පුරවා වතුර ප්ලාස්ටික් බෝතල වල
නිල්මහනෙල් සිහින පැල කරන
යක්ෂයන් පහුකරති අපේ ගැල නිරතුරුවම
තලුමරමින් නෙළුඹු අල
මහ වැස්සක සිහින පුරවමාලමින් හදවත...
ගිණිගත් පොලව යට සුනිල දිය සඟවන
හදඉවුරු හොඳින් හඳුනන
බොහොසත් කමින් දලුලන
නාඳුනන ඊ තණ පඳුර ඔබ කොහිද ?
සොලවමින් වැහැරුනු අතපය
දුම්රියට මග කියන නියමුවකු මෙන්
බලාසිටියේය ඔබ අපේ වැහැරුණු ගැල දෙස..
තරු ලකුණු නැතිවම - අඳුරේ පැමිණ බෝ දුර
සා පිපාසා ඇතිව - නතරවී බෝසත් තණ පඳුර පාමුල
වැතිරී හති ලෑමු අප - කන තබා කලුගල් හදවතට
ඇසිණි දිය සීරාව සීරුවට ගලායන ශබ්දය
පාංශුමය කුහරය දැදුරු කර - සංසාර දුක සෝදමින
ගලායයි ගැඩවිලි පස් අතර - ඒ සිසිල් දිය දහර
නොදැකම ඒ මහෝඝය දෑසට
තව තවත් ගුලිවීමු අප දෙදෙන
ඒ මිහිරි තණ පඳුර පාමුල..
දිය සීරාව ගලා යයි සීරුවට
වියලි තොල් සහ හදවතද
ශබ්දයෙන් තෙමා හරිමින
- උපේක්ෂා නුවන්ශීනි -