Monday, 19 February 2018
රොමැන්ටික් වාර්තා වෙනුවට දත්ත වාර්තා

රොමැන්ටික් වාර්තා වෙනුවට දත්ත වාර්තා

ඔක්තෝබර් 20දා ලෝක සංඛ්‍යාන දිනයයි. එය සංඛ්‍යාලේඛනවල ඇති වැදගත්කම පිළිබඳ කතා කළ හැකි දිනයකි.

නිගමනවලට එළඹීමේදී දත්ත කෙතරම් වැදගත් ද යන්න පෙන්වා දෙන්නට හැකි නිදසුනක් මෙසේයි.

ජාතික අන්තවාදීන් විසින් ශ්‍රී ලංකාවේ සුලබව පතුරුවනු ලබන එක් ජනප්‍රිය මතයක් වන්නේ ශ්‍රී ලංකාවේ සිංහලයන්ගේ ජනගහණය අඩු වෙමින් තිබියදී මුස්ලිම් ජනගහණය වැඩිවෙමින් ඇති බවයි. මෙම ලිපිය කියවන ඔබත් මෙම කරුණ ඕනෑ තරම් අසා ඇති. එය ඇත්තක් ද?

ලංකාවේ ජනගහණය පිළිබඳ ඇති විධිමත් සංඛ්‍යාලේඛන අනුව ජාතීන් අනුව ජනගහණය පිළිබඳ පැහැදිලි දත්ත හමුවන්නේ 1881 ජනසංගණනය අනුවයි. එහෙත් ඒ වනවිටත් ජාතීන්ගේ නූතන ස්වරූපයන් හැඩගැසෙමින් තිබිණි. නිදසුනක් ලෙස සිංහලයන් උඩරට, පහතරට ලෙස ප්‍රවර්ග දෙකක් ලෙස සැලකීමේ ප්‍රවණතාවක් සිංහලයන් තුළම පැවතිණි.

කෙසේවෙතත්, සංගණනයට අනුව 1881දී සිංහලයන්ගේ ප්‍රතිශතය 66.91%කි. 2012 ජන හා නිවාස සංගණනය වනවිට මෙම ප්‍රතිශතය 74.88%කි.

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාගේ ප්‍රතිශතය 1881දී 6.69%කි. 2012දී 9.23%කි.

1881දී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රතිශතය 24.90%කි. එය 2012 වනවිට 11.21%කි වී තිබේ.

1911 සංඛ්‍යාලේඛන අනුව ඉන්දියානු දෙමළ ජනගහණය 12.93%ක්ද, ලාංකීය දෙමළ ජනගහණය 12.86%ක්ද විය. 2012 වන විට ඉන්දියානු දෙමළ ජනගහණය 4.16%කි.

ඉහත සංඛ්‍යාලේඛන අනුව බලන කල ඉතා පැහැදිලිවම සිංහල ජනගහණයේ ප්‍රතිශතය වැඩි වී තිබේ. වෙනත් ජාතීන් සිංහල ලෙස ස්වීකරණය වීමට වැඩි නිදහසක් ලැබේනම් තත්වය තවත් වෙනස්වන්නට පුළුවන.

ආගම් අනුව ගත්තත් 1881දී 61.53%ක් වූ බෞද්ධ ප්‍රතිශතය 2012 වනවිට 70.19%ක් දක්වා වැඩිවී තිබේ.

මුස්ලිම් ජනගහණයේ සාපේක්ෂව වේගවත් වැඩිවීමක් 1981 – 2012 කාල පරිච්ඡේදය තුළ දකින්නට ලැබෙන බව සත්‍යයකි. ප්‍රතිශතය වැඩිවීම 2%කට මඳක් වැඩිය. මෙම වකවානුව තුළ සිංහල ජනගහණයේ ප්‍රතිශත වර්ධනය 1%ට අඩුය.

වසර 130ක් වැනි දීර්ඝ කාලයක් තුළදී පවා මුස්ලිම් ජනගහණයේ ප්‍රතිශතය වැඩි වී තිබෙන්නේ 2.5%ක් වැනි සුළු ප්‍රතිශතයකිනි. එම කාලය තුළ සිංහලයන්ගේ ප්‍රතිශතය 8%කින් පමණ වැඩි වී තිබෙනවා. ජනගහණ ප්‍රතිශතයන්ගේ මෙම වෙනස්කම් සිදු වීමට බල පාන හේතු රැසක් තිබෙන මුත් මෙම ලිපියෙහිදී ඒවා සාකච්ඡා කිරීමට අවකාශය නැත.

කෙසේ වෙතත්, අදහස් ප්‍රචලිත කිරීමේදී දත්ත මත පදනම් නො වීම සමාජයට කෙතරම් හානිකර විය හැකි ද යන්නට ඉහත සංඛ්‍යාලේඛන කදිම නිදසුනකි.

පහත දැක්වෙන්නේ මාධ්‍ය විශ්ලේෂකයකු වන නාලක ගුණවර්ධන විසින් ‘21 වන සියවසේ අපේ මාධ්‍ය පරිභෝජන රටා වෙනස් වන සැටි’ මැයෙන් පවත්වන ලද දේශනයකදී ඉදිරිපත් කරන ලද තවත් රසවත් කාරණයකි.

2012 ජන සංගණනයේදී එක් ප‍්‍රශ්නයක් වූයේ නිවසේ තිබෙන සන්නිවේදන මෙවලම් ගැනයි. මුළු රටම සමීක්ෂාවට ලක් කළ මෙයින් හෙළි වූයේ රටේ නිවෙස්වල දැන් වැඩිපුරම ඇති සන්නිවේදන මෙවලම ජංගම දුරකතනය බවයි. (78.9%). එයට ආසන්නව දෙවැනි තැන ගන්නේ ටෙලිවිෂන් (78.3%). රේඩියෝව ලබා ඇත්තේ තෙවන ස්ථානයයි (68.9%).

වසර තුනකට වරක් නිවාස 25,000ක පමණ විශාල දීපව්‍යාප්ත නියැදියක් හරහා රජයේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කරන ගෘහස්ත ආදායම් හා වියදම් සමීක්ෂණවල ප‍්‍රතිඵල හරහා මෙය මනාව තහවුරු වනවා.

මෙවන් රාජ්‍ය සමීක්ෂණයකින් මතු වන සොයා ගැනීම් පවා සමහරුන් ප‍්‍රශ්න කරනවා. ‘සමීක්ෂණවලින් මොනවා සොයා ගත්තත් අපේ ගම්වල තාමත් වැඩි දෙනෙක් භාවිත කරන්නේ රේඩියෝව තමයි’ කියමින් රොමැන්ටික් ලෝකවල ජීවත් වන අය සිටිනවා.

2012 ජන සංගණනයේදී එක් ප‍්‍රශ්නයක් වූයේ නිවසේ තිබෙන සන්නිවේදන මෙවලම් ගැනයි. මුළු රටම සමීක්ෂාවට ලක් කළ මෙයින් හෙළි වූයේ රටේ නිවෙස්වල දැන් වැඩිපුරම ඇති සන්නිවේදන මෙවලම ජංගම දුරකතනය බවයි. (78.9%). එයට ආසන්නව දෙවැනි තැන ගන්නේ ටෙලිවිෂන් (78.3%). රේඩියෝව ලබා ඇත්තේ තෙවන ස්ථානයයි (68.9%).

මේ සංඛ්‍යා ලේඛන වාර්ෂිකව වෙනස් වනවා. අලූත්ම දත්ත හා විශ්ලේෂණ හරහා අපේ දැනුම යාවත්කාලීන කර ගැනීම ඉතා වැදගත්. නැතිනම් පිළුණු වූ දැනුම හරහා වැරදි නිගමන හා රොමාන්ටික් තර්කවලට එළැඹීමේ අවදානමක් තිබෙනවා.

(මූලාශ්‍රය: සිව්මංසල කොලු ගැටයා)

තොරතුරු මත පදනම් වූ විධිමත් තීරණ ගැනීම සඳහා ගුණාත්මක දත්ත හා සංඛ්‍යා ලේඛන ඉතා වැදගත් ය. රටවල් හා ආයතන තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කරමින් සිටින තත්වය තුළ විශ්වාසනීය හා කාලීන සංඛ්‍යාලේඛන හා දර්ශක අන් කවරදාටත් වඩා වැදගත් වේ.

ශ‍්‍රී ලංකාව තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කර ක්‍රියාත්මක කර තිබෙන පසුබිම තුළ මාධ්‍ය වෘත්තිකයන්ට ශක්තිමත් සාක්ෂි හා දත්තවල සහාය ලබා ගනිමින් නිවැරදි හා විශ්වසනීය වාර්තාකරණයක යෙදීමට අනගි අවස්ථාවක් උදා වී තිබේ.

සාක්ෂි පදනම් කරගත් වාර්තාකරණය සාක්ෂි පදනම් කර ගත් ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා මහත් සේවයක් ඉටු කරයි.

kiyanna.lk