Monday, 17 December 2018
'කවුරුත් දන්නා නඩුව' සහ ජාත්‍යන්තර මුසාවාද

'කවුරුත් දන්නා නඩුව' සහ ජාත්‍යන්තර මුසාවාද

මාධ්‍යවේදී ප්‍ර‍ගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් අතරින්, මෙතෙක් ඇප නො ලත් අවසන් සිව් දෙනාගෙන් දෙ දෙනෙක් ද පසුගිය සඳුදා (24) හෝමාගම මහේස්ත්‍රාත්වරයා වෙතින් ඇප ලබාගත්හ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර හමුදා නිලධාරීන් 13 දෙනා අතරින්, මේ වන විට ඇප නො ලබා රිමාන්ඩ් භාරයේ පසුවන්නේ දෙ දෙනකු පමණි.

මෙම හමුදා බුද්ධි අංශ සැකකරුවන් දෙ දෙනාට ඇප ලැබෙන්නේ, ‘හමුදා නිලධාරීන් අධිකරණයට කැඳවීම හා දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන සිය 'අප්‍ර‍සාදය හා පිළිකුල' ප්‍ර‍කාශ කරමින්, ''වැරැද්දකට අහුවෙන්නෙ නැතිනම් නිදහස් කරන්න. නඩුවක් අහගෙන යන්න වැරැද්දක් තියෙනව නම් ඇප දීල නඩුව අහන්නැ" යි ප්‍රසිද්ධියේ කියාසිටීමෙන් දෙ සතියක් ඉක්ම යාමට මත්තෙනි.

මාස 81ක් යුක්තිය සොයමින්

“හමුදා නිලධාරීන් මාස 18ක් නඩු නැතිව හිරේ තියාගෙන ඉන්නවා කියලා ජනාධිපතිවරයා කියනවා. ජනාධිපති තුමනි, මම මාස 81ක් ප්‍ර‍ගීත් වෙනුවෙන් යුක්තිය හොයමින් මේ ගමන යනවා“ යි අතුරුදහන් ජනමාධ්‍යවේදී ප්‍රගීත්ගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියා ය.

ඇය මෙසේ කීවේ පසුගිය ඔක්තෝබර් 12 වැනි දා ජනාධිපතිවරයා කළ ප්‍ර‍කාශයකට ප්‍ර‍තිචාර දක්වමිනි. "...මම කිසි වෙලාවක හමුදාව දුර්වල කරන්න කටයුතු කරන්නේ නෑ. හමුදාව දුර්වල කරන්න මං දෙන්නත් නෑ..." යි කියමින්, කොළඹ දී පැවැති රජයේ ආරක්ෂක අංශ සාමාජිකයින් රැස් වූ වැඩසටහනක දී ජනාධිපතිවරයා පැවැත්වූ සුප්‍රකට ආවේගශීලී කතාවේ දී ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටියේ ය.

"...දැන් එක්තරා නඩුවක් තියෙනවා, කවුරුත් දන්නවා, හමුදා බුද්ධි අංශ නිලධාරීන් දැන් මාස 16ක් රිමාන්ඩ් භාරයේ තියාගෙන ඉන්නවා. ඒ අංශ භාරව කටයුතු කරන අයට මං උපදෙස් දුන්නා, මුලින් ම මාත් එක්ක කිව්වා සති දෙකයි, ඊට පස්සෙ කිව්වා නෑ මාසයයි, ඊටපස්සෙ කිව්වා නෑ මාස තුනයි. දැන් මාස 16ක් වෙනවා..."

කවුරුත් දන්නා නඩුව

ජනාධිපතිවරයා කියන මේ 'කවුරුත් දන්නා නඩුව' අනෙකක් නොව, සන්ධ්‍යා එක්නැලිගොඩ ද සඳහන් කරන ප්‍රගීත් අතුරුදහන් කිරීම පිලිබඳ නඩුව බව නො දන්නෙක් නොවෙති.

සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ප්‍ර‍බල අවියක් ලෙස භාවිතා කළ ජනමාධ්‍යවේදියකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් ගැන සිරිසේන මේ ප්‍රසිද්ධ ප්‍රකාශය කරන්නේ, සිය ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් මාස 33ක් ඉක්ම ගිය තැන ය. ඔහු ආණ්ඩුවේ ආරක්ෂක අංශ සාමාජිකයින්පි පිරිවරා කරන මේ ප්‍රකාශයෙන් හෙළිවන්නේ, එදා ජනාධිපති අපේක්ෂකයා වශයෙන්, බලය ලබාගැනීම උදෙසා තමන් පාවිච්චි කළ අතුරුදහන් ජනමාධ්‍යවේදියා හෙවත් වින්දිතයා ගේ පැත්ත තමන් තවදුරටත් නො ගන්නා බව ය. ඒ වෙනුවට, තමන් මෙදා විධායක ජනාධිපතිවරයා වශයෙන් සිය දේශපාලන පැවැත්මට වඩා වැදගත් වන රජයේ හමුදාවල සිටින අපරාධ සැකකරුවන් ගේ පැත්ත ගන්නා බව ය.

දේශපාලන බලය ලබාගැනීම උදෙසා තමන් යහමින් පාවිච්චි කළ පසුගිය පාලන සමයේ ඝාතනයට හා ප්‍ර‍හාරයට ලක්වූ ජනමාධ්‍යවේදීන් උදෙසා සැබෑ යුක්තියක් ඉටුකිරීම සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා ගේ පමණක් නොව, සමස්ත යහපාලන ආණ්ඩුවේ ම දේශපාලන අභිලාශයක් නැතිකමත්, වගකීම් විරහිත හා දෙපිටකාට්ටු පිළිවෙතත් හෙළිදරව් වන පළමු හෝ එක ම අවස්ථාව මෙය නොවේ. මේ තත්ත්වය පැහැදිළි ව ප්‍ර‍කට කරවන සිදුවීම් ගණනාවක් පසුගිය වසර එකහමාරකට අධික කාලය තුළ සිදුවිය.

එහෙත් රට තුළ එතරම් ප්‍ර‍සිද්ධියක් නො ලදත්, මේ කාරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ව අමූලික බොරු ගොතා කියන වගන්තියක් ඇතුළත් වාර්තාවක් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් එක්සත් ජාතීන් ගේ වධහිංසාවලට එරෙහි කමිටුව (CAT) වෙත මෑතකදීත් බාරදුන්නේය.

දෙපිටකාට්ටු පිළිවෙත

ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් භාරදෙන ලද පස්වැනි වාර්ෂික යාවත්කාලීන වාර්තාවේ 33 වැනි වගන්තියේ මෙසේ දැක්වේ:

“ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ පසුගිය සියලු ප්‍ර‍හාරයන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව පියවර ගෙන ඇති අතර, ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයන්ට එරෙහිව ප්‍ර‍හාර එල්ල කළ බවට චෝදනා ලත් සියලු පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබේ. 2010 ජනවාරියේ දී අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍ර‍ගීත් එක්නැලිගොඩ ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් වන විමර්ශනයන් ස්ථාවර ප්‍ර‍ගතියක් අත්කරගෙන තිබේ. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන මෙම නඩු විභාගයේ දී සිද්ධියට අදාළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.“

සිය වාර්ෂික යාවත්කාලීන වාර්තාවට මෙවැනි වගන්තියක් ඇතුළත් කරමින් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කරන්නේ පැහැදිළි බොරුවකි. බොරුව වඩාත් සාහසික වන්නේ, උක්ත වගන්තිය ඒත්තු ගන්වනු වස් හා සාධාරණීකරණය කරනු වස් ආණ්ඩුව ජාත්‍යන්තරයට විකුණන එක්නැලිගොඩ සිද්ධිය ගැන ම, රට අභ්‍යන්තරයේ දී දක්වන වගකීම් විරහිත ප්‍රතිපත්තිය හේතුවෙනි. එය පැහැදිළිව ම දෙබිඩි පිළිවෙතකි. දැන් ජනාධිපතිවරයා ගේ කටින් එළියට පනින්නේ ඒ දෙබිඩි පිළිවෙතේ ම ‘විධායක ප්‍ර‍කාශනය' පමණි.

පැවැති රාජපක්ෂ ආණ්ඩුවට එල්ල වූ ලෝක අපකීර්තියට, ජාත්‍යන්තර වශයෙන් බෙහෙවින් ප්‍ර‍චලිත වූ ලසන්ත ඝාතනය සේ ම එක්නැලිගොඩ සිද්ධිය ද දැඩි ව බලපෑවේ ය. නව යහපාලන ආණ්ඩුව පිහිටවීමේදී හා එය පවත්වාගෙන යාමේදී ජාත්‍යන්තරයෙන් ලැබුණු හා ලැබෙමින් තිබෙන උදව් උපකාරවලදී ද,  එම සිදුවීම්වලට හිමිවන වැදගත්කම ආණ්ඩුව දනී. ඔවුන් මේ වගන්තියේ එක්නැලිගොඩ සිද්ධිය ගෙනහැර පාන්නේ එබැවිනි. ජාත්‍යන්තරයේ හොඳ නම ගැනීමට එක්නැලිගොඩ සිද්ධිය නිර්ණායකයක් කර පෙන්වමින් එහි විමර්ශන ‘ස්ථාවර ප්‍ර‍ගතියක්‘ අත්කරගන්නා බව ආණ්ඩුව සිය නිල වාර්තා මගින් කියද්දී, ඇත්තටම ඊට අදාළ පරීක්ෂණවලට ලබා ඇති කලදසාව කෙබඳුද යන්න ඉහත සිදුවීම් දෙකෙන් ලංකාව ඇතුළට යළි මතක් කර දෙයි.

විමර්ශනවල 'ස්ථාවර ප්‍ර‍ගතිය'

එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට අදාළ විමර්ශනවල ඇත්තම තත්ත්වය නම්, මේ වන විට එය කිසිදු ප්‍ර‍ගතියකින් තොර ව, අදාළ හමුදා අංශවල සහයෝගයක් නොලැබ, නඩුකටයුත්තක් ලෙස ඔහේ පවතින්නන් වාලේ පවතින බව ය. විමර්ශනයන්ට යුද හමුදාව ඇතුළු හමුදා අංශවලින් සහයෝගයක් නොලැබෙන බව හා ඉල්ලා සිටින තොරතුරු නිසි පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොසැපයෙන බව අවස්ථා ගණනාවකදීම රජයේ නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයෝ අධිකරණයට වාර්තා කළහ.

අපරාධ නඩුවක නීත්‍යානුකූල විමර්ශනයන්ට අවශ්‍ය තොරතුරු නොසපයා සිටීමට, වසංකිරීමට හෝ ඒ විමර්ශනයන් අඩාල කිරීමට අනෙකුත් ඕනෑම සාමාන්‍ය පුරවැසියකුට මෙන් ම හමුදාවට ද නීතිමය අයිතියක් නැත. එය නීතියේ ආධිපත්‍යයට බාධා කිරීමක් සේ සැළකෙන හෙයින් සාමාන්‍ය අරුතින් නීති විරෝධී ලෙස සැළකේ. නමුත් අද 'මාස 16ක් නඩු නො දමා හමුදා නිලධාරීන් අත්අඩංගුවේ තබාගෙන ඉන්නවාය' යි ගෝරනාඩු කරන, නිල බලයෙන් සේනාධිනායකයා ද වන ජනාධිපතිවරයා හෝ එක්නැලිගොඩ සිද්ධියේ විමර්ශන 'ස්ථාවර ප්‍ර‍ගතියක් අත්කරගෙන ඇතැ' යි ජාත්‍යන්තරයට සාවද්‍ය වාර්තා සපයන ආණ්ඩුව හෝ එක්නැලිගොඩ සිද්ධියේ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහාය ලබාදෙන තැනට හමුදා අංශ මෙහෙයවීමට ගත් කිසිදු තැතක් ගැන වාර්තා නොවේ.

ඒ වෙනුවට සිදුවී ඇත්තේ, එක්නැලිගොඩ සිද්ධියේ වින්දිතයන් සමග නොව, තමන් සිටගන්නේ සැකකාර හමුදා පාර්ශවයන් සමග බවට සහතික කරන ලද ජනාධිපතිවරයාගේ උක්ත ප්‍රකාශයෙන් දිනකට පසු ද, යුද හමුදාව මේ පරීක්ෂණ කටයුතුවලට සහයෝගය නො දෙන බව නැවත වතාවක් අධිකරණයට දැනුම්දීමට නීතිපති දෙපාර්තමේන්තුවට සිදුවීමයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි යුද හමුදා සැකකරුවන් 13 දෙනාගෙන් ඔක්තෝබරය වනවිට ඉතිරිය සිටියේ හතර දෙනෙකි.  ජනාධිපතිවරයාගේ කතාවෙන් සති දෙකක් ඉක්ම යන විට ඒ හතර දෙනාගෙන් දෙදෙනෙකු ද, ඇපපිට නිදහස් කොට යැවුණි. එසේ සිදුවූයේ සිද්ධියට අදාළ දුරකථන වාර්තා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති තොරතුරු ලබාදීමට හමුදා බුද්ධි අංශ ප්‍ර‍ධානී බ්‍රිගේඩියර්වරයා කටයුතු කර නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් ජනාධිපතිවරයාගේ කතාවට පසුදා ද අධිකරණයට දැනුම් දී තිබියදී ය.

ප්‍රගීත් සිද්ධියේ සැකකරුවන් සම්බන්ධයෙන් ''වැරැද්දක් තියෙනව නම් ඇප දීල නඩුව අහන්නැ"යි ජනාධිපතිවරයා උස් හඬින් කීවේ, සිය ඡන්ද ව්‍යාපාරයේ දී යහමින් විකුණාගත් සන්ධ්‍යා එක්නැලිගොඩ ඊට සත් මසකට පෙර, එනම් පසුගිය මාර්තුවේ දී මෙසේ කියා තිබියදී ය:

"ප්‍රගීත් ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා නිලධාරීන් ඇප පිට නිදහස් කළොත්, එය මගේ ජීවිතයට බරපතල තර්ජනයක්. මේ විමර්ශන කිසිම හේතුවක් නිසා නොනවත්වන ලෙසත්, හැකි ඉක්මනින් විමර්ශන අවසන් කර අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙසත් මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා."

සන්ධ්‍යා එසේ කියන විට මේ කිසිදු සැකකරුවකුට ඇප ලැබී නො තිබිණි. එ දින ඇය කියා සිටියේ සැකකරුවන්ට ඇපදීම "මගේ ජීවිතයට පමණක් නොව, නඩුව වෙනුවෙන් පෙනීසිටින නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ ජීවිතවලට ද තර්ජනයක් විය හැකි" බව ය. ඒ ප්‍රකාශය සිදුකර හය මාසයක් ඇතුළත අත් අඩංගුවේ සිටි 13 දෙනාගෙන් 11 දෙනෙකුම ඇප පිට නිදහස් කොට යැවුණේ ඒ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි.

ව්‍යාජ 'කොටි' චෝදනා

එක්නැලිගොඩ සිද්ධියට යුදහමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා විට එම බුද්ධි අංශ කියා සිටියේ ප්‍රගීත් එල්ටීටීඊ සංවිධානය සමග සබඳතා පවත්වමින් 'ත්‍රස්තවාදී කටයුතුවල' නිරත වී ඇති බවත්, ඒවා විමර්ශනය කිරීමට ඔහු අත්අඩංගුවට ගත් බවත් ය. තමන්ට ඒ බව හඬපට ඇතුළු සාක්කි මාර්ගයෙන් ඔප්පු කළ හැකියැයි හමුදාව දිගින් දිගට ම කීවේ, ඔහු මත 'කොටි' ලේබලය අලවමිනි. අවසන බොහෝ කල්මරා ප්‍රගීත් 'කොටියෙකැ' යි කියන්නට යුද හමුදා බුද්ධි අංශය විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හඬ පට සාක්කිය, තැනින් තැන කෑලි එකතු කර නිපදවන ලද ව්‍යාජ එකක් බව, ඒවා සම්බන්ධයෙන් අධිකරණයේ ඇනවුමෙන් සිය විශේෂඥ මතය ඉදිරිපත් කළ මොරටුව විශ්වවිද්‍යාලය පසුගිය සැප්තැම්බර් 06 වැනිදා අධිකරණයට දැනුම් දී තිබිණි.

ඊට අමතර ව ප්‍රගීත් එක්නැලිගොඩ ත්‍රස්තවාදී කටයුතු සඳහා අවශ්‍ය කරන පුද්ගලයෙක්ද, නැතිද යන්න දන්වන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්ත විමර්ශන ඒකකය, ජාතික රහස් ඔත්තු සේවය, රාජ්‍ය බුද්ධි සේවය, විශේෂ විමර්ශන ඒකකය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව යන ආයතන වෙතින් වෙන් වෙන්ව විමසනු ලැබ තිබිණි. යුද හමුදාව පමණක් මේ සම්බන්ධ සිය පිළිතුරු තවමත් පමාකරමින් සිටින නමුත්, අනෙක් සියලු ආයතන දැනුම්දී ඇත්තේ එක්නැලිගොඩ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් කිසි විටෙක සැකයට භාජනය වූ අයකු නො වන බව යි.

තතු එසේ වුව, අවසන් වරට ඇප ලැබූ අපරාධයක සැකකරුවන් වන හමුදා නිලධාරීන් වෙනුවෙන් පවා 'රණවිරු‍' ලේබලය යටතේ ඇපමුදල් උදෙසාය යි කියමින් මේ වන විටත් ජනයාගෙන් මුදල් එකතු කරන ව්‍යාපාර දියත් වේ.

ආණ්ඩුව ජාත්‍යන්තරයට වාර්තා හදමින් කියා සිටින,  ප්‍රගීත් සම්බන්ධ විමර්ශනයන් අත්කරගෙන ඇති අපූරු 'ස්ථාවර ප්‍රගතිය' නම් මෙයාකාර ය. ලසන්ත ඝාතනය පිළිබඳ වගකීම භාරගත් බුද්ධි අංශ නිලධාරියෙක් කෑගල්ලේදී දිවි නසාගැනීම පිළිබඳ නාටකීය පුවතට අවධානය යොමුව තිබිය දී ලසන්තගේ මරණය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන තිබූ හමුදා බුද්ධි අංශ නිලධාරී සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම ඔක්තෝබර් 27 වැනිදා ඇප  මත නිදහස් කර යැවෙන්නේ මීට අමතර වශයෙනි. ඒ පියවර ගැනෙන්නේ 2009 ජනවාරියේදී තමන්ට පහර දුන්නේ උදලාගම විසින් බව රිවිර පත්‍රයේ කර්තෘ උපාලි තෙන්නකෝන් විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති පෙරෙට්ටුවික දී හඳුනාගනු ලැබීමෙන් පසුව ය.

වගන්තියම සහමුලින් බොරුවක්

කෙසේ වුවද ආණ්ඩුව විසින් පසුගිය ජුනි මාසයේ දී CAT කමිටුවට ඉදිරිපත් කරන ලද වාර්ෂික යාවත්කාලීන වාර්තාවේ උක්ත වගන්තිය බොරුවක් වන්නේ එහි දෙවැනි වැකියේ එන එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් පමණක් නොවේ. එහි පළමු වැකියෙන් 'ජනමාධ්‍යවේදීන්ට එරෙහි සියලු ප්‍ර‍හාර ගැන විමර්ශන පැවැත්වීමට ආණ්ඩුව පියවර ගෙන ඇතැයි ද, මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයන්ට එරෙහිව ප්‍ර‍හාර එල්ල කළ බවට චෝදනා ලත් සියලු පුද්ගලයන්ට එරෙහි ව අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇතැ'යි ද ආණ්ඩුව එම කමිටුවට වාර්තා කළත්, ප්‍ර‍ගීත් අතුරුදහන් කරවීම හා ලසන්ත ඝාතනය ඇතුළු ඉතා ම ප්‍ර‍කට ව කියැවෙන,  සිද්ධියක් දෙකක් හැරුණුකොට, පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයන්ට එරෙහි ව එල්ල වූ ප්‍ර‍හාර සහ ඝාතන අති බහුතරයකට අදාළ ව නාමික විමර්ශනයක් හෝ මේ මොහොත වන විටත් සිදුවෙමින් නොපවතී. වාක්‍ය දෙකකින් යුත් මේ සමස්ත 33 වැනි වගන්තියම මුළුමනින් මුසාවක් වන්නේ ඒ නිසා ය ඒ වනාහී ජාත්‍යන්තර ආයතන දැනුවත්ව නොමග යැවීමට ගන්නා ලද ක්‍රියාමාර්ගයකි. (මේ වනාහී හුදෙක්, ආණ්ඩුව විසින් එක්සත් ජාතීන් ගේ CAT කමිටුවට ඉදිරිපත් කර ඇති පිටු හතකින් සහ වගන්ති 44කින් යුත් යාවත්කාලීන වාර්තාවක එකම එක වගන්තියක් පිළිබඳ සැබෑ තත්ත්වය බව සැළකිල්ලට ගන්න!)

ආණ්ඩුවේ මුසාවට එක් ප්‍ර‍සිද්ධ උදාහරණයක් නම්, මෙයින් වසර 16කට ඉහත දී යාපනයේ අධි ආරක්ෂිත කලාපයක දී වෙඩි තබා ඝාතනය කළ බීබීසී සංදේශයේ යාපනය වාර්තාකරු මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය සම්බන්ධයෙන්, කිසිදු අපරාධකරුවකු 16 වසරක් තිස්සේ නීතිය හමුවට නොගෙන ඒමයි.

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය විසින් 2004 සිට 2010 දක්වා මෙ රට ඝාතනයට හෝ පැහැරගැනීමට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් 44 දෙනකු ගේ විස්තරාත්මක ලැයිස්තුවක් සම්පාදනය කර තිබේ. ඒ අතරින් අවම වශයෙන් සිදුවීම් 15ක්, ඔවුන් ජනමාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතනවල සේවකයන් වීම නිසාම, විශේෂයෙන් ඉලක්ක කොට ඝාතනය කළ හෝ පැහැරගත් අවස්ථා ලෙස හැදින්විය හැකි අපරාධයන් ය. එකී අපරාධ පිටුපස රජයේ හස්තය ඇති බවට දැනටත් පොදු වශයෙන් පිලිගැනී තිබීම ද වැදගත් කරුණකි.

ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයන්ට එරෙහි සියලු ප්‍ර‍හාර ගැන විමර්ශන පැවැත්වීමට පියවර ගෙන ඇතැයි ද, ප්‍ර‍හාරවලට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇතැයි ද සාවද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ජාත්‍යන්තරය නොමග යවන්නට හදන ආණ්ඩුව, අවම වශයෙන් මෙම සිදුවීම් 15සම්බන්ධයෙන් තමන් ගෙන ඇති ක්‍රියාමාර්ග හෙළිදරව් කළ යුතු ය.

සනත් බාලසූරිය


 © JDS

2004 - 2010 අතරතුර ජනමාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතනවල සේවකයන් වීම නිසා ම, විශේෂයෙන් ඉලක්ක කොට ඝාතනය කළ හෝ පැහැරගත්  අවස්ථා ලෙස හැදින්විය හැකි සිදුවීම් මෙසේ ය:


1. අරියතුරෛ නඩේසන් - ජනමාධ්‍යවේදී

ඝාතනය - 2004 මැයි 31 වැනි දා මඩකලපුවේ දී.

ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සංසදයේ උප සභාපතිවරයා වූ නඩේසන් 'වීරකේසරී' පුවත්පතේ තීරුලිපි රචකයකු ලෙස කටයුතු කළේ ය. Human Rights Watch සංවිධානය සිය 2005 ජාත්‍යන්තර වාර්තාවෙන් කියා සිටියේ මෙම ඝාතනයේ වගකීම රාජ්‍ය අනුග්‍ර‍හය සහිත අතුරු හමුදා කණ්ඩායමක් වූ කරුණා කල්ලියට පැවරෙන බව ය.

2. ධර්මරත්නම් සිවරාම් (තරාකී) - ජනමාධ්‍යවේදී

ඝාතනය - 2005 අප්‍රේල් මස 28 වැනිදා කොළඹ දී.

'ටැමිල් නෙට්' වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ සංස්කාරකවරයා වූ සිවරාම් 'ඩේලි මිරර්' හා 'වීරකේසරී' පුවත්පත්වලට සතිපතා තීරු ලිපි සැපයී ය. ආයුධ සන්නද්ධ පිරිසක් විසින් කොළඹ දී පැහැරගන්නා ලද අතර ඔහු ගේ මළසිරුර, පසුදා පාර්ලිමේන්තුව ආසන්නයෙන් සොයාගන්නා ලදී. හමුදා බුද්ධි අංශ සමග ගනුදෙනු කරන අතුරු හමුදා කල්ලියක් විසින් මෙම ඝාතනය සිදුකරන ලද බවට සැළකේ.

3. සුබ්‍ර‍නියම් සුගීර්ධරාජන් - ජනමාධ්‍යවේදී

ඝාතනය - 2006 ජනවාරි 24 වැනිදා ත්‍රිකුණාමලයේ දී.

'සුඩර් ඔලි' පුවත්පතේ ත්‍රිකුණාමලය වාර්තාකරු ලෙස සේවය කළේ ය. 2006 ජනවාරි 02 වැනි දා ත්‍රිකුණාමලයේ දී පාසල් සිසුන් පස්දෙනකු ඝාතනය කිරීමට යුද හමුදාවේ ඇති සම්බන්ධය හෙළිදරව් කළ මාධ්‍යවේදියා ය.

4. එස් ටී ගනනාදන් - පාලක, දෙමළ ප්‍රවෘත්ති හා තොරතුරු මධ්‍යස්ථානය

ඝාතනය - 2006 පෙබරවාරි 01 වැනිදා යාපනයේ දී.

යාපනයේ අරියාලේ හි මාම්පලම් මංසන්ධියේ හමුදා කදවුරක් ආසන්නයේ දී වෙඩිතබා ඝාතනය කරන ලදී.

5. බැස්ටියන් ජෝර්ජ් සගයදාස් (සුරේෂ්) - මාධ්‍ය සේවක

ඝාතනය - 2006 මැයි 03 වැනිදා යාපනයේ දී.

යාපනයේ 'උදයන්' පුවත්පතේ බෙදාහැරීම් කළමනාකරු ලෙස සේවය කළේ ය. ලෝක නිදහස් ජනමාධ්‍ය දිනයේ දී ඊපීඩීපී සංවිධානයට සම්බන්ධ බවට සැකකැරෙන අවිගත් පස් දෙනෙක් පුවත්පත් ආයතනයට කඩාවැදී කළ වෙඩිතැබීමක දී ඝාතනය විය.

6. රාජරත්නම් රන්ජිත් කුමාර් - මාධ්‍ය සේවක

ඝාතනය - 2006 මැයි 03 වැනිදා යාපනයේ දී.

යාපනයේ 'උදයන්' පුවත්පතේ බෙදාහැරීම් අධීක්ෂක ලෙස සේවය කළේ ය. ලෝක නිදහස් ජනමාධ්‍ය දිනයේ දී ඊපීඩීපී සංවිධානයට සම්බන්ධ බවට සැකකැරෙන අවිගත් පස් දෙනෙක් පුවත්පත් ආයතනයට කඩාවැදී කළ වෙඩිතැබීමක දී ඝාතනය විය.

7. සින්නතම්බි සිවමහරාජා - මාධ්‍ය හිමිකරු

ඝාතනය - 2006 අගෝස්තු 20 වැනිදා යාපනයේ දී.

යාපනයේ 'නමද ඊලනාඩු' පුවත්පතේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ය. යාපනයේ තෙලිප්පලෛ හි අධි ආරක්ෂිත කලාපයක් ලෙස යුද හමුදාව විසින් නම්කරන ලද ප්‍රදේශයක පිහිටි ඔහු ගේ නිවසේ දී වෙඩිතබා ඝාතනය කරන ලදී.

8. සම්පත් ලක්මාල් ද සිල්වා - ජනමාධ්‍යවේදී

ඝාතනය - 2006 ජූලි මස 02 වැනිදා කොළඹ දී.

'ඉරුදින,' 'ලක්බිම' හා 'සත්දින' ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක නිදහස් ආරක්ෂක වාර්තාකරුවෙක් ලෙස කටයුතු කළේ ය. යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ බවට සැකකැරෙන පුද්ගලයකු විසින් ඔහු සිය නිවසින් පිටතට කැදවාගෙන ගොස් සමීපයේ සිට වෙඩිතබා ඝාතනය කරන ලදී.

9. සුබ්‍රමානියම් රාමචන්ද්‍ර‍න් - ජනමාධ්‍යවේදී

අතුරුදහන් වීම - 2007 පෙබරවාරි 15වැනි දා යාපනයේ දී.

'යාල් තිනක්කුරල්' හා 'වාලම්පූරි' පුවත්පත්වල වඩමාරච්චි වාර්තාකරු ලෙස සේවය කළේ ය. හමුදා ක්‍රියාකාරකම් අධික වඩමාරච්චි හි කරවෙඩ්ඩි ප්‍රදේශයේ දී ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගන්නා ලදී.

10. චන්ද්‍රබෝස් සුදාකර් - ජනමාධ්‍යවේදී

ඝාතනය - 2007 අප්‍රේල් 16 වැනිදා වව්නියාවේ දී.

'ඊලනාදන්' 'වෙලිච්චම්' 'ඊලනාඩු' 'නිලාම්' 'කලචුවඩු' හා 'වීරකේසරී' ඇතුළු දෙමළ පුවත්පත් රැසකට වාර්තා සැපයූවේ ය. අතින් ලියා පළකැරුණු 'නිලාම්' නම් සගරාව සංස්කරණය කළේ ය. වව්නියාවේ තිරුනාවට්කුලම් හි පිහිටි ඔහු ගේ නිවසට ඇතුළු වූ නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ඝාතනය කරන ලදී.

11. සෙල්වරාසා රජීවර්මන් - ජනමාධ්‍යවේදී

ඝාතනය - 2007 අප්‍රේල් 29 වැනිදා යාපනයේ දී.

යාපනයේ 'උදයන්' පුවත්පතේ පුහුණුවන මාණ්ඩලික වාර්තාකරුවෙක් ලෙස කටයුතු කළ රජීවර්මන් ඊට පෙර 'තිනක්කුරල්' හා 'නමදු ඊලනාඩු' පුවත්පත්වලට සම්බන්ධ ව සිටියේ ය. යාපනයේ නාවලර් පාරේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී වෙඩිතබා ඝාතනය කරන ලදී.

12. සහාදේවන් නිලක්ෂන් - ජනමාධ්‍යවේදී

ඝාතනය - 2007 අගෝස්තු 01වැනි දා යාපනයේ දී.

යාපනය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ සිසුවෙක් හා අර්ධකාලීන ජනමාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කළේ ය. යාපනය දිස්ත්‍රික් ශිෂ්‍ය සංගමය විසින් ප්‍ර‍කාශයට පත්කරන ලද ශිෂ්‍ය සගරාවක සංස්කාරකවරයෙක් ලෙස ද කටයුතු කළේ ය. යතුරුපැදියක් ධාවනය කරමින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් විසින් නිවෙස ඉදිරිප දී වෙඩිතබා ඝාතනය කරන ලදී.

13. වඩිවේලු නිර්මලරාජ් - මාධ්‍ය සේවක

අතුරුදහන් වීම - 2007 නොවැම්බර් 17 වැනි දා යාපනයේ දී.

යාපනයේ  'උදයන්' පුවත්පතේ සෝදුපත් කියවන්නෙක් ලෙස සේවය කළේ ය. සිය රාත්‍රී සේවාමුරය අවසන් කර නිවෙස බලා යමින් සිටිය දී අතුරුදහන් විය.

 

14. පරනිරුපසිංහම් දේවකුමාර් - ජනමාධ්‍යවේදී

ඝාතනය - 2008 මැයි 28 වැනි දා යාපනයේ දී.

'ශක්ති ටීවී' හි යාපනය වාර්තාකරු සේ ම එහි ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍ර‍ධානියා ද විය. සේවය අවසන් කර නිවෙස බලා යමින් සිටිය දී සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් කපාකොටා මරාදමන ලදී.

15. ඉසෛ ප්‍රියා (ශෝබා) - ජනමාධ්‍යවේදිනී

ඝාතනය - 2009 මැයි 18 වැනිදා මුලතිව්හි දී.

එල්ටීටීඊ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස සේවය කළා ය. යුද්ධයේ අවසන් දිනවල හමුදාවට භාරවූ බව වාර්තා වෙයි. ඝාතනය කිරීමට පෙර ඇය ලිංගික අපහරණයට ලක්කළ බවට විශ්වාස කළහැකි ඡායාරූපමය සාක්ෂි පසුව අනාවරණය විය.☐