Wednesday, 23 May 2018
ජනපති - දිල්රුක්ෂී කුඩු කළ 'ජිමික්' දේශපාලනය

ජනපති - දිල්රුක්ෂී කුඩු කළ 'ජිමික්' දේශපාලනය

‘යහපාලන ආණ්ඩුවේ‘ පළමු මාස 21 ගෙවී ගියේ ‘ජිමික් පොලිටික්ස්‘ (මයාකාරී දේශපාලනයෙන්) මිස මහපොළොවේ යථාර්ථයන් හා හැපෙමින් නොවේ.

ජනවාරි 8 ට නායකත්වය දුන් පිරිස පමණක් නොව මේ ආණ්ඩුවට ඡන්දය දුන් ලක්ෂ 62 ක් බලාගෙන සිටියේ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන තෙක් මිස ‘පමාවට හේතු‘ කියන්නට නොවේ.

අන්ධ භක්තියෙන් පක්ෂ බදාගෙන සිටින සුළුතරයක් මිස බහුතරයක් ජනතාවට යහපාලනය කැමැත්තක් නැත. ඒ ඔවුන් ජනතාව මත තැබූ බලාපොරොත්තු ඉටු නොවීම නිසාය.

චන්ඩි ශ්‍යාමා‘ :

අල්ලස් දුෂණ සටනේ ‘චන්ඩි ශ්‍යාමා‘ දැන් නැවත නීතිපති දෙපාර්තමේන්තුවේ තම පුටුවට ගොස් ඇත. එය බොහෝ දෙනා බලාපොරොත්තු වූ දේ නොවේ.

මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ විවාදාත්මක කථාවේ කේන්ද්‍රය ස්වාධීන කොමිෂන් සභා යැයි බහුතරයක් කියන්නන් වාලේ කියවමින් සිටී. නමුත් සත්‍යය එය ද? නැත.

ජනාධිපතිවරයාගේ කථාවෙන් කේන්ද්‍රීය චරිතය අල්ලස් කොමිෂන් සභාවේ දිල්රුක්ෂි බව ජනගත වන්නට දින දෙකක් ගත විය.

අල්ලස් දුෂණය ගැන ඇයට තිබූ ප්‍රවීනත්වයේ බිදක් ඇයට දේශපාලන යථාර්ථයන් සම්බන්ධයෙන් තිබුණේ නැත. ජනාධිපතිවරයා සද පෙන්වන විට ඇය ඇගිල්ල දුටු ඇය තම ‘ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළාය.

යහපාලනය පිළිබද රටේ බලපොරොත්තුව ජනාධිපතිවරයා වූවේ යම් ලෙසක ද, දිල්රුක්ෂි ‘අල්ලස දුෂණයට‘ එරෙහි සටනේ ප්‍රතිරූපය වූවේය.

පට්ටපල් බොරුවක් :

ඇමතිවරුන්ට, අගැමැතිට, ජනාධිපතිවරයාට බැන බැන සිටි ජනතාව සිහිනයෙන් අවදිවී මේ වෙන්නේ මොකක්දැයි සොයන්නට පටන්ගත්තේ ඒ අනුවය.

දුෂණයට එරෙහිව සටන පට්ටපල් බොරුවක් බව මේ වන විට ජනතාවට තේරූම් ගනිමින් සිටී.

දුෂණ විරෝධයේ මුලින්ම සිටි අප මේ බව තේරුම් ගෙන තැන තැන කෑ ගසමින් සිටියෙමු. නමුත්, අගමැතිට, ජනපතිටත් වඩා මේ ආණ්ඩුව රකින්නට අවශ්‍ය යැයි කියන පිරිසක් ‘මහින්ද නැවත බලයට එන්වා‘ යැයි කියමින් සියල්ල වසා දමන්ට කටයුතු කරමින් සිටියේය.

ජනාධිපතිවරයාගේ කථාව සිදු නොකළ යුතු වැරදි උදාහරණ සහිත කෝපය පිට කර හැරීමකි. එය කිසි ලෙසකින් හෝ යුක්ති යුක්ත කළ නොහැකිය.

සෑම ගැටුමකම අවසන් ප්‍රතිඑලය මානව වර්ගයාගේ ප්‍රගතියට හේතුව‘ කි.

ජනාධිපතිවරයා ද, දිල්රුක්ෂි ඩයස් ද ඒ බව අපට ප්‍රත්‍යක්ෂ කොට ඇත.

දුෂණය එරෙහි සටන : ප්‍රගතිය ‘බිංදුවට‘

දුෂණ විරෝධී පෙරමුණ උපදේශක ධූරය භාරගත් මා කළ පළමු කටයුත්ත අපගේ පැමිණිලි සම්බන්ධයෙන් වන ප්‍රගතිය සොයා බැලීමය. අධිපති ජනමාධ්‍ය මගින් දෑස් නිලංකාර කොට ගෙන සිටි මා මහපොළවට පැමිණියේ මේ ප්‍රගතිය ‘බිංදුවට‘ ආසන්නයේ කැරකෙන බව අවබෝධ වූ විටය.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හැර අනෙක් ආයතන බහුතරයක් සිටියේ අහසේ පා වෙමිනි.

අප ඔවුන් අවධිකරන්නට බොහෝ දේ තැන තැන කීවෙමු. වත්මන් ආණ්ඩුවට එරෙහිව දුෂණ චෝදනා එල්ල කරන්නට බිය වූ බහුතරයක් දුෂණ විරෝධී පෙරමුණ මතු කළ සත්‍ය එදා දුටුවේ නැත.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට ප්‍රබල නඩු 12 ක් පවරා ඇත. ඔවුන් එය සිදු කොට ඇත්තේ බලවත් දුෂකරතා මධ්‍ය යේය.

අල්ලස් හා කප්පම් ගැනීම් පිළිබද විමර්ශන නිලධාරීන් ගණනාවකට චෝදනා එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවේ වැදගත්ම දුෂණ වංචා ලිපි ගොනු 42 ක් ගොඩ ගැසී ඇත.

අද පවත්නා වංචා දුෂණ මර්ධනය කිරීමේ නීති වලින් ආවරණය කළ නොහැකි ක්ෂේත්‍රයන් හා සිද්ධි අවාරණය සදහා පිහිටුවූ මහා පරිමාණ දුෂණ විමර්ෂනය සදහා වන විශේෂ ජනාධිපති කොමිසන් සභාවේ කටයුතුවල ප්‍රගතියක් නොමැති තරම් ය.

ඒ සදහා අවශ්‍ය වෘත්තීය හා තාක්ෂණික මග පෙන්වීම බිංදුවක් බවට පත් වෙමින් තිබේ.

සුදු කරපටි අපරාධකරුවන් :

අනෙක් අතට ලංකාවේ ඇති දුෂණ විමර්ශන නීති යල්පැන ගිය, යාවත්කාලීන නොවූ සුදු කරපටි අපරාධ මර්ධනයට ශක්තිමත් නොවූ දේ ය. ඒ බව දැන දැනම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව උත්සහ දරමින් සිටින්නේ ද අද පවත්නා නීතිය අනුව සැකකරුවන් උසාවි ගෙන යන්නටය.

විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට හිටපු දේශපාලනඥයින්, ලේකම්වරුන්, නිලධාරීන් එති. ජනමාධ්‍යයට වොයිස් කට් දෙති. සිනාසෙමින් පිටත්ව යති.

ලංකාවේ අල්ලස් හා දුෂණ වංචා චෝදනා එල්ල වී ඇති සුදු කරපටි අපරාධකරුවන් බහුතරය තමන්ගේ දේශපාලන අදහස් රට දැක්වීමේ වේදිකාව බවට එතැන පත් කොට ගෙන ඇත්තේය. ඔවුන් තමන්ට එරෙහිව ඇති අපරාධ ගැන හැර ලංකාවේ සිදු වන දේශපාලනයේ අන් සෑම දේ ගැන කියන්නට වේළාව වෙන් කර ගන්නේ එතැනිනි.

මේ විකාරය අවසන් වන්නේ කොතැනින්ද?

අපි ‘චන්ඩි ශ්‍යාමා‘ යැයි කියූ දිල්රුක්ෂි ඩයස් අල්ලස් දුෂණයට එරෙහි සටනේ සංකේතය වූවේය. නමුත්, අල්ලස් කොමිසම තුලින් බලාපොරොත්තු වූ බොහෝ දේ ඉටුවී ඇති ද? කිසි සේත්ම නැත.

අල්ලස් දුෂණ කොමිෂන් සභාවේ අංක එකේ සේවා ලාභියා පැමිණිලි 225 ක් යොමු කර ඇති දුෂණ විරෝධී පෙරමුණයි.

අපේ පැමිණිලි 3 කට හැර අන් කිසිවකට සාර්ථක ප්‍රගතියක් ලැබී නැත.

කොමිසමේ ‘ටොප් ක්ලයන්ට‘ අතෘප්තිමත් නම් තෘප්තිමත් කවුද? මගේ අදහස නම් ජනාධිපති විශේෂ කොමිසමට, අල්ලස් කොමිසමට පැමිණි අති දැවැන්ත මුල්‍ය චෝදනා ලැබූ බහුතරයක් නම් අතිශයින්ම තෘප්තිමත්ය.

ඒ අන් කිසිවක් නිසා නොව විමර්ශන සිදු වෙමින් පැවති ආකාරය අනුව ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ද, අනෙක් අතට චෝදනාවලින් පිරිසිදුවී නිදහස්වීමේ අවස්ථාව ද පෙනි පෙනි ඇති බැවිනි.

මහා පරිමාණ දුෂණ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම, විමර්ශන ක්‍රියාවලියේ දුබලතා ගැන තොරතුරු මේ වන විට එකින් එක එළියට පැමිණෙමින් තිබේ.

දේශපාලන තොරාගැනීම් පිළිබද ෆවුසි, ප්‍රියංකර ජයරත්න, අලුත්ගමගේ උදාහරණ දැනටම සමාජගතවී ඇත. (මේ විමර්ශන පිළිබද පුද්ගලික මාගේ කිසිදු විරෝධයක් නොමැති අතර ඒවා සිදු කළ යුතු හා නඩු පැවරිය යුතු බවට තර්කයක් නැත. තර්කය ඇත්තේ ප්‍රමුඛත්වය තීරණය කිරීමේ ක්‍රමවේදය තුලය.)

‘ජිමික් දේශපාලනය‘ :

විමර්ශන පිළිබද තොරතුරු තොග වශයෙන් එළියට පැමිණීම අපට විසදාගත නොහැකි වූ ප්‍රශ්ණයක් වූවේය.

එවන් එක් උදාහරණයක් වූවේ ගාමිණී සෙනරත් ගේ රියදුරු දිසානායක ගේ සාක්ෂියේ සියලු කරුණු හෙළිදරව්වී ඔහු පැහැරගෙන ගොස් ත්‍රස්තවාදියෙකු කිරීමේ උත්සාහයයි.

එදා උදුල් ප්‍රේමරත්න, උලපනේ සුමංගල හිමියන් මැදිහත් නොවන්නට මේ වන විට රියදුරු දිසානායක ජීවතුන් අතර නැත.

දුෂණ විරෝධීන් හොරුන් රකින්නේ යැයි මතයක් සමාජගක කිරීමට ‘ජිමික් දේශපාලනය‘ උත්සහ දැරීය.

රියදුරු දිසානායක ගේ සිද්ධියේ දී පොලිස් පරීක්ෂණ සිදු කළ පොලිස් අධිකාරිවරයා ජාත්‍යන්තර මුදල් විසුද්ධිකරණය පිළිබද විදේස් පුහුණුව ලැබූ අයෙකි.

ජනාධිපතිවරණ සමයේ සිදු වූ කොමිස් හා අල්ලස් ගැනීම් කිහිපයක විමර්ශන යට ගැසීමට ඔහු රුපියල් ලක්ෂ 25 ක අල්ලසක් ගෙන තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මැදිහත්වී රියදුරු දිසානායක මහතා පොලිස් මුලස්ථානයට රැගෙන නොයන්නට ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස හිරබත් කන්නට ද ඉඩ තිබුණි.

ලංකාවේ ලොකුම අල්ලස :

දිල්රුක්ෂිගේ කාලයේ ලංකාවේ ලොකුම අල්ලස කියා කෝටි 12 ක රේගු වංචාවක් එළියට ආවේය. අදත් ඒකට අල්ලස් ගත්තා කියන රේගු නිලධාරීන්ට නඩුවක් නැත.

රේගුව මෙරට අති දැවැන්ත විනිමය වංචාවක් නිරාවරණය කොට නඩු පවරා තිබුණි. අල්ලස් මෙහෙයුම කෝටි 12 ක මුදල් සමග සිදු වුණේ ඉන් පසුවය.

නඩු පවරන්නේ නැත්තේ ඇයි ද කියා අප තවමත් හරියටම දන්නේ නැත.

දිල්රුක්ෂි නොදැන සිටියාට අල්ලස් කොමිසමේ දෙවන පෙළ නිළධාරියෙකු ගේ දැවැත්ත පැටලැවිල්ලක් තිබේ.

ඔහු ලිපි ගොනුවේ කොළ ගලවා ලංගම අමතර කොටස් ගෙන්වීමේ වංචාවේ මහා දුෂිතයින්ට පැන යන්නට සිදුරක් සෑදුවේය. අනාගතයේ දවසක ‘කොමිසම නිහඩයි‘ කියා චිත්‍රපටියක් හදන්නට කථා වස්තුවක් මේ කථාවේ ඇති බව පමණක් දැනට සෑහේ.

ජනවාරි 8 බලාපොරොත්තු වූ වෙනස මෙය ද? කිසිසේත්ම නැත.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඉතා මහන්සියෙන් බොහෝ දේ කළ බව ද නොකියා බැරිය.

ඔවුන් ලංකාවට දුෂණ විරෝධී සංස්කෘතියක් හදුන්වාදෙන්නට උත්සහ කළේය. දරුවන්ට දුෂණයට එරෙහිවන්නට ඉගැන්වීය. උදේ 8 - 4 සේවා මුරය කිසිදු ප්‍රතිලාභයක් නොලබා රාත්‍රී 10 -12 දක්වා දිගු විය.

ඔවුන් අල්ලසට එරෙහි සටන තම ජීවිතය කර ගෙන තිබුණි.

නමුත්, ‘ක්‍රමයක් හෝ කාර්යාවලියක්‘ නොමැති දුෂණ විමර්ශන සිදු වූයේ දේශපාලන න්‍යාය පත්‍රයට වීම අහම්බයක් විය නොහැකිය.

ඇය මිල දී ගත නොහැකිය :

දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය දේශපාලන න්‍යයා පත්‍රයට කොටසක් වූවේ යැයි මම කිසි විටෙක නොකියමි. ඇයගේ විමර්ශනය සදහා කිසිවෙකුත් බලපෑම් කළේ නම් ඇය මෙයට බොහෝ කලකට පෙර තනතුර අතහැර දමන බව අදත් මාගේ විශ්වාසය යි. ඇය මිල දී ගත නොහැකිය. අයට බලපෑම් කළ නොහැකිය.

එකේ කියන අතරම, මෙරටින් හොරකම් කර ඇති ධනස්කන්ධය රුපියල් ට්‍රිලියන 8 යැයි අනුමාන කරන්නේ නම්, එයින් තෝරු මෝරු කීයක් කොටු කර ගැන්නට හැකිවී ඇති ද යන්න මැදහත් සිතින් විමසිය යුතුය.

අනෙක් අතට, දිල්රුක්ෂි කොළඹ තානාපති ප්‍රජාවේත්, ජාත්‍යන්තරයේත් දිදුළන තරුව වී සිටියාය. ඒ සදහා අවශ්‍ය සියලු සුදුසුකම් ඇයට තිබුණි.

පසුගිය ජූනි මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ දී මම ලංකාවේ මැතිවරණ හා දුෂණය ගැන කෙටි ඉදිරිපත් කිරීමක් සිදු කළෙමි. එහි සිටි බහුතරයක් එතෙක් සිතාගෙන සිටියේ ලංකවේ දුෂණයට එරෙහි සටන ජයගෙන ඇති බවයි.

නමුත්, ‘ලංකාවේ දුෂණයට එරෙහි සටන බිමට සමතලාවෙමින් ඇතැයි‘ මා කියු විට පමණක් ඔවුහු ඒ ගැන නැවත නැවත විමසන්නට වූවේය. මේ තත්වය මා අත්විද ඇත්තේ ජාත්‍යන්තරයේ දී පමණක් නොවේ.

කොළඹ වරප්‍රසාදිත රාජ්‍ය නොවන සංවිධාන ජාලය තවමත් මේ කටුක සත්‍යය පිළිනොගන්නේය. ‘විනිවිදභාවය, ප්‍රතිඑල කේන්ද්‍රීය මැදිහත්වීම්, ක්‍රමය හා කාර්යාවලිය‘ තම දේවභාෂිත වදන් ලෙස සලකන කිසිවෙකුත් ලංකාවේ අල්ලස් හෝ දුෂණ විරෝධි සටනේ ප්‍රතිගති සමාලෝචනයක යෙදෙන්නට සිතුවේ නැත.

ඔවුන් සැමවිටම සිතුවේ නඩු ප්‍රමාදය සාමාන්‍ය දෙයකි. සම්පත් හා මානව සම්පත් හිගය නිසා කිසිවක් සිදු නොවේ. සෙමින් නමුත් යහපත්ව සියල්ල සිදු වෙමින් ඇති බවකි. නැත.

එය එසේ නොවේ. ‘ජිමික් මාධ්‍ය දේශපාලනයෙන් ඔබ්බට‘ අල්ලස් දුෂණ විරෝධී සටන පැමිණිය යුතු මොහොත උදාවී ඇත.

මල්වානේ ඉඩමේ පළමු සැකකාරයා :

ජනාධිපතිවරයාගේ කථාව නොවන්නට මල්වානේ ඉඩමේ පළමු සැකකාරයා අත්අඩංගුවට පත් වන්නේ නැත. අද වන විට ඇති වී තිබෙන සමාජ කථිකාව ඇතිවන්නේ ද නැත.

නමුත්, මුල්‍ය අපරාධකරුවන් සොද සොදා එළියට දමන මැෂිමක් බවට දුෂණ විරෝධය පත් වන්නට තිබුණි.

අනෙක් අතට, දුෂණය වත්මන් යහපාලන රජයට ද අදාළය. මහ බැංකු වංචාව, ගල් අගුරු වංචාව, මුදල් අමාත්‍යාංශයට එරෙහි එකක් පිට එකක් පැමිණි විමර්ශනය නොවන වංචා විමර්ශන ආයතන වලින් රටටක සෙතක් නැත.

දුෂණ විරෝධී සටන එක් පක්ෂයකට, පවුලකට, විරුද්ධවාදීන්ට එරෙහි මෙවලමක් නොවිය යුතුය.

ඒ සියල්ලටම වඩා, සොද සෝදා එළියට දමන්නට හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ බියකරු බව අප අවබෝධ කොට ගත යුතුව ඇත.

දේශපාලනිකව එය යහපාලන රජයට මාරාන්තික වන දේශපාලන බලවේගය බවට පත්වෙමින් තිබේ. යහපාලන ප්‍රේමීන්ගේ කෝපය අවුලවමින්, අපේක්ෂා භංගත්වය ඇති කරමින් එය ‘පරිවර්ථනීය සංහිදියාවක් සදහා වන‘ අපේක්ෂාවන් සුන්නද්ධූලි කරමින් තිබේ.

හොරු ඇල්ලීම විකාරයක් බව :

මේ සියල්ල එසේ වුවත්, ජනාධිපතිවරයාගේ කථාව වැරදි උදාහරණ සහිතව නොකළ යුතු ප්‍රකාශයක් බව ද නොකියා බැරිය.

ඒ මත පදනම්ව ජනාධිපතිවරයා ද්‍රෝහියෙකු බවට පත් වන්නේද? ශූර ඉවසිලිසහගත දේශපාලනඥයෙකු වන මෛත්‍රීපාල මහතා කොට්ටම්බ ඇටයක් තලාගන්නට කුළු ගෙඩි පහර ගසන්නෙකු නොවන බව ද එලෙසම තේරුම් ගැනීම වැදගත්ය.

ජනපතිවරයාගේ ප්‍රකාශයට කුළු ගෙඩි පහර ගසා ‘ජිමික් දේශපාලනය‘ පෝෂණය කිරීමට එහා මැදිහත්වීමක් සිවිල් සමාජයෙන් අද අවශ්‍යව ඇත.

යහපාලනයේ හොරු ඇල්ලීම විකාරයක් බව ජනාධිපතිවරයා විනාඩි දෙකකින් රටටම අවබෝධ කොට දී ඇත.

රාජපක්ෂ පාලනයේ ඇවන්ගාඩ් වැනි වංචාවන්ට දැන්වත් ගිණි අවි පනත යටතේ නඩු පැවරිය යුතුය.

රටට අදුරේ තබා නොරොච්චෝලේ පිහිටෙන් ඉඩම්, නිවාස, තට්ටු නිවාස මිල දී ගෙන ඇති විදුලිබල මණ්ඩලයේ මාෆියාව ගැන විමර්ශන සිදු විය යුතුය.

මහබැංකු බැදුම්කර හොරුන් ඇල්ලිය යුතුය.

එසේ නොවන්නේ නම්, දෙවියන්ගේ නාමයෙන් මේ යහපාලනය හා දුෂණ විරෝධය මෙරට ‘ජිමික් දේශපාලන‘ ශබ්ද කෝෂයෙන් දැන්වත් මකා දැමිය යුතුය.

(රජිත් කීර්ති තෙන්නකෝන්-
උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ)