Sunday, 26 September 2021
නො නිමෙන සතුට

නො නිමෙන සතුට

පැහැබර උදෑසනක පල්ලිය වෙත පැමිණි ගැමියෙක් එහි දොරට තට්ටු කළ සැනින් දොරටු රාජකාරි බාරව සිටි පියතුමා විමසිලිමත්ව දොරටුව විවෘත කළ මොහොතේ නැවුම් මිදි පිරවූ බඳුනක් අතැතිව තමා දන්නා හඳුනන ගැමියකු පැමිණ සිටින බව දුටුවේය. පූජකතුමා වෙත ආචාර සමාචාර දක්වා එම මිදි බඳුන පිළිගැන්වූ ගැමියා පසෙකින් හිඳ ගෙන කතාවට මුලපිරීය.

ගැමියා - පියතුමනි, මේවා මගේ මිදිවත්තෙන් නෙළා ගත්තු හොඳම මිදිවලින් කොටසක්. ඒවා ඔබතුමාට තෑග්ගක් වශයෙන් පිළිගන්වන්න මම හිතුවා.

පියතුමා - බොහොම ස්තුතියි. මම තෑග්ග නායක පියතුමන්ට ගිහින් දෙන්නම්. එතුමා හුඟක් සතුටු වේවි.

ගැමියා - නෑ. මම ඒවා ගෙනාවේ ඔබතුමාට. හැම වේලාවෙම මම පල්ලියට ඇවිල්ලා දොරට තට්ටු කරන කොට ඒක අරින්නේ ඔබතුමා. මගේ අස්වැන්න නියඟින් විනාස වෙලා මට කරකියා ගන්න දෙයක් නැති වුනාම ඔබතුමා තමයි මට හැමදාම වරද්දන්නෙ නැතුව පාන් කෑල්ලක් එක්ක වයින් දෙන්නෙ.
මිදි පිරවූ බඳුන සතුටින් බාර ගත් පියතුමා උදේ වරුවම ගත කළේ එහි අසිරිය විඳිමිනි.

අවසන එම මිදි බඳුන, හැමවිටම තම ප්‍රඥාවේ ආලෝකය දල්වන උපදෙස් දෙන සිය නායක පියතුමන් හට පිරිනැමීමට එතුමා තීරණය කළේය. මිදි බඳුන දුටු සැණින් සතුටින් ඉපිළ ගිය නායක පියතුමන්ට හදිසියේ යමක් සිහි විය. ඒ මෑතක සිට රෝගාතුරව සිටින එම පල්ලියේම වෙසෙන තවත් පියනමකි.
නායක පූජක තෙමේ මෙසේ සිතුවහ. ‘අසනීප වුන පූජකතුමාට මම මේක දෙනවා. ඒක එයාගේ ජීවිතයට තරමක හෝ සතුටක් ගෙන ඒවි.’

එය සිතුසේ සිදු විය. එනමුදු නැවුම් මිදි බඳුන රෝගාතුර පියතුමන්ගේ කාමරයේ නො නැවතිණ. රෝගී පියතුමන් ද මෙසේ සිතීය. ‘පල්ලියේ අරක්කැමියා මාව බලාගන්න, හොඳම ආහාර මට ලබා දෙන්න හුඟක් වෙහෙස මහන්සි වෙනවා. මට සහතිකයි මේ තෑග්ග දුන්නොත් එයා ගොඩක් සතුටු වේවි.’

මනමෝහනීය මිදි බඳුන දුටු සැණින් නිම්හිම් නැති සතුටට පත් අරක්කැමියා බොහෝ වේලාවක් එදෙස බලා තමා ලද තෑග්ග ගැන සතුටට පත් විය. මදකින් අරක්කැමියා ද සිතුවේ මිහිමවගේ අපූරු දායදයක් වූ මේ නැවුම් තෑග්ග ලැබිමට නියම සුදුස්සා නම් ශුද්ධ මිනිසකු ලෙස හැමදෙනාගේම ගෞරවාදරයටපත්ව සිටින පල්ලියේ මෙහෙකරුවා බවයි.

තෑග්ග ලද සැණින් විස්මයකට මෙන් මෙහෙකරුවාද එය පල්ලියේ සිටි නවක පියතුමකු හට එය ප්‍රදානය කිරීමට තීරණය කළේ එමඟින් දෙවියන්ගේ අපූර්වතම නිර්මාණයක් වූ සොබාදහමේ අසිරිය සෑම කුඩා දෙයකම ගැබ්ව ඇති අන්දම නවක පියතුමා වටහා ගනු ඇතැයි සිතාය.
මිදි බඳුන ලැබීමෙන් සතුටට පත් නවන පියතුමා හට, කළගුණ සැලකීමක් වශයෙන්

මුලින්ම මතකයට නැගුණේ තමා පූජකාරාමයට පැමිණි මුල් දිනයේදී තමාට ඇතුළුවීමට දොර විවර කරමින් උපකාර කළ පියතුමාය. දොරටුව බාර පියතුමා නිසා තමන්ගේ ජීවිතය යහපත් අතට හැරුණු හැටි එතුමන්ට සිහි විය.

ජීවිතයේ ඇති හාස්කම් ඉගෙනීමට ජීවිතයට ගරු කිරීමට තමන්ට ඉගැන්වූ ගුරුවරුන් සිටින මේ පූජකාරාමයට පිවිසීමට මුලින්ම අත්වැල සැපයූ ඒ මොහොත එතුමෝ උපේක්ෂාවෙන් සිහි කළහ. අනතුරුව කිසිදු පමාවකින් තොරව රැය එළඹෙන්නට මත්තෙන් මිදි බඳුන ද රැගෙන නවක පියතුමන් පූජකාරාමයේ දොරටුව වෙත පිය නැගීය.
‘ඔබතුමාට මගෙන් සුළු තෑග්ගක්. ඔබතුමා දවසේ වැඩි කාලයක් තනියම ගත කරන්නෙ මෙතනනේ. කාන්සිය දැනෙනවත් ඇති. මේ නැවුම් මිදි ඔබතුමාට සතුට ගෙන ඒවි.’

ඒ මොහොතේම දොරටුව බාර පියතුමන් වටහා ගත්තේ මේ මිදි බඳුන නිසැකවම තමන්ට ලැබෙන්න තිබුණු දෙයක් බවත් ජීවිතය යනු අහම්බයක් නොව අසිරිමත් දෙයින් පිරුණු තැනක් බවත්ය. එසේම චක්‍රයක් ලෙසින් වූ මේ සිදුවීම සංතුෂ්ටිය සහ ප්‍රීතිය වටා ගමන් කරන්නක් බවත් එය සැමවිටම නිර්ලෝභී නොහොත් ත්‍යාගවන්ත පුද්ගලයන් වටා පමණක්ම දිදුළන සංසිද්ධියක් බව ද එතුමෝ සිහි කළහ.

(Paulo Coelho) - පරිවර්තනය - SanNil