Monday, 09 December 2019
කිස් එකක් නිසා බැලුවයි කියන එක හරිම පුදුම සහගතයි

කිස් එකක් නිසා බැලුවයි කියන එක හරිම පුදුම සහගතයි Featured

අද අපේ කතා නායකයා සංගීතමය ක්ෂේත්‍ර‍යෙන් ලෝකයේ ඉතා ඉහළ ආකර්ෂණයක් දිනා සිටින ඇමරිකාව,ඉන්දියාව වගේ රටවල, ජනප්‍රිය නිර්මාණ වලට සිය නිර්මාණ දායකත්වය සැපයූවෙක්. ඒ වගේම මේ දවස්වල වැඩිදෙනාගෙ කතාබහට ලක්වෙච්ච ජනප්‍රිය චරිතයක්. ඒ ඔහුගේ අලුත්ම ගීතය වන සිල් බිඳගත්තා කියන ගීතයේ රූප රචනයත් එක්ක. අපිට ඉන්න දක්ෂ තරුණ සංගීත නිර්මාණ ශිල්පියෙක් වන ඔහු වෙනකකු නොව ඉරාජ් වීරරත්න. අපි ඔහුට කන්දෙමු.

ලෝකෙත් එක්ක ගත්තාහම අපේ සංගීතය තියෙන්නේ කොයි වගේ තැනක කියලද ඔබ හිතන්නේ?

ඇත්තටම මටත් තියෙන ප්‍රශ්නයක් ඒක. මොකද ලංකාවේ සංගීත කේෂත්‍රයට සම්බන්ධ හුඟදෙනෙක් කතාකරන්න ගියාම හරියට අපේ තරම් මියුසීෂන්ලා ලෝකේ කොහෙවත් නෑ වගේ තමයි කතා කරන්නේ. නමුත් ඇත්ත කාරණාව ගත්තොත් ලොකේ මොන රටේ ද ලංකාවේ මියුසික් අහන්නේ. නැත්තම් සින්දුවක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. අඩුම තරමේ ඉන්දියාවේවත් අපේ සින්දුවක් අහනවද? නමුත් අපේ රටේ මොනතරම් හින්දි, දමිල,ඉංග්‍රීසි හා වෙනත් භාෂා වලින් ගැයෙන ගීත අහනවද?

ඔබ හිතන විදියට මොකද්ද ඒකට හේතුව

මට දැනෙන විදියට ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ හරිම පහළ මට්ටමක තියෙන දෙයක්. අපි දන්නවා අමරදේව මාස්ටර්, ගොඩාක් හොඳ දායක්ත්වයක් සපයලා තියෙනවා නමුත් ගොඩක් අය විශාල වශයෙන් තමන් යමක් කළා කියලා මවාපෑමක් තමයි කරමින් ඉන්නේ. ඒක තමයි ඇත්තටම මේ රටේ නවත්තන්න ඕනේ. එතකොට ඇත්තට සංගීතය වෙනුවෙන් යමක් කරන පිරිසක් බිහිවේවි.

ලෝකේම විශාල වශයෙන් තරුණ පිරිස් ආකර්ෂණය කරපු එන්ඩ්‍රික් එයාගේ Sex & Love කියන සංගීත ප්‍රසංගය මෙහේදී ඉදිරිපත් කළා. නමුත් අපි මේ දිහා බැලුවේ යම් කිසි සංස්කෘතික රාමුවකට කොටු වේලා. මොකද ඔබ ඒ ගැන හිතන්නේ?

ඇත්තටම (සිනාසෙමින්) වැඩිය ඕනේ නෑ. හැටේ හැත්තෑව දශකය අරන් බැලුවොත් අපි මේ ප්‍රවණතා දිහා විවෘතව බලපු බවක් පේනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඒ කාළේ නිර්මාණය වුණු චිත්‍රපට වල අපි දකිනවා මාලනී ෆොන්සේකා, ශ්‍රියාණි අමරසිංහ, නීටා ප්‍රනාන්දු, ෆරිනාලායි, අනුලා කරුණාතිලක, සෝනියා දිසා, සුමණා අමරසිංහ... වගේ රංගන ශිල්පිණියන් ඇඳපු විලාසිතා. කවුරුවත් ඒ කාලේ ඒවා විවේඡනය කල බවක් අපි අසා නෑ. ගොඩක් තරුණියන් මේ අයගේ විලාසිතා තමයි ඒ කාලේ අනුකරණය කළේ. ඒ වගේ ඒ අයට ඒක හරි සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා. ඒ දිහා කැත විදියට මිනිස්සු බැලුවේ නෑ. දැන් තමයි මේ පහුගිය අවුරුදු 5ක්6 ක් වගේ ඇතුළත සංස්කෘතිය , සදාචාරය වගේ දේවල් කියාගෙන මේවා හෙලා දකිමින් ලොකු මවාපෑමක් සිද්ද කරන්නේ. අපි අතීතයේ පවා මීට වඩා විවෘත්තව බලපු, විඳපු ජාතියක් බව පේනවා. ඒ සඳහා සාධක පවා අප සතුව තිබෙනවා. මට තේරෙන්නෑ මොකද්ද අපිට දැන් වෙලාතියෙන්නේ කියලා.

ඇතැම් අය නඟන චෝදනාවක් තමයි ඉරාජ් කියන්නේ සංගීතඥයෙක්වත්, ගායකයෙක්වත්, සංගීත සංයෝජකයෙක්වත් නෙවෙයි, වෙළඳපළ බලාගෙන බොහොම තක්කඩි වැඩක් කරන කෙනෙක් කියලා.

ඒකට මට දෙන්න තියෙන උත්තරේ තමයි, ලංකාවේ සංගීත ඉතිහාසය ගත්තොත් මේ දක්වා කිසිම සංගීතඥයෙකුට ලෝකේ වෙනත් රටකින් තියා අඩුම තරමේ ඉන්දියාවෙන්වත් ආරාධනාවක් ලැබිලා තියෙනවද සංගීතඥයෙක් විදියට යම් නිර්මාණයකට දායක වෙන්න. නමුත් මට එහෙම අවස්ථාව ලැබෙනවා 2010 දී වේට්ටකාරන් කියන දකුණු ඉන්දියාණු චිත්‍රපටියේ ගීතයකට සංගීතය නිර්මාණය කරන්න. ඒක බොහෝ සෙයින් ජනප්‍රිය වුණා. නමුත් ඒ කාලේ යුද්ධය පැවතුණ නිසා මට ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. මරණ තර්ජන පවා එල්ල වුණා. නමුත් මම ඒ දේවල් නොතකා පසුවත් ඒ රටේ ‘අම්බාන් සමුද්‍රාස් අම්බාන් කියන බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටයේ වැඩ කළා. ඒකෙදි මම ගායනයෙන්පවා දායක වුණා. ඒ වගේම ඇමරිකන් බිල් බෝට් ගීත දර්ශකයේ නම්බර් වන් වෙච්ච සෝන් කිංග්න්ස්ට්න්, වගේ ලෝකේම ජනප්‍රිය ආර්ටිස්ලාත් එක්ක වැඩකරලා තියෙනවා. ඉතිං ඒ වගේ අය මාව ඒ අයගේ වැඩත් එක්ක සම්බන්ධ කරගන්නේ මොන හේතු නිසාද කියලා එහෙම කියන අයගෙන් මම අහන්න කැමතියි. මම බොරුවක් කරනව නම්, මට එහෙම ඒ අයත් එක්ක වැඩකරන්න බෑ.

ලෝකේම ඉල්ලුමක් තියෙන ඔබ ගැන ලංකාවේ අය නොදැනුවත් නිසාද එහෙනම් ඔවුන් ඔබට චෝදනා කරන්නේ?

ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ ‘ලේ‘ වල ප්‍රශ්නයක්. ඉරිසියාව , කුහකකම, තියෙන හින්දා තමයි අපේ රට ආර්ථික වශයෙනුත්, සංස්කෘතික වශයෙනුත් , දේශපාලන වශයෙනුත් මේ හැම දේකින්ම පිටිපස්සෙන් ඉන්නේ. ලෝකේ අනිත් රටවල් වලට වඩා. අවුරුදු දාහකට වඩා එහා ගත්තොත් මන් දන්නෑ මේ රටේ මිනිස්සුන්ට එහෙම කුහකකමක්, ඉරිසියාවක් තිබ්බද කියලා. මොකද අපේ රටේ ලොකු වෙහෙර විහාර හදලා රජ මාළිගා හදනකොට යුරෝපයේ රටවල මිනිස්සු ඒ දේවල් ගැන හිතලවත් නෑ. සීගිරියේ වතුර උඩට ගියේ කොහොමද කියලවත් තාම දන්නෑ. එහෙම තාක්ෂණයක් තිබුණු රටකට කෙටි කාලයක් ඇතුළත මොකද වුණේ , ඒ මිනිස්සුන්ගේ ඔලුවට මොකද වුණේ කියලා‍ මට නම් හිතාගන්නවත් බෑ. ඇත්තටම හොයලා බලන්න ඕන අපිට මොකද මෙහෙම වුණේ කියන කාරණාව.

කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුලුවන් මෙහෙම කතා කරන ඉරාජ් තමන්ගේ නිර්මාණ කරද්දී ඇයි එහෙම නම් හොඳ ගේය පද නිර්මාණ තෝරා නොගන්නේ කියලා.

ඒ කතාව වැරදියි. මම එක එක විදියේ නිර්මාණ කරනවා. දැන් ‘මනුසතා‘ කියන ගීතය ගත්තොත් ඒකේ මම කතා කරන්නේ සිංහල බෞද්ධ අන්තවාදයත්, මුස්ලිම් ස්ලාමීය අන්තවාදයත් නිසා අපේ සමාජය මුණ දෙන ඛේදවාචකය සම්බන්ධව. ඒක මේ වන විට ලක්ෂ 5ක් බලලා තියෙනවා. තව ගත්තොත් උපේස්ෂා ස්වර්ණමාලි සමඟ මම කළා ගීතයක් මැද පෙරදිග දුක් විදින අම්මලා සහ ඒ අයගේ දරුවන් මූහුණ දෙන සමාජමය තත්වය ගැන ‘හීනයක තනි කරලා කියන ගීතය, ඒ වගේම පොලීසිය කියන ගීතය, මේ මඟින් සමාජයට සිදුවන අකටයුතුකම් ප්‍රශ්න කෙරෙනවා. අනිත් එක තමයි ගේමක් දීලා කියන මියුසික් වීඩියෝව. මේ හරහා සමාජ දේශපාලන වටපිටාව ගැන සාකච්ඡා කෙරෙනවා. කොටින්ම මේ රටේ දේශපාලඥයන් කරන අපරාධ මේ හරහා කියන්න උත්සාහ කළා. මේ සඳහා මම තෝරා ගන්නේ රැප් කියන ගීතමය ආකෘතිය. ‘දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා කියලා ගීතයත් ඒ වගේ අර්ථවත් ගීතයක්. හැබැයි මේ එකක්වත් මේ මාධ්‍ය හරහා ජනප්‍රියත්වයට ගෙන එන්නේ නෑ. ඒ වෙනුවට මම විනෝදය තේමා කරගෙන ගීතයක් කළාම ඒක හැමතිස්සෙම වගේ ප්‍රචාරය කරමින් ජනප්‍රියත්වයට ගෙන එනවා. මගේ ස්විටි කෙල්ල කියන ගීතයත් ඒ වගේ . මේ රටේ කාලාකරුවන් බොහෝමයක් රිගින්ටෝන් පස්සේ යන අය ඉන්නේ. ඒ නිසා කොල්ලෝ අඬන, කෙල්ලෝ අඬන, සියදිවි නසාගන්න ගීත තමයි වැඩිපුරම නිර්මාණය කරන්නේ. ඉතිං මම ඒ රැල්ලෙන් බැහැරවෙලා යමක් කරන්න උත්සහ කරනවා.

මෙහෙම කියද්දි කෙනෙක් අහන්න පුලුවන්, මේ විදියට දේශපාලනය ප්‍රශ්න කරන කෙනාද දේශපාලකයෙක් සමඟ බාලිකා පාසලකට යන්නේ කියලා.

මේක මට ලැබුණ ආරාධනාවක්. ඔහු පෞද්ගලිකව මගේ මිත්‍ර‍යෙක්. ඉතිං මට කරන්න තිබුණේ ක්‍රිඩාව ප්‍රචලිත කරන්න පාසල්වලට ගිහින් ඒ වෙනුවෙන් කටයුතු කරන්න. ඉතිං අපි පාසල් කිහිපයකට ගියා. අවසානෙට ගිය පාසලේ දී තමයි ඔය කියන ගැටලුවට මුහුණ දෙන්න සිද්ද වුණේ. ඕනම පොඩි දෙයක් වුණත් මේ රටේ දේශපාලන ප්‍රශ්නයක් බවට හරවා ගන්නවනේ. ඒක තමයි එතනත් සිද්ද වුෙණ්. නැත්තම් ඇත්ත කාරණාව ගත්තොත් අපි වේදිකාට ගියාම පාසලේ ළමයින්ව ටිකක් කන්ට්‍රෝල් නැතුව ගියා. ඒ ළමයි කෑ ගහන්න පටන් ගත්තා සින්දුවක් කියන්න කියලා. ඇත්තටම මම සින්දු කියන්න නෙවෙයි එතෙන්ට ගියේ. පස්සේ කොහොමහරි විදුහල්පතිනියගේ අවසරෙන් මම සින්දුවක් කියන්න වේදිකාවට ගියා. ළමයි ඔක්කොම ඩෙස් උඩ නැඟලා කෑ ගගහා සින්දු කියන්න පටන් ගත්තා. ඉතිං ඒක ඒ ළමයින්ගේ වැරැද්දකුත් නෙවෙයි. ‍මොකද ඔවුන් මේ අධ්‍යාපන රාමුව ඇතුළෙ ලොකු පීඩනයකින් ඉන්නේ. ඉතිං පොඩි චාන්ස් එකක් දීපුගමන් පුපුරලා යනවා. නැතුව මං එතන දේශපාලනඥයෙක් එක්ක මගේ සිංන්දු ප්‍රමෝට් කරන්න ගියා නෙමෙයි.

තරුණ නිර්මාණ කරුවෙක් විදියට ඔබ මේ ක්ෂෙත්‍රෙය් දකින ගැටලු මොනවද?

මම ගොඩක් ෂෝසල් මීඩියා එක්ක වැඩ කරන කෙනෙක්. Facebook, You Tube. ඉස්සර මේ රටේ ප්‍රශ්නයක් තිබ්බා මොන ගීතද මිනිස්සු අතරට යන්න ඕනේ, මොන ගීතද යන්න ඕන්නැත්තේ කියලා තීරණය කරන්න මාධ්‍යයට ඉඩ ලැබුණු. මේ කාලේ තමන්ගේ හිතවත්කම් එක්ක ඕනම දෙයක් ප්‍රචාරය කරලා එක්තරා පිරිසක් පොරවල් වෙලා හිටියා. දැන් ෂෝසල් මිඩියා එක්ක ඒ තත්වේ ඒ අයට පවත්වාගෙන යන්න බැරිවෙලා තියෙනවා. මොකද පහුගිය කාලේ අපිට මතකයි එක්තරා මාධ්‍යයක් ලක්ෂ 3 – 4 අරගෙන සින්දු ජනප්‍රිය කරනවා. ඒ විතරක් නෙවෙයි. ඒවා නිතර දෙවේලේ ප්‍රචාරය කරන්න ඒවායේ වැඩ කරපු නිවේදක නිවේදිකාවන්ට රුපියල් 50,000 ක් පමණ ගෙවන්න සිද්ධ වෙච්ච කාලයක්. මේ ප්‍රවණතාවය කොච්චර දුරට තහවුරු වුණාද කියනවනම් පස්සේ කාලේ එහෙම නොකරපු මාධ්‍ය පවා මේ විදියට අයකරන්න පුරුදු වුණා. ඒකෙන් වුණේ දක්ෂතා තියෙන එහෙත් මුදල් නොමැති කලාකරුවන්ගේ හොඳ නිර්මාණ ජනගත කරගන්න නොහැකි වීම. පස්සේ කාලේ ෂෝසල් මීඩියාවලට තරුණ කොටස් වැඩිපුර පෙළඹීම නිසා මේ අයගේ ආධිපත්‍ය බිඳ වැටුණා. නමුත් සිද්ධ වෙන්න ඕන දේ තමයි මේවා ප්‍රචාරය වෙද්දී ඒ මාධ්‍ය ආයතන ගායකයාට , සංගීත නිර්මාණකරුවට සහ ගීත රචකයාට යම් ගෙවීමක් කළ යුතු වීම. මෙන්න මේක තමයි මම දකින්නේ මේ ක්ෂෙත්‍රයේ තියෙන ලොකුම ගැටලුව හැටියට. මේ සඳහා පහුගිය රජයෙනුත් ඉල්ලීමක් කළා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නෑ. අපි වර්තමාණ රජයෙන් ඉල්ලනවා ඒ කටයුත්තට වැඩි අවධානයක් යොමුකරලා ඉටුකර දෙන්න කියලා. මොකද මේ අය වයස් ගත වෙද්දී ඒ අයට වෙන ආදායම් මාර්ගයක් නොමැති නිසා.

ඔබේ සිල් බිඳ ගත්තා කියන ගීතය සතියක් ඇතුළත ලක්ෂ 30කටත් වඩා නරඹා තිබෙනවා. අපි දැක්කා ඇතැම් අය චෝදනා කරනවා මේ ඉරාජ්ගේ මියුසික් අහන්න ඕන කමට බලපු එකක් නෙවෙයි. නදීෂා හේමාමාලිගේ සිප ගැනීම නරඹන්න තියෙන ආශාව නිසා බැලුවයි කියලා.

(සිනාසෙයි) ඇත්තටම ඒක එහෙමනම් මාර ප්‍රශ්නයක් මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ. අපි දන්නවා පහුගිය කාලේ SEX කියන වචනය ගූගල් සර්ච් කරලා මුල් තැනට ආවේ ඉන්දියාවවත් පකිස්ථානයවත් නෙවෙයි. ලංකාව. ඉතිං කිස් එකක් නිසා මේක බැලුවයි කියන කාරණාව හරිම පුදුම සහගතයි. මොකද ඊට වඩා දේවල් You Tube එකේ බලාගන්න පුලුවන්.

සටහන හා ඡායාරූප රසික කොටුදුරගේ
(දිනමිණ)