකී ගියා.

දීප්ති කියන චරිතයේදී මං ගැට කපන්නියක් විදියට රඟපාද්දී මට ඒ සඳහා උදව් කළේ කමල්. ඒ වගේම එච්. ඩී. ප්‍රේමරත්න එහිදී මා තුළ වූ හැකියාවන් එළියට ගත්තා. පළපුරුදු ගැට කපන්නියක් ලෙස මං බස් එකේදී පික් ‍පොකට් ගැහැව්වේ ඒකයි. බලන් හිටිය සිනමා ප්‍රේක්ෂකයින්ටත් ඒක ඇත්ත වගේ දැනෙන්න ඇති.

පානදුර කේතුමතී රෝහලට ගිහින් ප්‍රසූතිකාගාරයේ දරුවන් බිහිකිරීමට කෑගහන අම්මලාගේ වේදනාව අසා සිටි අවස්ථාවත් මට අමතක කරන්න බැහැ. දරුවා බිහිකිරීමට මා සූදානම් වන ඒ දර්ශනයේදී මට එය ඉතාමත් ප්‍රයෝජනවත් වුණා.

සප්ත කන්‍යා චිත්‍රපටය 1993 තිරගත වුණේ මේ සුන්දර අත්දැකීම් ගොන්නත් එක්කමයි. එම චිත්‍රපටයේ තිබුණු ගීත රසිකයන් අදටත් ආදරයෙන් වැළඳ ගන්නවා. උන්මාද වූ ප්‍රේමාදරේ, සුවඳ දැනී දැනී දැනෙනවා, දුහුවිල්ලෙන් වත්සුණු තවරා වැනි ගීත ඉමහත් ජනප්‍රියත්වයකට පත්වුණා. maxresdefault 4චිත්‍රපටයේ සාර්ථකත්වයට එය තදින්ම බලපෑවා.

ඒ වසරේදී මම හොඳම නැගී එන නවක නිළියට හිමි සම්මානය දිනාගත්තා. ඒ උත්සව ශාලාවේදීම හොඳම නිළියටත් මගේ නම නිර්දේශ වුණා. අනෝජා වීරසිංහ, අයිරාංගනී සේරසිංහ කියන විශිෂ්ට රංගන ශිල්පීන් අතරට මගේ නම කියවෙද්දී මට දැනුණු සතුට අදටත් මා සිහිගන්වන්නේ විශාල ගෞරවයකින්.

මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සප්ත කන්‍යා තුළින් ආරම්භ වෙද්දී සංගීතා වීරරත්න ගැන කවුරුත් කතා කළා. සංගීතා විදියට ප්‍රතිභාවක් පෙන්වන්න මට මග පෙන්වූයේ සප්ත කන්‍යා චිත්‍රපටයයි.

ඒ සඳහා මට මගපෙන්වූ එච්. ඩී. ප්‍රේමරත්න, ටෝනි රණසිංහ, අජන්තා රණසිංහ වැන්නවුන් අද ජීවතුන් අතර නැහැ. ඔවුන් සිටිද්දී මේ ගැන කතා කරන්න තිබුණා නම් මොනතරම් සතුටක්ද කියලා මට හිතෙනවා.

ධර්මා මොහොට්ටාල
(ලක්බිම)