Monday, 09 December 2019
'ලංකාව වෙනුවෙන් කරන්න ලොකු දෙයක් තියෙනවා'

'ලංකාව වෙනුවෙන් කරන්න ලොකු දෙයක් තියෙනවා' Featured

පසුගියදා නිදහස් උලෙළට සමගාමීව ගාලු මුවදොර පි‍ටියේදී පැවැති ප්‍රසංගයකදී සුප්‍රසිද්ධ 'දන්නෝ බුදුන්ගේ' ගීතය ඔපෙරා ශෛලියට අනුගතව ගායනා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිශානි ජයසිංහ විජේසේකර යන ඔපෙරා ගායිකාව ගැන බොහෝ කතාබහට ලක්වුණි. ගුණදොස් නගන අතරම විවේචනයන්ද ඇයට බොහෝ සේ හිමිවිය. මේ පිළිබඳව සවිස්තරාත්මකව දැනගැනීම සඳහා කිශානි ජයසිංහසමග යෙදුණු කතාබහකි මේ.

Krishani 600px 15 02 16 1මේ දිනවල ප්‍රසංගයක් සඳහා සූදානම් වෙනවලු නේද?

එළඹෙන සතියේ තිබෙන ප්‍රසංගය සඳහා සූදානම් වෙනවා. ඒක ඉතාමත්ම ක්ලැසිකල් ආකාරයේ ප්‍රසංගයක් වෙනවා. මම සාමාන්‍යයෙන් කරනු ලබන්නේ මිශ්‍ර ප්‍රසංගයන්නේ. ගොඩක්ම මගේ ප්‍රසංගයන් තිබුණේ ඔපෙරා, ක්ලැසිකල් සහ විවිධ ආකාරයන් එක් කරගනිමිනුයි. ඉතිං ඒක නිසා සම්පූර්ණ වශයෙන් ක්ලැසිකල් ආකාරයට පමණක් ලබන සතියේ ප්‍රසංගය පැවැත්වීමට සූදානම් වෙනවා.

ලංකාවේ බොහෝදෙනා ඔබ කවුද? ඔබේ පසුබිම කුමක්ද යන වග නොදන්නා හෙයින්, ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්?

මම ලංකාවේ ඉපදිලා, ලංකාවේ අධ්‍යාපනය ලබලා විශාකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස වැඩකටයුතු කරපු කෙනෙක්. ඉන්පසුව තමයි නීතිඥ විෂය හදාරන්න එංගලන්තයට ගියේ. එතැන මම නීතිඥ වෘත්තියෙන් උපාධි දෙකක් ලැබුවා. ඊට පස්සෙ අහම්බෙන් වගේ කලාව පැත්තෙන් Voice Training කරනු ලබන මහාචාර්යවරයෙක් හම්බ වුණා. එයා කිව්වා ගොඩක්දුරට ඔයාට මේ දේ ඉතාමත් උසස් මට්ටමකට කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා කියලා. මගේ විශ්වවිද්‍යාලයේ ළඟම හිටපු උතුම්ම ගුරුවරියක් කිව්වා ගිහින් ඒ මහාචාර්යවරයාව හම්බවෙලා කතා කරන්න කියලා. ඉතිං මෙයාව හම්බවෙලා හිතුවා මේ දේ කරල බලමු කියලා.

ඊට පස්සෙ මම ලෝකයේම ප්‍රසිද්ධ Royal Academy of Music කියන කලායතනයට ඉල්ලුම් කළා. එහිදී මට හම්බ වුණා තැනක්. එහිදී මගේ පළමුවැනි උපාධිය අවසන් කළා. ඉන්පස්සෙ තවත් උපාධි දෙකයි තිබුණේ. ඒකත් බලමුද කියලා ආයෙත් ඉල්ලුම් කරලා ඒ තැන් දෙකෙන් එකක් ලැබුණා. ඔපෙරා සඳහා මුල්තැනක් ලැබෙන ලෝක ප්‍රසිද්ධ Royal Opera House කියන සුවිශේෂී රඟහලෙහි තරුණ ගායකයන් වෙනුවෙන් වැඩසටහනක් කරගෙන යනු ලැබුවා. ඉතිං ඒකට ලෝකයේ හැම රටක්ම වගේ ඉල්ලුම් කරනවා. ඒක Audition කරල තරගයක් මගිනුයි තෝරා ගන්නේ. ඒ සඳහා මට්ටම් 05ක් විතර වෙන්කරලා තිබුණා. ඒකෙන් ඒ අවුරුද්දේ එක්කෙනයි ගත්තේ. එහිදී කාන්තාවකට තමයි ඒතැන ලැබුණේ. මම තමයි ඒ තැන ලබපු කාන්තාව. එතකොට ඇත්තටම මට හිතුණා ඒක මගේ මාධ්‍යයක් වෙන්න ඕන කියලා. මගේ ජීවිතයට ගොඩක් සමීප දෙයක් කියලා හිතුණා. එතැනින් තමයි මම මේ ඔපෙරා කලාව පටන් ගත්තේ.

දන්නෝ බුදුන්ගේ ගීතයට අගෞරව කළා යැයි ඇතැම් අය චෝදනාකරනු ලබනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්?

ඇත්තම කියනවා නම් ඕක පටන්ගත්තේ ආණ්ඩු විරෝධී ෆේස්බුක් පිටුවක් විසින්. එම ක්‍රියාව පටන්ගත්තේ නිදහස්දා උදේ දෙමළ භාෂාවෙන් ජාතික ගීතය ගායනා කිරීමත් සමගයි. ඉන්පස්සේ ඒ ෆේස්බුක් පිටුව විසින්ම කිව්වේ 'හූ.... හූ... කිය කිය දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළා කියලයි'. ඉතිං මේ කාරණා දෙකම එකකට එකක් සම්බන්ධයි කියලා පේනවනේ. මම හිතන්නේ එදා පැය 4ක වැඩසටහනක් තිබුණා. ඒ අය මේ දේ විතරක් අල්ලගෙන තියෙන්නේ. මට හිතෙනවා ඕක සාමාන්‍යයෙන් ඔපෙරා කියන කලාව අහපු නැති කෙනෙක් විසින් ගොඩනගපු දෙයක් කියලා. මම පිළිගන්නවා ඔපෙරා කියන කලාව ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නැහැ කියලා.

විවෘත කනකින් නොවෙයි, මනසකින් නොවෙයි, පාටක් යොදලා තමයි ඕක අහලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ දේ මෙච්චර දුරදිග යාමට හේතුව වුණේ. කෙසේවෙතත් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. එක පැත්තකින් ඇතැම් අයට මඩගහන්න පුළුවන් වුණු අතරම, අනෙක් පැත්තෙන් ඉතාමත්ම ප්‍රබල සහ වැදගත් සාකච්ඡාවක් ඇතිවුණා. කලාව කියන්නේ මොකක්ද, අපිට මොකක්ද අයිති, කලාවට භාෂාවක් තියෙනවාද, කලාවට ආගමක් තියෙනවද වැනි කාරණාත් සමගම මේ දේ දුරදිග ගියා. මම හිතන්නේ ගොඩක් ප්‍රඥාවක් ඇතිව කතාබහට ලක්වුණා කියලා. මේ දේ වුණේ නැත්නම් මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ.

එම ගීතයම ඔපෙරා ශෛලියෙන් ගායනා කිරීමට තීරණයේ කළේ ඇයි?Krishani 600px 15 02 16 2

ඒක පටන් ගත්තේ ගිය දෙසැම්බර් මාසයේ මම කරනු ලැබූ ප්‍රසංගයක් ඔස්සේයි. මේකට ආවා නිදහස් දවසේ ඒ වැඩසටහන සංවිධානය කරනු ලැබූ සංගමය. එදත් මම 'දන්නෝ බුදුන්ගේ' ගීතය ගායනා කළා. ඒ අය ගොඩක් ආසාවක් සහ කැමැත්තක් දැක්වුවා. ඒ අය කිව්වා නිදහස් දිනයට ඔයා ඇවිල්ලා මෙහෙම සින්දු කියන්න කියලා. ඒ මගේ තියෙන දේශපාලන සම්බන්ධතාවයකුත් නැතුව ලැබුණ ආරාධනාවක්. එතකොට මම ඉතාමත්ම ආඩම්බර උනා. ඒ අය කිව්වේ නිදහස් දිනයට ගීත තෝරනකොට ජන ගීයන් කියන එක තමයි ඉතාමත්ම සුදුසුයි කිව්වේ. ඒ අනුව 'දන්නෝ බුදුන්ගේ', 'පාරු කවියක්' වන 'මාතර ගගේ', නැළවිලි ගීතයක් වන 'දොයිය බබා', සිව්පදයක් සහ අපේම නිර්මාණයක් වන 'නමෝ මරියනී' යන ගීත තමයි ගායනා කළේ.

Puccini කියන තනු නිර්මාණකරුවා විසින් කරනු ලැබූ Messum Dorma යන ගීතයේ තනුවට, චවන යොදලා 'දන්නෝ බුදුන්ගේ' ගීතය ගායනා කළා. එදා මම සිංදු හයක් කිව්වා. නමුත් කතාව යන්නේ මේ ගීතය පිළිබඳව තමයි. ඉතිං මම මේවා ඉදිරිපත් කළා හුඟක් හොඳයි කියලා කිව්වා. කලින් දවසේ පුහුණුවීම් දෙක තුනකුත් කළා. ත්‍රිවිධ හමුදාවත් සමග මෙහි Arrangement පවා මම විසිනුයි සිදුකරනු ලැබුවේ. පෙරදිග සංගීත කණ්ඩායමක් එක්ක මේ දේ කිරීමට ලැබුණු එක අලුත් අත්දැකීමක් වුණා. ඊට කලින් දවසේ ගාලු මුවදොරේදී පුහුණුවීමක් කරනකොට, සොල්දාදුවෝ මෙන්ම තවත් අය බොහෝසෙයින් සිටියා. සිංදුව කියන්න පටන් ගත්තාම ඔක්කෝම අය නිශ්ශබ්ද වුණා. ඒ ගීතය අහගෙන ඒ ලැබුණ ප්‍රතිචාරයත් සමගයි තීරණය කළේ නිදහස් දිනයේදී මේ ගීතයෙන්ම පටන් ගන්න.

දන්නෝ බුදුන්ගේ ගීතයට ඔබට ඇති සම්බන්ධකම කුමක්ද?

ඒ ගීතය මගේ ඥාතියෙක් වන ජෝන් ද සිල්වා මහතාගේ. ඉතිං ඒකයි මෙවැනි දේවල් අහද්දි මට හිනා යන්නේ. නිදහස් දිනයට ඒ ගීතය හරියටම, ඒ කියන්නේ පොතේ ලියපු ආකාරයටම කියන්න ඕන වුණා. ඉතිං මම එතුමන්ගේ මිණිබිරීට කතා කළා. ජෝන් ද සිල්වා මහතා විසින් මේ ගීතය සටහන් කර තිබූ පොතෙන්ම තමයි මට මේ වචන දුන්නේ. මෙහෙම කියන්න, මෙහෙම විසන්ධි කරන්න, සන්ධි කරන්න, වරද්දන්න එපා හරියට කරන්න කියලා එයා කිව්වා.

ඇතැම් සංගීත පැතිකඩයන් වැඩි වශයෙන් නොදියුණු රටක් වන ලංකාව තුළ ඔපෙරා සංගීත කලාව හුරු කරන්න පුළුවන් වෙයිද කියලා ඔබ හිතනවාද?

Krishani 600px 15 02 16 3ඔපෙරා කියන කලාව දකුණු ආසියාවේ විතරයි තාම ජනප්‍රියත්වයක් නොලැබී තියෙන්නේ. මේක ලෝක ප්‍රසිද්ධ කලාවක්. ඔපෙරා කලාව වැලඳ ගන්නා රටවල් ඒ වෙනුවෙන්ම සුපිරි මට්ටමේ ඔපෙරා කලාගාරයන් නිර්මාණය කරනු ලබනවා. අපි හිතනවා ලංකාවේ වුණත් අපේම සංගීත කලාවන් දියුණු වෙලා ඉවරයි. අතීතයේ සිට අපේ කනට මිහිරි නම් අපි ඒ දෙය අරගෙන, අපිට හරියන ආකාරයට ඒ දේ හදාගෙන තියෙනවා. බටහිර, පෙරදිග, ඉන්දියානු තනු එක එක ඒවා අරගෙන අපේ කනට මිහිරි වන ආකාරයට අපේ අය නිර්මාණ කරනවා. විවෘත කණකින් ඇහුවොත්, විවෘත මනසකින් ඇහුවොත්, සම්පූර්ණයෙන්ම අකමැත්තක් දක්වනවා කියල කියන්න අමාරුයි.
නමුත් ඒක ගැන පොඩි දැනුවත්කමක් තියෙන්න ඕනේ සහ අවස්ථාවක් ලැබෙන්න ඕනේ. ඉතිං ඒ අවස්ථාව ලබාදෙන්න මට අවස්ථාව ඇවිත් තියෙනවා කියලා මම හිතනවා. මෙවැනි දෙයක් වුණේ නැත්නම් මම මෙච්චර ධෛර්යවන්ත වෙන්නේ නැහැ. මේ සිද්ධිය නිසා හිතුණා ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා කියලා. ලාංකිකයෙක් වශයෙන් මමත් කැමතියි මගේ අත්දැකීම් පුළුල් කරන්න. බොහෝ ප්‍රතිචාරයන් මට ලැබුණා, කේමදාස සර්ගෙන් පස්සෙ ලංකාවට ඔපෙරා පැත්තෙන් යන්න කවුරුත් නැහැ. ගොඩක් අය ඉල්ලීම කරනවා ඔපෙරා කලාව ලංකාවේදී උගන්වන්න කියලා. මම නිවාඩුවට ආපුවහම දුරකථන ඇමතුම් සතියකට 40ක් 50ක් එනවා. ඒ හැමෝම අහන්නේ, උගන්වන්න පුළුවන්ද කියලයි. මම හැම සැරේම කිව්වේ උගන්වන වගකීම ගන්න බැහැ කියලයි. ඉතිං මම දැන් ලංකාවේ ස්ථිර පදිංචියට ඇවිත් තියෙන නිසා ඒ දේ පටන් ගන්න හිතුවා. අනෙක ඒ වාතාවරණය ඒ සඳහා මට දොර ඇරලා දුන්නා.

සෑමදෙයක්ම විවේචනය කරන සමාජයක් තුළ ඔබගේ හැකියාවෙන් රටට කීර්තියක් ලබාදීමට උත්සාහ කරන ඔබට දැනෙන්නේ කුමක්ද?

මට සෑහෙන දුකක් දැනුණා. ඉතාමත් ආදරයෙන් කරන දේවල් සඳහා මෙවැනි දෙයක් වුණ නිසා. හැම සැරේම ලාංකිකයෙක් හැටියට ඒක තමයි මම කරලා තියෙන්නේ. මේ සිද්ධිය වුණාම මට අනුකම්පාවක් දැනුණා. අවබෝධයක් අඩු නිසයි මෙවැනි විචේචනයන් සඳහා යොමුව තිබෙන්නේ. ගොඩක් අය කියනවා මේක වෙනස් සහ මේ පිළිබඳව දැනගන්න බොහෝ කැමතියි කියලා. අපේ ලංකාවටත් ප්‍රසිද්ධියක් ලබාදෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම කියන්න ඕන, අපි කියනවා ලංකාව ඔපෙරා කලාව දන්නෙ නැහැ.
නමුත් අවුරුදු 100කට කලින් තිබුණා Pearl Fishers කියලා ඔපෙරා නාට්‍යයක්. ඒක ලංකාවේ හදපු එකක්. විහාර මහා දේවිගේ කතාව මත නිර්මාණය වූ නාට්‍යයක්. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රංශ භාෂාවෙන් බ්‍රීසේ කියන Composer විසිනුයි කරලා තියෙන්නේ. ඒක ලෝක ප්‍රසිද්ධ ඔපෙරාවක්. ඉතිං ඒක තුළින් ලෝකයේ බොහෝ අය ලංකාව ගැන හොයලා බලනවා. මම ඕලන්දයේ ප්‍රසංග 17ක් කරනු ලැබුවා. ඒ අය පුදුම වුණා ලංකාව කියන්නේ මොකක්ද කියලා හොයලා. ලෝකයේ ප්‍රථම වතාවට තමයි ලාංකිකයෙක් ඒ චරිතය කළේ. ඒ ගැන අවබෝධයක් ඇති කරගෙන, මොකක්ද මේ ලංකාව කියන්නේ, ලංකාව කියන්නේ මොන වගේ තැනක්ද කියලා හොයලා බැලුවා. ඉතිං අපිටත් පුළුවන් කීර්තියක් ලබාගන්න.

ඔපෙරා කලාවට ආදරය කරන ඇතැම් අයට ඔබගෙන් ඉගෙන ගැනීමට ඉදිරියේදී හැකියාව තියෙනවාද?

ඔව්, අනිවාර්යයනේම ලබා දෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් වල 'Colombo Opera Company'කියලා සමාගමක් පිහිටුවා. ඒකේ අරමුණ වුණේ ලාංකිකයන්ට මේ කලාව පිළිබඳව අවබෝධයක් ලබාදෙන්න. ප්‍රසංග පැවැත්වීමේදී පුළුවන් තරමක් ලංකාවේ පිරිසගෙන් සහයෝගය ලබාගන්න. ඒ ගැන අවබෝධය තියෙන කට්ටිය ගොඩක් අඩුයි. මොනවා උනත් ඒක භාෂාවෙන් තොරව, ආගමෙන් තොරව බිහිවූ සංගීතයක්. දැන් මට හිතෙනවා ඒක ඉක්මනට කරගෙන යන්න ඕන කියලා.

ඔපෙරා කාලවට ආදරය කරන රසිකයන්ට මොනාද කියන්න තියෙන්නේ?

ඒ අයට ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා. ඒ සඳහා අකමැති වුණු කට්ටියක් හිටියා. දෙයක් විවේචනය කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්. ඒක අපිට තියෙන අයිතියක්. නමුත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ දෙය පිළිබඳව හොයලා බලපු එක ගැන. Google ඔස්සේ 'දන්නෝ බුදුන්ගේ' ගීතය, (අවුරුදු 10ක් ඇතුළත) හොයල තියෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ මේ පසුගියදායි. නුව‍ෙණ් සහ අවබෝධයත් සමග මේ පිළිබඳව හොයලා තමන්ම හිත හදාගන්න එක තමයි හොඳම දෙය. කීර්තිමත්ම පුද්ගලයෝ පවා මේ සටන තමන්ගේ සටනක් මෙන් අතට අරගෙන දුර දිග ගෙනිච්ච එක ගැන මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

(අද)