Monday, 20 August 2018
දෙමළ පිබිදීම සහ සිසු ඝාතන: සැළසුම් සහගත 'අහම්බයන්ද?'

දෙමළ පිබිදීම සහ සිසු ඝාතන: සැළසුම් සහගත 'අහම්බයන්ද?'

යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් ඝාතනය කිරීමේ සිදුවීම දෙමළ ජනයා බියගැන්වීමේ දිගුකාලීන රාජ්‍ය පිළිවෙත යළිත් වතාවක් වැඩි තීව්රතාවකින් යුතුව පෙරට ගැනීමක් මිසෙක අහම්බ සිදුවීමක් ලෙස සැළකිය හැකි නොවේ. විශේෂයෙන්ම පසුගියදා උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් දෙමළ දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන විසින් කැඳවන ලද විරෝධතා රැළියේ සාර්ථකත්වය විසින් දෙමළ ජනයා තම අයිතීන් වෙනුවෙන් සටන්කිරීමට ඇති සුදානම පෙන්නුම් කිරීමත් සමගම මේ මර්දන සුදානම වඩාත් පැහැදිලි දැකගත හැකි විය. දෙමළ ජනයා බියගන්වා දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් ඔවුන්ව පළවාහැරීම සිංහල අධිපතිවාදී රාජ්‍යයේ පමණක් නොව, එය මෙහෙයවන අධිරාජ්‍යවාදී බලවේගයන්ගේ කලාපීය උපායමාර්ගයන් ගේ ද නියත අවශ්‍යතාවක් වෙයි.

ඉතිහාසය පුරාම දෙමළ ජනයා රාජ්‍ය යේ පීඩාකාරී ප්‍රතිපත්තීන්ට එරෙහිව සාමකාමීව සිය විරෝධය දැක්වීමට පෙරට පැමිණි සෑම විටෙකම සිංහල අධිපතිවාදි රාජ්‍යයේ ප්‍රතිචාරය වූයේ ඔවුන් මත දැවැන්ත බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාමාලාවක් දියත් කොට ඔවුන් බියගන්වා දේශපාලනිකව අකර්මණ්‍ය කිරීමට වෑයම් දැරීමයි. දෙමළ ජනතාවගේ ගේ සටන් කිරීමේ ධෛර්යය විනාශ කිරීමේ විධි ක්‍රම ලෙස මිනිස් ඝාතන, පැහැරගෙන යාම්, වධබන්ධන පැමිණවීම්, අත්අඩංගුවට ගැනීම් රඳවා තබා ගැනීම්, ලිංගික අතවර, නිවාස හා දේපොල විනාශ කිරීම්, මෙන්ම දැවැන්ත විසකුරු වෛරී ප්‍රචාරයන් දියත් කිරීම ආදි කෘර උපක්‍රම සෑම විටෙකම භාවිතා කෙරිණි. 1956 සිංහල භාෂා පනතට එරෙහිව දෙමළ ජනයාගේ සාමකාමී සත්‍යග්‍රහය මැඩපැවැත්වමේ උපක්‍රමයක් ලෙස දෙමළ සමාජය මත සාමූහික ත්‍රස්තය යෙදවීමට සිංහල මැරයන් ද පොලිසිය සහ හමුදාව‍ යෙදවීමේ අවස්ථාවේ සිට මේ දක්වා සිදුවෙනුයේ ඒ එ එකම ක්‍රියාදාමයයි. එනම් දෙමළ ජනයා සංවිධිතව තම ඉල්ලීම් පෙරට ගනු ලබන සෑම විටෙකම ඔවුන් මත රාජ්‍ය ත්‍රස්තවාදය විවිධ ආකාරයෙන් මුදාහරිමින් ඔවුන් නිහඬකිරීමට වෑයම් දැරීමයි. 1956, 1958, 1961, 1972, 1977, 1981, 1983 ආදි වසරවල දී දෙමළ ජනයාට එරෙහිව දියත් කරන ලද ප්‍රධාන මහා පරිමාණ ප්‍රචණ්ඩ ක්‍රියාදාමයන් ද 1983-2009 කාලය තුළ දියත් කරන ලද දැවැන්ත මිලිටරි මර්දනය ද මේ එකම ක්‍රියාදාමයේ විවිධ අවස්ථාවන් ය.

නිමල්කා හා කදිරගාමර්

මානව ඉතිහාසයේ ජන කොටසකට මුහුණ දීමට සිදු වූ සාහසිකම සාමූහික විනාශයකට සහ භීෂණයකට මුහුණ දීමට දෙමළ ජනතාවට 2009දී සිදු විය. ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ ජනයා - ළමා ලපටින්ගේ සිට මහල්ලන් දක්වා - ශේෂ වූ සියල්ලන් සාමුහික රැඳවුම් කඳවුරු තුළට ගාල්කොට පාගා නිහඬ කරන ලදි. ඒ දෙමළ ජාතිය දැන් යළිත් තමන්ගේ අයිතීන් වෙනුවෙන් තම කට හඬ අවදි කොට තිබේ. 2009 මැයි මාසයෙන් පසු “දෙමළුන්ගේ ඉතිහාසය අවසන් වූවා“ යැයි සිතූ සියල්ලන් යාපනය දෙමළ පිබිදීම රැළියෙන් යළිත් කලබල වූයේ එනිසා ය. සිංහල අධිපතිවාදී දේශපාලන ධාරාවන්ගේ උමතු කෝපය දැනටමත් මෙම රැළිය සම්බන්ධයෙන් සමස්ත දෙමළ ජනතාවටත්, එය සංවිධානය කළ දෙමළ බහුජන සංවිධාන සහ දේශපාලන නායකත්වයටත් එරෙහිව විවෘතවම යොමුව තිබේ. එය පැහැදිලි ය. බොදුබල සේනාවේ මැර කල්ලි විසින් දෙමළ ජනයා බහුතරයක් වෙසෙන වවුනියාවේදී වෛරී සටන් පාඨ හඬ නගමින් මහ ඇමැති විග්නේශ්වරන්ට පමණක් නොව, ඔහුගේ දරුවන්ට ද එරෙහිව ජීවිත තර්ජන එල්ලකරන ලදි. ඒ අතර කොළඹ රාජ්‍ය නොවන සංවිධාන නායිකාවක් වන නිමල්කා ප්‍රනාන්දු, මහ ඇමැති විග්නේශ්වරන්ගේ පුතුන් මෙම රැළිවලට සහභාගි කරවා නොගැනීම මගින් විග්නේශ්වරන් දක්වා ඇති “කුහකකම “ අභියෝග ලක් කරමින් ඒ පෙළහරටම එක්වූවාය. එමෙන්ම මෙම යාපනය රැළියේදී සිංහල රාජ්‍යයේ අධිපතිවාදි කෘර පීඩනයට එරෙහිව දෙමළ ජනයා ප්‍රදර්ශනය කරන ලද සාමුහිකත්වය බිඳහෙළීමේ අරමුණින් ඇය යාපනයේ “කුලවාදය“ ද මෙම රැළියට එරෙහිව ප්‍රහාරක අවියක් ලෙස භාවිතාකිරීමට උත්සාහ කළාය.

සිංහල ස්වෝත්තමවාදි “වාමාංශික“ ගැලරිය වෙතින් නිරතුරුව උද්‍යෝගීමත් අත්පොලසන්, විසිල් සහ හුරේ හඬ නොමඳව ලබන්නෙකු වන අහිලන් කදිරගාමර් මෙම රැළියේ “ජාතිවාදී සීමාකම්“ ප්‍රශ්න කරමින් “විදග්ධ විවේචනයක“ නිරත වූයේ මීට අතිරේකව ය. ඔහු මෙහි දී මහ ඇමැති විග්නේශ්වරන් උතුරු පළාත් සභාවේදී තම ප්‍රතිපාදන වියදම් නොකිරීම සම්බන්ධව ප්‍රශ්නයක් මතු කරමින් විග්නේශ්වරන් මෙම රැළියට සහභාගි වීමේ “අවංක කම“ අභියෝගයට ලක් කළේය. රාජ්‍යයේ පීඩාකාරී ප්‍රතිපත්තීන්ට එරෙහිව දෙමළ සමාජයේ පීඩිත ස්ථරයන් වෙතින් මතු වූ මෙම විරෝධතාව විසින් ඉදිරිපත් කර ඇති සංයුක්ත දේශපාලන ඉල්ලීම් පිළිබඳව අවධානය වෙනතකට යොමු කරමින් එයට ගැරහීමට කරුණු ඇහිළීමට අහිලන් කදිරගාමර් වැන්නවුන් ඉදිරිපත් වීම අරුමයක් නොවේ. අහිලන් කදිරගාමර්ලාට පෙර ආනන්ද සංගරී වැන්නවුන් ඉටු කළේ ද මෙම කාර්යය භාරයම ය.

මෙහිලා අපගේ අවධානයට යොමු විය යුතු වැදගත් කරුණ නම් ස්වකීය ඉල්ලීම් වෙනුවෙන් පෙරට එමින් සිටින දෙමළ දේශපාලනයේ මෙම වර්ධනයන් පිළිබඳව සිංහල අධිපතිවාදි රාජ්‍යය යන්ත්‍රයත් එය මෙහෙයවන අධිරාජ්‍යවාදි බලවේගත් දක්වන ප්‍රතිචාරය පිළිබඳවයි. නිසැකවම එය අප ඉහත සඳහන් කළ බොදු බල සේනා වැනි බලවේගවල නග්න මැර ප්‍රවේශය හෝ එන්ජීඕ බලවේගවල පොදු අරගල පිළිබඳ "වාචාල" ප්‍රවේශයට ද එහා ගිය බැරෑරුම් සහ සංයුක්ත මිලිටරි සහ දේශපාලනමය ප්‍රතිචාරයක් වනු ඇත. ඉතිහාසය පුරාම සිදු වූ අයුරින් මෙවර ද ඔවුන් මෙම නැගිටීමද ප්‍රචණ්ඩව මර්දනය කිරීමට සැලසුම් කරනු ඇත.

ජනපති සිරිසේනගේ මෙහෙයුම

මෙම රැළියට පසුව ජනාධිපතිවරයා විසින් “හමුදා නිලධාරීන්ව උසාවියට දක්කාගෙන යාම “ ගැන කරන ලද ප්‍රකාශය සැළකිල්ලට ගත යුත්තේ දෙමළ පීඩිතයා රාජ්‍යයයේ අනවරත පීඩනයට එරෙහිව නැවතත් සංවිධිතව නැගී සිටීමට වෙර දරනා මෙම පුළුල් සංදර්භය තුළ මිසක පාලක පන්තියේ බල කණ්ඩායම් අතර පුද්ගලික එදිරිවාදුකම්වල සීමාවන් තුළ නොවේ. ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය කරන ලද්දේ බුද්ධි අංශ විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට පසුව යැයි කියනු ලැබේ. යුද සමයේ දැඩි කැපවීමෙන් කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝන චෝදනා හෝ දූෂණ චෝදනා නැගීමෙන් සමස්තයක් ලෙස ත්‍රස්ත මර්දන කටයුතු අඩාලවීමෙන් ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්විය හැකියැයි එම වාර්තාව මගින් අනතුරු හඟවා තිබිණි යැයි ද පළ විය.

තාවකාලිකව දැනට අර්ධ වශයෙන් කඳවුරු තුළට සීමා කොට ඇති හමුදාව යළිත් පූර්ණ ලෙස උතුරේ ජන ජීවිතය පාලනය කරනු වස් යොදාගැනීම කෙරෙහි රාජ්‍යයේ අභ්‍යන්තර මෙහෙයුම් යන්ත්‍රය ද එය මෙහෙයවන බාහිර බලගතු බලවේගවල ද සැළකිල්ල යොමුව ඇත්ද? එවැන්නක් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුව ඇත්තේ තමන්ට අවනත දේශපාලන නායකත්වයක් උතුරේ ගොඩනැගීමේ පශ්චාත්-යුද මනෝවිද්‍යාත්මක මෙහෙයුම් සහ දේශපාලන ව්‍යාපෘතීන් අසාර්ථකව ඇති බව මෙම රැළියත් සමගම ඔවුන් තීරණය කර ඇති නිසාද? යළිත්වරක් දේශපාලන නායකත්වය සහ මිලිටරිය අතර පූර්ණ ඒකාග්‍රතාවක් සියලු මට්ටමින් ගොඩ නැගීමේ අවශ්‍යතාව අවධාරණය වනුයේ නැවතත් දැවැන්ත මර්දනයකින් දෙමළ ජනයාගේ හඬ යටපත් කරනු සඳහාද? ජනාධිපතිවරයා ගේ “හමුදාවට ෂේප් කරගැනීමේ “ දේශනය පිටුපස ඇති ඇත්ත හේතුන් මේවාද?

1960 දශකයේ දී යාපනය අර්ධද්වීපය තුළ ස්ථාවර ලෙස හමුදාව ස්ථාපනය කිරීමෙන් අනතුරුව අද දක්වාම එය පවත්වාගෙන යනුයේ එළිමහන් සිර කඳවුරක් ලෙස ය. උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ සියළු දේශපාලන ක්‍රියාකාරකම් රාජ්‍ය ආරක්ෂක අංශවල දැඩි නිරීක්ෂණයට යටත් ය. දෙමළ පිබිදීම රැළිය විසින් සනිටුහන් කරන ලද වර්ධනය සියළු ආරක්ෂක අංශවල දැඩි අවධානයට යොමු ඇති කරුණක් වීම අපේක්ෂා කළ යුතු දෙයකි. සියළු පශ්චාත්-යුද දේශපාලන සැළසුම් අවුල් කරන මෙබඳු වර්ධනයන් ආරම්භයේදී ම සහමුලින් කපාහැරීමට රාජ්‍ය යන්ත්‍රය නිසැකවම කටයුතු කරනු ඇත්තේ ඒ නිසා ය. සිංහල අධිපතිවාදී රාජ්‍යය ඉතිහාසය පුරාම දෙමළ ජනයාගේ මෙබඳු සංවිධිත නැගිටීම්වලට ප්‍රතිචාර දක්වා ඇත්තේ ත්‍රිවිධ හමුදාවන් සහ පොලිසිය ද මැර බලවේගයන්ද විවිධ අතුරු හමුදා කණ්ඩායම් ද යොදවමින් ඒවා මර්දනය කරමිනි . මෙවර ඊට වෙනස් ආකාරයකට ප්‍රතිචාර දක්වතැයි සිතීමට ඉඩක් තිබේ ද?

2009 දී කොටි සංවිධානය විනාශ කිරීමෙන් පසුව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සැළසුම වූයේ තමන්ට අවනත දෙමළ දේශපාලන නායකත්වයක් උතුරු නැගෙනහිරින් ගොඩනගා ගැනීමයි. නමුත් එය දැනටමත් අසාර්ථක වූ ව්‍යාපෘතියකි. සුමන්දිරන් වැන්නන් දැන් දෙමළ ජනයාගේ විරෝධයට සහ පිළිකුළට පත්ව සිටින අතර රාජ්‍යයට පක්ෂපාති මහඇමැතිවරයෙකු ගොඩනගාගැනීමේ අරමුණ සැළකිය යුතු දුරකට ව්‍යර්ථ කරමින් හිටපු විනිසුරු විග්නේශ්වරන් යුක්ති සහගත ඉල්ලීම් වෙනුවෙන් සටන් වදින දෙමළ ජනයාගේ සංකේතීය දේශපාලන නායකත්වය බවට පත්ව තිබේ.

ඉතිහාසයේ පුනරුක්තියක්?

මේ තත්ත්වය “තමන්ට අවශ්‍ය පරිදි පාලනය කරනු වස් “ රාජ්‍යය යන්ත්‍රය විසින් ගැනීමට ඉඩ ඇති පියවර දිවයිනේ සියළු ජන කොටස් කෙරෙහි විනාශකාරි අන්දමින් බලපානු ඇත. එහෙයින් ඔවුන්ගේ අතීත මිලිටරි-දේශපාලන ප්‍රවේශයන් ඇසුරින් ඔවුන් මේ මොහොතේ ගනු ලැබීමට ඉඩ ඇති පියවර ගැන අවබෝධයකින් පසුවීම සහ අධ්‍යයනය කිරීම වැදගත් ය.

1. දෙමළ ජනයාගේ ඉල්ලීම් කෙරෙහි සමාජයේ සෙසු ප්‍රගතිශීලි බලවේගවල සදාචාරාත්මක සහ දේශපාලන සහයෝගය හිමිවීම වැළැක්වීමට ප්‍රචාරක මෙහෙයුම් දියත් කිරීම.

ජාතිවාදී ජනමාධ්‍යය, දේශපාලන සංවිධාන, ආදිය යොදා ගනිමින් සිංහල සමාජය නැවත වතාවක් දෙමළ දේශපාලන නායකත්වයට එරෙහිව උසිගැන්වීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් දැනටමත් දියත්කර තිබේ. බොදු බල සේනා වැනි කල්ලි විසින් වඩාත් ආන්තික සිංහල ජාතිවාදි බලවේග දෙමළ පිබිදීමට එරෙහිව ගොනු කරමින් සිටිනු දැකිය හැක්කේ ඒ අනුව ය. ඒ අතර ප්‍රගතිශීලි සිංහල සමාජ බලවේගයන්ගේ සහාය දෙමළ ජනයාගේ යුක්ති සහගත ඉල්ලීම්වලට හිමිවීම වැළැක්වීමට, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින් සහ පැරණි වමේ ඉතුරුව සිටිනා පුද්ගලයන්ද යොදාගනු ලැබේ. විග්නේශ්වරන්ගේ ලේ ඉල්ලා ජාතිවාදි බොදුබල සේනා කල්ලිය වවුනියාවේ දක්වන පෙළපාළි මෙන් ම, කොළඹ රාජ්‍ය නොවන සංවිධාන නඩය විග්නේශ්වරන් වෙත බුරමින් කඩාපැනීම ද අවසාන වශයෙන් සේවය කරන්නේ දෙමළ ජනයාගේ යුක්ති සහගත ඉල්ලීම් 'අන්තවාදි' බවට හුවා දක්වමින් එම අරගලය හුදෙකලා කිරීම වෙනුවෙනි. එනයින් ඒවා මර්දනය කිරීමේ රාජ්‍ය සැලසුම් පහසුවෙන් දියත් කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමෙනි.

බොදුබල සේනා වැනි කල්ලි වවුනියාවේදී නව ජවයකින් මතුවීම තේරුම් ගත යුත්තේ මේ පසුබිම තුළ ය. නිසැකවම යම් ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතාවයන් හා සමපාත වන පරිදි ගෝඨාභය රාජපක්ෂගේ අනුග්‍රහයෙන් ගොඩ නගන ලද මෙම මැර කල්ලිය පසුගිය ආණ්ඩු වෙනසින් පසු යම් තරමකට පසුබෑමට ලක්විය. ඒ ගෝඨාභය මෙම කල්ලිය තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් වත්මන් ආණ්ඩු ප්‍රධානින්ට එරෙහිව යොදා ගැනීමට යාම හේතුවෙනි. පසුගිය හැත්තෑ වසක ඉතිහාසයේ මෙයට පෙර අවස්ථාවල ද දෙමළ ජනයා තම ඉල්ලීම් සංවිධිතව ඉදිරිපත් කරන විට පැවැති ආණ්ඩු ප්‍රතිචාර දැක්වූයේ මෙම බොදු බලසේනා වැනි සිවුරු ලාගත් ජාතිවාදි කල්ලි දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඇරඹීමට මුදාහැරීමෙනි. 1983 දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා දියත් වූයේද මෙවැනි ම මැර භික්ෂූන්ගේ නායකත්වයෙනි. රජයේ මිලිටරි හෝ දේශපාලන නායකත්වයකින් අනුමැතිය සහ දිරිගැන්වීම නොලැබිණි නම් බොදු බල සේනා යළි දෙමළ ලේ ඉල්ලා වවුනියාවේදී මතු නොවනු ඇත. ඔවුන්ට ඒ සඳහා අනුමැතිය දුන් පුද්ගලයන් හෝ ආයතන කවරක් වුව ද ඔවුන්ගේ හෝ ඒවායේ අනිවාර්ය අරමුණ දෙමළ ප්‍රජාව සමග ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය එය රටපුරා ව්‍යාප්ත කරවීමටත් එහි වගකීම විග්නේශ්වරන් වෙත පවරා උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැර , උතුරේ විදීවලට හමුදාව කැඳවීමත්, විග්නේශ්වරන් ඇතුළු නායකත්වය අත් අඩංගුවට ගැනීමත් හැර වෙන කුමක්ද?

1958 සහ '61 දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කළ සිංහල ජාතිවාදි ආණ්ඩු ඒවායේ වරද දෙමළ දේශපාලන නායකත්වයටම පවරා ඔවුන් සමූහ වශයෙන් අත් අඩංගුවට ගෙන පොලිසි, හමුදා කඳවුරු, හෝ බන්ධනාගාර තුළට ගාල් කළ ඉතිහාසයක් ද අපගේ “ප්‍රජාතන්ත්‍රවාදි මහා වංශය “ තුළ අන්තර්ගත ය.

2. දෙමළ සමාජය අභ්‍යන්තරයෙන් බෙදා දුර්වල කිරීම

මෙය සිංහල රාජ්‍යය විසින් විටෙක සාර්ථකවද විටෙක අසාර්ථකවද දිගටම අත් හදා බැලූවකි. මේ මොහොතට අදාළව ගත් කළ විග්නේශ්වරන්ට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ සාම්ප්‍රදායික නායකත්වය යොදාගැනීමේ උත්සාහයක් දියත්ව පවතී. විග්නේශ්වරන්ගේ නායකත්වයට එරෙහිව යාපනයේ කුලවාදය ගැන නිමල්කා ප්‍රනාන්දු කරන ලද ප්‍රකාශය ද, උතුරු පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන වියදම් නොකිරීම ගැන අහිලන් කදිරගාමර් ලියන ලද ලියමන ද තේරුම් ගත යුත්තේ මේ සන්දර්භය තුළ ය. දෙමළ සමාජය සාමුහික ඉල්ලීම් පදනම් කරගනිමින් සාමුහික දේශපාලන නායකත්වයක් ගොඩනැගීම වළක්වමින් ඔවුන් විසිරුණු කුඩා කැබැලි ලෙස පවත්වාගැනීම කොළඹ බහුතරයක් රාජ්‍ය නොවන සංවිධාන වෙත පැවැරී ඇති ව්‍යාපෘතිය වේ. එය විවිධ බලවේග තුළ වෙනස් වෙනස් හේතුන් මත අඩු වැඩි වශයෙන් පවතින අවශ්‍යතාවකි.

3. ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා කිරීම

දෙමළ ජනයාගේ ඉල්ලීම් බොහොමයක් වත්මන් රජය විසින් ලබා දී ඇති බවට රජය විසින් ජාත්‍යන්තර තලයේ ගෙන යන ප්‍රචාරයේ අරමුණ මේ මොහොතේ දෙමළ ජනයා යුක්තිය ඉල්ලා නගන හඬ යටපත් කිරීම සහ ඔවුන්ගේ ඉල්ලීම් අන්තවාදි බව හුවා දැක්වීම ය. ඉහත කී කොළඹ රාජ්‍ය නොවන සංවිධාන කණ්ඩායම් විසින් මානව හිමිකම් කවුන්සිලය වැනි ආයතන වෙත සපයන ඊනියා “ප්‍රගති වාර්තා “ විසින් සේවය කරනුයේ ද රජයේ එම අරමුණට ය. මේ හුදෙකලා කිරීමේ අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ දෙමළ ජනයා මත දියත්වන නිර්බාධිත මිලිටරි මර්දනයකි.

4. හමුදා බුද්ධි අංශ යොදමින් මනෝ විද්‍යාත්මක මෙහෙයුම් දියත් කිරීම.

පසුගිය දෙමළ පිබිදීම රැළිය විසින් පෙන්නුම් කරනුයේ දෙමළ ජනයා පවත්නා සීමිත ප්‍රජාතාන්ත්‍රික ඉඩකඩ තුළ එය වඩාත් පුළුල් කරගැනීම සඳහා වන අරගලයක් දියත් කර ඇති ආකාරයයි. එහෙත් මේ අයුරින් ස්වකීය ඉල්ලීම් පෙරට දමමින් දෙමළ ජනයාට ඉදිරියට ඒමට ඉඩ දීමට රාජ්‍යයට අවශ්‍ය නොවේ. එබැවින් මේ පවත්නා සීමිත ඉඩකඩ ද අකුළා දැමීමට රජය කටයුතු කරනු ඇත. මෙවැනි ව්‍යාජ සීමිත ප්‍රජාතාන්ත්‍රික අවකාශයක් විවර කරමින් එය තමන්ට පාලනය කළ හැකි දේශපාලන නායකත්වයක් යටතට පත්කිරීමේ රජයේ වෑයම පළමු වටයේදී අසාර්ථක විය. එමෙන් ම දෙමළ සමාජය තමන් තුළින්ම නායකත්වයක් ගොඩනගා ගැනීම වැළක්වීමට කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ද අසමත් විය. එහෙයින් ප්‍රායෝගිකව ගත් කළ තවදුරටත් උතුරේ මෙම සීමිත ව්‍යාජ ප්‍රජාතාන්ත්‍රික අවකාශය පවත්වාගැනීම රජයේ දිගුකාලීන අවශ්‍යතාවන්ට පටහැනි ය. ඔවුන් මිලිටරිය මැදිහත් කර එක්කෝ එය මුළුමණින්ම වසා දමනු ඇත. නැතහොත් විශාල වශයෙන් සීමා කිරීමට කටයුතු කරනු ඇත. රාජ්‍ය බුද්ධි අංශ විසින් යම් යම් මනෝ විද්‍යාත්මක මෙහෙයුම් දියත් කිරීමට ඉඩ ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික බහුජන ක්‍රියාකාරම් සඳහා වන මේ සීමිත අවකාශය ද හකුළා දැමීමට සාධාරණීකරණයට අවශ්‍ය සිදුවීම් නිර්මාණය කිරීමට ය.

5. පුද්ගල ඝාතන දියත් කිරීම

අරගලයකදී වඩාත් සක්‍රියව නායකත්වය දෙනු ලබන පුද්ගලයන් හෝ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් සිදුකරන පුද්ගල ඝාතන වල අරමුණ වන්නේ එම ඉල්ලීම් පිටුපස පෙළගැසෙන සමස්ත බලවේගයම බියගන්වා දේශපාලනිකව අකර්මන්‍ය කර දැමීමයි. යාපනයේදී පසුගියදා පොලිසිය විසින් වෙඩි තබා සරසවි සිසුන් දෙදෙනෙකු ඝාතනය කිරීම, දෙමළ ජනයා යළිත් සංවිධිතව සිය සාමුහික ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙරට ඒමට එරෙහිව රාජ්‍යය පැත්තෙන් ලද අනිවාර්ය ප්‍රතිචාරයක් සේ සැළකිය යුත්තේ ඒ නිසා ය.

මෙම සිසු ඝාතනය ගැන පොලිසිය විසින් ආරම්භයේ සිටම නිකුත් කෙරුණේ එකිනෙකට පටහැනි ප්‍රකාශයන් ය. මුලින්ම සිසුන් ගමන් ගත් මෝටර් සයිකලය රිය අනතුරට ලක්වීමෙන් ඔවුන් මරණයට පත්වීයැයි ප්‍රකාශ කළ පොලිසිය පසුව සිය ප්‍රකාශය වෙනස් කළේය. එයට අනුව පොලිස් නිලධාරින් විසින් නැවැත්වීමට දුන් අණ නොතකා ධාවනය කිරීම නිසා ඔවුන් ව නැවැත්වීමට තබන ලද වෙඩිවලින් ඔවුන් මිය ගිය බව ප්‍රකාශ කෙරිණි. එහි දී ද ඔවුන් මුලින් ප්‍රකාශ කර සිටියේ එක් සිසුවෙකු අනතුරෙන් ලද තුවාල හේතුවෙන් මියගිය බව ය. නමුත් සිසුන් දෙදෙනාම වෙඩි වැදී මියගිය බවට වූ මරණ පරීක්ෂණ වාර්තා වෙනත් ආකාරයකින් හෙළිදරවු වූයෙන් පසුව නැවතත් පොලිසිය විසින් සිය ප්‍රකාශය වෙනස් කරන ලදි. දැන් මෙම සිදුවීම හේතුවෙන් පොලිස් නිලධාරින් කීප දෙනෙකුගේසේවය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඇතැම්විට ඔවුන්ට එරෙහිව, අපරික්ෂාකාරී ලෙස පමණ ඉක්මවා බලය භාවිත කිරීම සම්බන්ධව නඩු පැවැරීමට ද මාස කීපයක ඇවෑමෙන් සියළු චෝදනාවන්ගෙන් නිදොස්කර යළි සේවයේ පිහිටුවීමට ද ඉඩ තිබේ. නමුත් රාජ්‍යය විසින් මෙම ඝාතන මගින් ලබා ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵලය දැනටමත් ලබාගෙන තිබේ. එනම් දෙමළ සමාජය වෙත යළිත් මරණීය භීෂණය කාන්දු කරවීමයි. මෙම භීෂණය ඔවුන් විසින් ඉදිරියට තවත් වර්ධනය කරමින් දෙමළ සමාජය මිලිටරි බලයෙන් වටලා යටපත් කිරීම වඩා යුක්ති යුක්ත පියවරක් සේ හුවා දක්වනු ඇත.

මෙම ඝාතනය සැලසුම් කොට දියත්කළවුන් වෙත එමගින් තමන් ඉටුකරගැනීමට අපෙක්ෂා කළ අරමුණු පිළිබඳව හොඳ අවබෝධයක් ඇති බවට සැකයක් නැති අතර එවැනි අපරාධවලට පසුගිය ඉතිහාසය පුරාම ගොදුරු වූ දෙමළ ජනතාව ද මෙම ඝාතන මගින් තමන් වෙත එවන ලද පණිවිඩය වටහාගෙන ඇති බවට ද සැකයක් නැත.

අජිත් සී. හේරත්
© JDS