Monday, 19 February 2018
අනන්‍යතාවයේ  අනේකත්වය

අනන්‍යතාවයේ අනේකත්වය

අපි පසුගිය සතියේ අපේ සටහන අවසන් කලේ හෛඩගර් සම්බන්ධයෙන් වූ අදහස් දැක්වීමකින්. මෙතනදි හෛයිඩගර් සම්බන්ධයෙන් වන සාකච්ඡාව සිදුකිරීම අතිශයින් වැදගත්. අපි පසුගිය සටහනෙත් කිව්ව හෛඩගර් තමයි විසිවන සියවසේ විශාල චින්තකයන් ප‍්‍රමාණයකට බලපෑම් කරපු දාර්ශනිකයා. විශේෂයෙන්ම ලංකාවේ සෑහෙන දුරට කතා බහට ලක් වුණු ජාක් ඩෙරීඩා, මිෂෙල් ෆූකෝ, ජාක් ලකාන් වැනි චින්තකයන් සම්බන්ධයෙන් බලපෑමක් කරපු, පසුබිමේ හිටපු මූලාශ‍්‍රය තමයි මාර්ටින් හෛඩගර් ගෙ චින්තනය. අපි අපේ සාකච්ඡාවේ ප‍්‍රධාන නිමිත්ත වන ජුඩිත් බට්ලර් ගේ සංවාදයටත් මේ මාර්ටින් හෛඩගර්ගේ චින්තනය ඉතාම සෘජු ලෙස බලපානවා.

අපි දන්නවා ජුඩිත් බට්ලර් විසින් මේ සාකච්ඡාව පටන් ගත්තෙ රෙනේ ඩෙකාට් කියන චින්තකයා විසින් ආරම්භ කරපු ආත්මය කියන අදහස නැතිනම් subjectivity කියන එක, විෂය කියන අදහසට එරෙහිව ගෙනාපු විවේචනයත් එක්ක. ජුඩිත් බට්ලර්ගෙ අදහස එතනදි ගොඩක් සාකච්ඡා නොවුනත් අපිට පුළුවන් මේ විවේචනයේ ආරම්භය මූලික වශයෙන් මාර්ටින් හෛඩගර් වෙත අරගන යන්න.

හෛඩගර් විසින් පෙන්නපු දේ තමයි අපි කිව්ව මේකත් යම්කිසි විදිහකට ඔහු ඔහුට පෙර හිටපු දාර්ශනිකයේ සියළු දෙනා ලෝකය නැත්නම් යථාර්තය කියන එක තේරුම් කරන්න හදනකොට ඒක සදහා ඒ ගොල්ල ගත්ත මූලික ප‍්‍රවේශය වුනේ මේ පැවැත්ම කියන එක. අපි ඉස්සරහ තියෙන, මේ මොහොතේ මා ඉදිරියේ තියෙන කිසියම් දෙයක් ලෙස හදුනා ගැනීම. වෙනත් විදිහකට කියනවා නම් සෑම විටම පැවැත්ම කියන එක සොයාගෙන යාමේදී අපි ඒක සොයා ගන්න උත්සාහ කරේ පැවැත්මක් විදිහට. පැවැත්ම තමයි හොයාගන්න යන්නෙ නමුත් අපි ඉස්සරවෙලාම පැවැත්මක් තියෙනවා කියන මූලික උපකල්පනයේ ඉන්නවා. එතනින් තමයි අපි මේක පටන් ගන්නෙ. පැවැත්මක් කියන එකෙන් අදහස් කරන්නෙ අපිට තවත් පැවැත්මවල් වලින් වෙන් කරගන්න පුළුවන්; සරලව කියනව නම් වෙනත් දේ වලින් වෙන් කරගන්න පුළුවන් ස්වායත්තව පවතින, නිදහසේ පවතින, අනිත් ඒවා මත නොයැපෙන, පරායත්ත නොවන ස්වායත්ත වූ පැවැත්මක්.

උදාහරණයක් විදිහට අපි ඉදිරියේ තියෙනවා පොතක්. අපි කියනවා ඒකට ඒක අප ඉදිරියේ පවතින දෙයක්, පැවැත්මක්. එතකොට අපි හිතනවා මේ පැවැත්ම කියන එක හොයාගන්න  ඕන නම් අපි හොයා ගන්න උත්සාහ කරන්න  ඕන මේ පොත කියන එක හැදිල තියෙන දේවල් හොයාගෙන යන්න. එහෙම හොයාගෙන යනකොට අපි දන්නවා පොතක් කියන එක හැදිල තියෙන්නෙ කඩදාසි, තීන්ත, ගම් වර්ග, නූල් වැනි දේවල් වලින් සහ විවිධ රසායනික අමුද්‍රව්‍ය වලින් සකස් වුණු කිසියම් හැඩයක් තියෙන, ඝණත්වයක් තියෙන, බරක් තියෙන, ස්කන්ධයක් තියෙන දෙයක්. එතකොට අවසාන විග‍්‍රහයේදී මේක තේරුම් කරන්න පුළුවන් වෙන්නේ අපිට ගණිතය ඇසුරෙන්. මේකට උසක් පළළක් බරක් තියෙනවා. අවකාශයේ ඉඩක් ගන්නවා. එතකොට පැවැත්මක් කියල කියන්නෙ මේකට. නමුත් අපි පසුගිය සටහනේදි දැක්කා මේ ප‍්‍රශ්නයේ තියෙනවා පොඩි වෙනසක්. අපි මේ විදිහට මේ ලෝකෙ පැවැත්මවල්, ලෝකෙ බාහිර දේවල් තියෙනව කියල කියනකොට එකෙ අනිත් පැත්තෙන් ගම්‍ය වෙන එකක් තමයි මේ දේවල් දෙස බලා සිටිනා, නැත්නම් මේ දේවල් පිළිදව දැනුම ලබා ගන්නා ‘මම’ කියල කෙනෙකුත් ඉන්නවා කියලා.

දැන් රෙනේ ඩෙකාර්ට්ස් විසින් ඇත්ත වශයෙන්ම කරපු වැදගත්ම දේ තමයි; ඔහු ලෝකයේ දර්ශන ඉතිහාසයේ ජනප‍්‍රිය වුනු මූලික හේතුව තමයි ඔහු විසින් මේ ‘මම’ කියන්නෙ කවුද කියන එකට ඉතාම නිශ්චිත පිළිතුරක් දුන්නා. අපි දන්නවා ඒ පිළිතුර තමයි ‘ආත්මය’ කියල නැතිනම් කොජිටෝව කියල ඔහු හැදින්නුවෙ. ඒකෙ සරල අදහස තමයි මේ මම කියල කියන්නෙ සිතීමේ හැකියාව තිබෙනා දෙය. දැන් අපි දැක්ක මේකෙ ප‍්‍රශ්නය වුනේ මෙහෙම සිතීමේ හැකියාව කියල දෙයක් පවතින බව අපි කිව්වොත් අපි නිගමනයක ඉන්නවා මේ එම දෙය සහ පොත අතර කිසියම් සමානකමක් තියෙනව කියල. ඒ දෙක සම්පූර්ණයෙන් වෙනස් වුනත්; රෙනේ ඩෙකාර්ට්ස්ට අනුවත් ඒ දෙක සම්පූර්ණයෙන් වෙනස්, පොත කියන්නෙ භෞතික දෙයක් ‘මම’ කියල කියන්නෙ සිතීමේ හැකියාව තියෙන දෙයක්. හැබැයි ඒ දෙකම දේවල්. ඒ දෙකම දේවල් නිසා ඒ දෙකටම පොදු වූ දෙයක් තියෙනවා ඒ තමයි පැවැත්ම. එතකොට මාර්ටින් හෛඩගර් අහපු ප‍්‍රශ්නය තමයි මේ දෙක සම්පූර්ණයෙන්ම දෙකක් නම් අපි කොහොමද මේ දෙක එක පැවැත්මක් කියල තේරුම් ගන්නෙ?

ඒක නිසා මාර්ටින් හෛඩගර් කිව්වා ඇත්ත වශයෙන්ම ගත්තහම මේ මම කියල අපි තේරුම් ගන්න එක සහ මගේ බාහිරව පවතින ස්වාධීන වස්තුව කියන එක මෙහෙම සරලව තේරුම් ගන්න බැහැ. සත්‍යයම දේ තමයි මේ මම කියල කියන එක ඇත්තටම යම්කිසි ආකාරයකට පවතිනවා නම් එය පවතින්නේ මේ බාහිර ලෝකයේ තිබෙනවා කියලා අපිට තිබෙන වස්තූන් වෙත නිරාවරණය වූ පැවැත්මක් විදියට. ඒක තමයි අපිට මේ මම ගැන කියන්න පුළුවන් මූලික දේ. මේ බාහිර ලෝකය නොමැතිව මම විතරක් ඉන්න අවස්ථාවක් අපිට පරිකල්පනය කරන්න බැහැ. මාර්ටින් හෛඩගර්ගේ මූලිකම අදහස නැතිනම් කාටිසියානු සම්ප‍්‍රදායට එරෙහිව ඔහු විසින් රැගෙන ආ ඉතාම වැදගත් විවේචනයක් තමයි මෙය. අපිට බැහැ ලෝකයකින් තොර නොඑසේනම් ලෝක විරහිත ආත්මයක් ගැන හිතන්න. අපිට ආත්මයක් කියන අදහස හිතන්න පුළුවන් වෙන්නෙ; එය ඒ වන විටත් කිසියම් ආකාරයක ලෝකයක් තුළ ඇතුළත්ව තිබෙනවා නම් පමණයි.

වෙනත් ආකාරයකට කියනවා නම් මම හිතන්න ගන්නකොටම මම ඉන්න  ඕන කිසියම් පසුබිමක. මට හිතන්න පුළුවන් වෙන්නෙ මම එක්තරා භාණ්ඩ ප‍්‍රමාණයක් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා නම් පමණයි. උදාහරණයක් හැටියට මම හිතන්න ගන්නකොට මම හිතන්න ගන්නෙ කොතන හරි තැනක වාඩිවෙලා. එතකොට මට එතන එහෙම වාඩි වෙන්න අවශ්‍ය කරන පුටුවක් වගේ දෙයක් තියෙනවා. ඒ ආසනය තියෙන කාමරයක් තියෙනවා. ඒ කාමරය තියෙන ගෙයක් තියෙනවා. ඒ ගෙය තියෙන නගරයක් තියෙනවා. මේ ආදී විදිහට කිසියම් ආකාරයක පසුබිමක් තුළ තමයි මේ මම කියන පුද්ගලත්වය හැමතිස්සෙම ක‍්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මේ මම කියන එක පැවැත්මක් ලෙස අපි ගත්තොත් අපිට පැහැදිලි වෙනවා ඒ මම කියන එක සදහා එක පැත්තකින් මේ පරිබාහිර ලෝකය ඇත්ත වශයෙන්ම එහි අභ්‍යන්තර කොටසක් බව.

වෙනත් විදිහකට කියනව නම් මේ පරිබාහිර ලෝකය කියල අපි නම් කරන දෙය අපිට ලකුණු කරන්න වෙන්නෙ මම කියල කියන එකේ තවත් එක්තරා නිමේෂයක් ලෙස. තවත් එක් ආකාරයකට කියනවා නම් මම කියල කියන්නෙ කිසියම් විදිහක අභ්‍යන්තරත්වයක් තුළ සැගවිලා තියෙන දෙයක් වගේ එකක් නෙමේ; මම කියල කියන්නෙ මම කියන මේ හැගීම, මම කියන මේ සොයායාම, හඹායාම බාහිර ලෝකය කියල අපි කියන දේවල් එක්ක එකට ගැට ගැසුණු එකක්. එතකොට මේ ගැටගැසීමෙන්, මේ ගැටයෙන් පරිබාහිරත්වයක් අපිට හිතන්න බැහැ. මේක තමයි මාර්ටින් හෛඩගර් ගෙනාපු පළමුවෙනි විවේචනය සහ මේකට අපි එකතු කරන්න අවශ්‍යයි තව එකක්; ඒ තමයි අපිට මේ අවට ලෝකයේ තියෙන දේවල් වලින් වෙන් වෙලා හිතන්න බැහැ වගේම අපිට බැහැ තවත් මිනිසුන් නොමැතිව මම විතරක් ඉන්න ලෝකයක් ගැන හිතන්න. මොකද අපි දන්නවා මම කියන එක්කෙනා සෑමවිටම ඉන්නෙ තවත් මිනිසුන් සිටින එහෙම නැතිනම් තවත් මිනිසෙකුට සිටිය හැකි අවකාශයක් තුළ. මගේ පැවැත්ම ස`දහා මේ පරිබාහිර අනෙකාගේ පැවැත්ම අනිවාර්යය ලෙස බලපානවා. එයින් අදහස් වෙන්නෙ නැහැ මේ අනෙකන් අපි අසල සෑම විටම ඉන්න  ඕන කියන එක; මම මේ වෙලාවේ එක්තරා සරල අර්ථයකින් ශරීරයක් විදිහට හුදකලාවේ ඉන්න පුළුවන්. නමුත් ඒ මගේ හුදකලාව තුළ පවා මට අනෙකන් සමග පැවැතීමේ හැකියාව තියෙනවා. ඒ ආකාරයටම මම ලෝකයක් නොමැතිව මම හිතන ආකාරය සිතාගත නොහැකි වනවා මෙන්ම අනෙකන් නොමැතිව මම සිටින ආකාරයද මට සිතා ගත නොහැකි වනවා. මට මම ගැන කියන්න පුළුවන් වෙන්නෙ මම මේ වෙද්දිත් බාහිර ලෝකයේ දේවල් සහ අනෙකන් සමග එකට වාසය කරනවා කියන එක. මේක නිසා මාර්ටින් ෙහෙයිඩගර් විසින් රෙනේ ඩෙකාර්ට්ස්ගෙ ආත්මීයත්වය කියන අදහස ප‍්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ ආත්මීයත්වය නැතිනම් ස්වකීයත්වය; මම කියල ගල් ගැසුණු දෙයක් අප තුළ තිබෙනවාය කියන එක තමයි සියළුම ආකාරයේ අනන්‍යතාවයන් තුළ තිබෙන මූලිකම ලක්ෂණය.

උදාහරණයක් හැටියට සිංහලේ ජාතික ව්‍යාපාරය වාගෙ එකක් ගත්තොත් ඒක තුළ තියෙන්නෙ; ඔවුන් කියනවා මේ ලේ වල තමයි අපේ මේ සිංහල බව රැදිල තියෙන්නෙ කියලා. එතකොට මේ සිංහල බව කියන එක සිංහලේ ව්‍යාපාරයේ ප‍්‍රකාශකයන් විශ්වාස කරන ආකාරයට ඔවුන්ගේ අභ්‍යන්තරයේ තිබෙන දෙයක්. ඔවුන්ගේ අනන්‍යතාවයේ ගැඹුරුම අණුව තමයි සිංහල බව කියන එක. එතකොට මෙන්න මේ අභ්‍යන්තරයේ මා තුළ තිබෙනවා සැබෑ අනන්‍යතාවයක්, හරයක්, දෙයක්, ද්‍රව්‍යයක් කියන අදහස තමයි මාර්ටින් හෛඩගර් විසින් විවේචනය කරන්නේ; ඒ අදහස තමයි ජුඩිත් බට්ලර්ට බලපාන ප‍්‍රංශ දාර්ශනිකයින් විසින් පසුකාලීනව අර්ථකථනය කරන්නේ මේ ආත්මීයත්වය කියන අදහස ප‍්‍රතික්ෂේප කරාය කියන තැනින්.

ජීවනී මංජුලා වීරසිංහ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(සත්හඬ)

සබැදි පුවත්
අනන්‍යතාවය ප්‍රශ්න කරමු

ස්ත්‍රීවාදී දේශපාලනය විශ්වීය දේශපාලන ව්‍යාපාරයක් දක්වා....

ස්ත්‍රීවාදයේ විරුද්ධාභාෂය

ලිංගික අනන්‍යතාව යනු අප විසින් රගදක්වනු ලබන දෙයයි.

ඔහු තමයි ආත්මය ඔහු තමයි පරමත්වය ඇය තමයි අනෙකා

කෙනෙක් ගැහැණියක් ලෙස උපදින්නෙ නැහැ, ගැහැණියක් බවට පත්වෙනවා.