Monday, 20 August 2018
‘‘මහජනයාගේ දේ මහජනයාට දෙන්න’’

‘‘මහජනයාගේ දේ මහජනයාට දෙන්න’’

සභාග ආණ්ඩු එන්නේ සංකීර්ණතා සමගිනි. දේශපාලඥයෝ යසෝ ප්‍රභාවෙන් බැබළෙන්ට කැමැත්තෝය. එහෙත් ස්වකීය පුද්ගලකීර්තිය බොහෝ දෙනා අත්පත් කරගන්නේ, මහජන මුදලින් කෙරෙන ව්‍යාපෘති ඔස්සේ ය. මේ නින්දිත පුරුද්ද අවසන් කළ යුතුව තිබේ.

මීට අදාළ නවතම බොළඳ සිද්ධිය වාර්තා වන්නේ, හබරාදුවෙනි. එහිදී එකම මාර්ග ව්‍යාපෘතියක්, මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා එක කොණකින්ද, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා තවත් කොණකින්ද විවෘත කෙළේය.

මෙහි මුල්ගල් තැබීම් සිදු කර ඇත්තේද, මෙයාකාරයෙන්ම එකම දවසක, දෙදෙනා විසින් දෙතැනක සිට බව, මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඊට අමතරව, මේ ව්‍යාපෘතිය සඳහා මුදල් සොයා දෙන ලද්දේ තමන් විසිනැයි කියන තවත් නොයෙක් දේශපාලඥයෝද වෙති.

පසුගිය දවසක පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මොරගහහේන බස් නැවතුම් පොළ බලහත්කාරයෙන් විවෘත කිරීමට උත්සාහ කෙළේය. මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික ඇමතිවරයා විසින් විවෘත කිරීමට නියමිතව තිබූ එය, විදුර වික්‍රමනායක මහතා බලහත්කාරයෙන් විවෘත කිරීමට උත්සාහ කිරීමත් සමග ඉතා අශෝභන තත්වයක් ඇති විය. බස් නැවතුම් පොළ විවෘත කළ යුත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු විසින් බව, විදුර වික්‍රමනායකගේ තර්කය විය.

මේ දේශපාලන කෙළිමඬලේ අමතක කෙරෙන ප්‍රධාන කාරණය වන්නේ, බදු ගෙවන සාමාන්‍ය ජනතාව ඉතා වෙර වීරියෙන් හම්බ කර ගත් ධනය මිස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හම්බ කරගත් ධනයක් මේ ව්‍යාපෘති සඳහා වැය නොවන බවයි. ඉස්සර දේශපාලඥයන්ගේ නම් ගම් මෙවැනි ගොඩනැගිලි සහ ව්‍යාපෘති සඳහා යොදා ගැනුණේ ඔවුන්ගේ මරණයෙන් පසුවයි. එහෙත් නව

කුලකයේ දේශපාලඥයෝ, එම මහජන ව්‍යාපෘති අවසන් කිරීමටත් කලින් ඒවාට තමන්ගේ නම් ගැට ගසා ගැනීමට වලිකති.

මේ පුරුද්ද අන්තයටම ගෙන ගිය පුද්ගලයා වන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි. ඔහුගේ බොහෝ ව්‍යාපෘති ඔහුගේ නමින් නම් කෙරිණ. පාසල්, වරායවල්, ගුවන් තොටුපොළවල් සහ විද්‍යාගාර පමණක් නොව, සම්මන්ත්‍රණ ශාලා පවා ඔහුගේ නමින් විවෘත කෙරිණ. එසේ විවෘත කළ වරායට පැමිණියේ නැවක් දෙකක් පමණක් වුවත්, ගුවන් තොටුපොළට ආවේ ගුවන් යානා කිහිපයක් වුවත්, සම්මන්ත්‍රණ ශාලාවේ සම්මන්ත්‍රණ නොපැවැත්වුණත්, ඔහුගේ නම ඒ හැම තැනකම පැවතිය යුතු බවට ඔහු වගබලා ගත්තේය. එකී ව්‍යාපෘතිවලට අදාළත්වයක් ඇති කොටස් සමග කිසි සාකච්ඡාවක් නොකොට, විනිවිද භාවයකින් තොරව ආරම්භ කළ මේ ව්‍යාපෘති සඳහා ඩොලර් කෝටි ගණන් නිස්කාරණේ වියදම් කෙළේය. ඒවාට ඔහු දමා ගත් නම, ඔහු බලයෙන් පහ වීමෙන් පසුව පවා තවමත් නිරුපද්‍රිතව තිබේ.

නමක් යනු, විශේෂත්වයක්, අනන්‍යතාවක් හෝ හුදු අයිතියක් කියාපාන දෙයකි. දේශපාලඥයන් තමන්ගේ නමින් විවිධ ව්‍යාපෘති හඳුන්වන විට ඔවුන් කරන්නේ, ඒ හරහා ජනතා විඥානය තුළ තම තමන්ව ආරූඪ කර ගැනීමකි. එය එක්තරා විදිහක, මානසික හංවඩුවක් වශයෙන්ද හැඳින්විය හැක. ඒ ආකාරයෙන්, ජනතා සිත්සතන් තුළ එම නම් නොමැකී පවතී යැයි ඔවුහූ විශ්වාස කරති.

එහෙත් ඒ ව්‍යාපෘතිවල වියදම දරන්නේ මහජනතාව බවත්, ඒවා සඳහා ලබා ගන්නා ණය ගෙවන්නේ ජනතා මුදලින් බවත්, දේශපාලඥයෝ අමතක කරති. ඇත්තෙන්ම, මේවා සඳහා තමන්ගේ නම් දමා ගැනීමට පමණක් නොව, ඒවා විවෘත කිරීම සඳහා මහජන මුදල් පාවිච්චි කිරීමට පවා අයිතියක් ඔවුන්ට නැත.

කොටින්ම, පොදු ව්‍යාපෘති යනු මහජන ව්‍යාපෘති ය. ජනතාවගේ ජීවන තත්වයන් නගා සිටුවන හෝ ආර්ථික සංවර්ධනයට තල් ̈වක් සැපයෙන වටිනාකියන ව්‍යාපෘතියක් ප්‍රතිපත්ති සම්පාදකයන් වශයෙන් දේශපාලඥයන් විසින් දියත් කරන්නේ නම්, ඊට ප්‍රතිලාභ සැපයීමක් වශයෙන් ඊළඟ මැතිවරණයේදී ඔවුන්ව ජනතාව විසින් නැවත වරක් බලයට පත්කර ගනු ඇත. එම මහජන අගැයීම පදනම් වන්නේ, නාමධාරී ව්‍යාපෘති මතවත්, ඔවුන් මුලසුන ගන්නා විවෘත කිරීමේ උත්සව මතවත් නොවේ.

මේ අතර ජනතාවද මෙකී මානසිකත්වයෙන් කැඩි වෙන් විය යුතුය. ගමේ පොළ සහ මහාමාර්ගය දක්වා වන සෑම දෙයක්ම විවෘත කිරීම සඳහා දේශපාලඥයන් අවශ්‍යම යැයි සිතන ගතියක් ජනතාව තුළ ඇත. ඔවුන් ඉල්ලා සිටිය යුත්තේ, තමන්ගේ මුදල් වගකීමක් සහිතව ඵලදායී අන්දමින් පාවිව්චි කළ යුතුයි කියා මිස ඒවා සෝබනය සඳහා නාස්ති කළ යුතුයි කියා නොවේ.

නාම පුවරුවල තමන්ගේ නම් අමරණීය කිරීමට දඟලන දේශපාලඥයන් එක දෙයක් මතක තබා ගත යුතුය. එනම්, ලංකා ඉතිහාසයේ කිසි දවසක කිසි නායකයෙකු කර නැති ආකාරයෙන් සෑම තැනකම තමන්ගේ නම කොටා තැබීමට හැම ආයාසයක්ම ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂට, ඔහුගේ කාලය අවසන් විය යුතුව ඇතැයි ජනතාව ගත් තීන්දුව වෙනස් කර ගැනීමට අවසානයේදී නොහැකි වූ බවයි. ශ්‍රේෂ්ඨ දේශපාලඥයන් ජීවත් වන්නේ ජනතා මතකයේ ය. ඔවුන්ගේ නම්ගම් නාම පුවරුවලින් හැලී ගිය පසුවත්, බොහෝ කාලයක් යන තෙක් එවැනි දේශපාලඥයෝ ජනතා මතකයේ ජීවත් වෙති.

2016 ඔක්තෝබර් 22 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ, මේ සමග අමුණා ඇති ‘‘මහජනයාගේ දේ මහජනයාට දෙන්න’’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.