Monday, 09 December 2019
දුහුළු මලක් මගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවක් - නීටා

දුහුළු මලක් මගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවක් - නීටා

විජය ධර්ම ශ්‍රී මහතාගේ පළමු චිත්‍රපටය තමයි “දුහුළු මලක්”. එහි ප්‍රධාන චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණේ ටෝනි රණසිංහ නිසා. ටෝනි තමයි මාව විජය ධර්ම ශ්‍රී මහතාට හඳුන්වා දුන්නේ. මුලින්ම චිත්‍රපටයේ තිරපිටපත කියවද්දී අපහසුතාවක් දැනුණු බව නම් මතකයි. ඒ වෙනකොට සිංහල සිනමාව තුළ කිසිදිනක කතාබහට ලක් නොවූ මාතෘකාවක් තමයි චිත්‍රපටයේ කතාවට පසුබිම් වී තිබුණේ.

විවාහක කාන්තාවක් තහනම් ආදරයක පැටලෙන ඒ කතාන්දරය, ආන්දෝලනාත්මක බවක් සිනමාව තුළ ඇතිකරයි කියන හැඟීම මා තුළ තිබුණා.අද ජීවතුන් අතර නැතත්, එදා මගේ සැමියා මා ළඟ සිටියා. ඔහු තමයි මාව දිරිගැන්වූයේ.

“ඔයාට හොඳ චරිතයක් ලැබිලා තියෙනවා. ඒක කරන්න. නිළියක් විදියට ඕනෑම අභියෝගයක් බාරගන්න පුළුවන් වෙන්න ඕන. මම කැමැතියි ඔයා මේ චරිතය රඟපානවාට.”

ඔහුගේ ආදරණීය වදන් දුහුළු මලක් හි නිලූපාගේ චරිතයට අවතීර්ණ වෙන්න මට ලොකු හයියක් වුණා.විජය ධර්ම ශ්‍රී ගේ පළමු සිනමා නිර්මාණය වගේම මම රවීන්ද්‍ර රන්දෙණිය සමග රඟපෑ පළමු අවස්ථාව තමයි ඒ. කතාවේ තේමාවත් මුළුමනින්ම අලුත්. අපි හැමෝම අලුත්ම විදියට, අලුත් නිර්මාණයක, අලුත් කතාවක් ලිව්වා.

ඉතාම සුන්දර කාලපරිච්ජේදයක්. අපි හැමෝම එක පවුලක් වගේ හිටියා. පුංචි දරුවයි, මමයි, ටෝනියි වගේම තහනම් පෙමේ පටැලුණු රවීන්ද්‍රයි, අපේ වේශ නිරූපණ ශිල්පියාගේ සිට දර්ශන තලයේ සිටි සෑම කෙනෙක්ම ඉතාම සතුටින්, විනෝදයෙන්, සැහැල්ලුවෙන් සිනමා කෘතියේ නියැලුණා. නුවරඑළියේ තමයි ගොඩාක් පසුතල තිබුණේ.

චිත්‍රපටයේ දර්ශන රූපගත කිරීමට පෙර අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා හා අපි නිරන්තර සංවාදයේ යෙදීම, දර්ශනය ඉතාමත් තාත්විකව කැමරාවට හසුකර ගැනීමට පහසුවක් වුණ බව කියන්නම ඕන. ලංකාවේ පහළ වූ විශිෂ්ටතම කැමරා ශිල්පියෙක් වූ සුමිත්ත වීරසිංහයන් ඔහුගේ විස්මිත කැමරාකරණයෙන් දුහුළු මලක් අපූරුවට ජීවමාන කළා. දුහුළු මලක් සිනමා පටය පුරාම ඉතාම ජනප්‍රිය වූ ගීත කීපයක්ම තිබුණා. ඒ ගීත කොතරම් මිහිරිද කියනවා නම් අදටත් ඒ ගීතවල මිහිරියාව එහෙමම පවතිනවා. ඒ ගීත අදටත් ජනප්‍රියයි.

“බොඳ මීදුම් කඳුරැල්‍ලේ සුරංගනා රජදහනේ” ගීතය සුජාතා අත්තනායක සමග ගැයුවේ අබේවර්ධන බාලසූරිය. එදා ඒ ගීතය පසුබිමෙන් ඇහෙද්දී ඊට අදාළ දර්ශන රූගත කරන්න මමයි, රවීන්ද්‍රයි වගේම සෙසු ශිල්පීන් උදෙන්ම අවදි වුණා.කතාවේ හැටියට කතා නායිකාව වන මම මගේ පෙම්වතා වන රවීන්ද්‍රට “සැනසුම් තැන්නට” එන්න කියලා පණිවුඩයක් යවනවා. අපි එතනදී තමයි රහසින් හමුවන්නේ.

දර්ශනය රූගත වුණෙත් නුවරඑළියේ සැනසුම් තැන්න කියන ප්‍රදේශයේ. උදේ පාන්දර ස්වාභාවිකවම මීදුම වැටිලා හරිම ලස්සනයි. කෘත්‍රිම විදියට දර්ශනයට අවශ්‍ය වටපිටාව මවන්න අවශ්‍ය වුණේ නැහැ. ඉතාම සුන්දර ස්වාභාවික දර්ශන පෙළක් සුමිත්ත අමරසිංහ සිය කැමරාවට හසුකර ගත්තා. චිත්‍රපටය නරඹද්දී ප්‍රේක්ෂකයන්ට එය ඉතාමත් තාත්විකව විඳින්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඒ ගීතයේ කිසිම තැනක මමවත්, රවීන්ද්‍රවත් ගීතය ගයන්නේ නැහැ. අපේ හැඟීම් පමණයි ඒ දර්ශනවල විදහා දැක්වුණේ. තහනම් පෙමක පැටලී සිටියත් ආදරවන්තයන්ගේ ශෘංගාරාත්මක හැඟීම් ඒ ගීතයත්, අපේ රඟපෑමත් අතර කදිමට පෙන්නුම් කළා කියලා අදටත් මට හිතෙනවා.

වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන තේමාව යටතේ දුහුළු මලක් තිරගත වුණේ. එයත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වුණා. ප්‍රේක්ෂකාගාර පිරෙන්න මිනිසුන් ආවේ තමන්ගේ බිරිඳ එක්ක. එහෙම නැත්නම් බිරිඳ ආවේ සැමියා එක්ක. විවාහකයන්ට මේ චිත්‍රපටය අලුත් අත්දැකීමක් විතරක් ‍නෙවෙයි තමන්ගේම කතාව වුණු අවස්ථාත් තිබුණා.

චිත්‍රපටය තිරගත වෙද්දී මම සැමියා එක්ක කැනඩාවේ පදිංචි වෙලා හිටියේ. විජය ධර්ම ශ්‍රී මහතා චිත්‍රපටයේ රසමුසු තැන් මට නිතර කතා කරලා කියනවා. චිත්‍රපට ශාලා ඇතුළතම සැමියයි, බිරිඳයි රණ්ඩු වුණු අවස්ථාත් තිබුණලු. බොහෝ අය එය ඔවුන්ගේ කතාව කරගෙන තිබුණා.මමත්, රවීන්ද්‍රත් සිපගන්නා දර්ශන අපි තාත්විකව සිදුකළා. ඒවා අධ්‍යක්ෂවරයා තිරපිටපතට ඇතුළත් කර තිබුණේ මනුෂ්‍යා තුළ ඇති විවිධ පැතිකඩවල් පෙන්නුම් කරන්න. චිත්‍රපටයේ කතා තේමාවට ප්‍රබල ලෙස එය සම්බන්ධව තිබුණා. ඒකයි දුහුළු මලක් ජනතාව අතර එතරම් කතාබහට ලක්වුණේ. සමහර සිපගැනීම් දර්ශන පුංචි තිරයේදී වාරණයට පවා ලක්වුණා.

අජන්තා රණසිංහ ලියූ සරත් දසනායකගේ සංගීතයෙන් ඔපවත් වූ ගීත අතර තිබුණු “රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි...” ගීතයත් දුහුළු ම‍ලේ අති සාර්ථකත්වයට බලපෑවා. නන්දා මාලිනියගේ හඬ පරාසය කතාව අවසානයට කොතරම් සංවේදී වුණාද කියලා ප්‍රේක්ෂකයෝ දන්නවා. මගේ චරිතයේ ගලා යාමට ඒ ගී හඬවල් කොතරම් බද්ධ වුණාද කියනවා නම් නිලූපා කියන චරිතය ඒ ගීත තුළින් පෙනුණා.

විශේෂයෙන් මතක් කරන්නම ඕන මාත් එක්කම හිටිය ලෙච්චමී ගැන. සමන්ති ලැනරෝල් ඉතාම සාර්ථක රංගනයක් ඉදිරිපත් කළා. කුඩා දරුවාගේ චරිතය රඟපෑ ශ්‍රියාණි අමරසේනගේ දූ සිඟිත්තිය ඉනෝකාත්, ටෝනි රණසිංහත්, මගේ චරිතය සාර්ථක කරගන්න අදාළ චරිත මැනවින් රඟපෑවා.

රොහාන්ට රඟපෑ රවින්ද්‍රත් ඒ සහයම ලබාදුන්නා. ඔවුන් නිසයි නීටා ප්‍රනාන්දුට “දුහුළු මලක්” සිය රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය කරගන්නට හැකිවුණේ.

1976 දී ප්‍රථම වරට හොඳම නිළිය ලෙස ඕ.සී.අයි.සී. සම්මානයත් මට දිනාගත හැකිවුණා.

නමුත් මේ සියලු අවස්ථා පසෙකලා මම සැමියා සමග කැනඩාවේ පදිංචි වුණා. සිනමාවේ මා නැතත් “දුහුළු මලක්” වල හිටි නිලූපා සුරවීර රසිකයන් සමග ජීවත් වුණා.“පවුරු වළලු” තුළින් යළිත් සිනමාවට පිවිසෙද්දී දශක දෙකක හිඩැස පුරවන්න මට අපහසු නොවුණේ “දුහුළු මලක්” ඒ වනවිටත් ප්‍රේක්ෂක මතකයේ තිබුණු නිසයි. ඒ නිසා මම අදටත් දුහුළු මලක් සිනමා පටය මගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව ලෙස දකිනවා.2006 එංගලන්තයේ ඕපඪබඪඵඩ ජ්ඪතථ දඵබඪබභබඥ ලැයිස්තු ගත කළ හොඳම සිංහල චිත්‍රපට අතරට දුහුළු මලක්ද එක්ව තිබිම විශාල සතුටක්. ඒත් මේ වනවිට ඒ සුන්දර මතකයන් අතර සිටි විජය ධර්ම ශ්‍රී, සුමිත්ත අමරසිංහ, ටෝනි රණසිංහ වගේම මේ චරිතයට මා දිරිමත් කළ මගේ සැමියා ඒලියන්ද අද මා සමග සිටියා නම් කොතරම් හොඳදැයි මම මගෙන්ම ප්‍රශ්න කරනවා.

ධර්මා මොහොට්ටාල
(ලක්බිම)


Media

Last modified on Monday, 07 March 2016 10:56